සුබසෙතට තුති!

මැයි 24, 2019

2019 මැයි 28 වැනිදාට සුබසෙත පුවත්පතට අවුරුදු 50 ක් සපිරෙයි. 1969 මැයි 28 වැනි දින පියසේන නිශ්ශංක නම් වූ ආදි කතුවරයාණන්ගේ උපදේශකත්වයෙන් ආරම්භ වූ සුබසෙත පුවත්පත මේ වන විට සුවහසක් පාඨක පිරිසකගේ භක්ත්‍යාදරයට පාත්‍රවී තිබීම සුබසෙත කර්තෘ මණ්ඩලයට ආඩම්බරයට මෙන්ම සතුටට කරුණකි.

1997 වර්ෂයේ මා ලේක්හවුසියට පා තබන්නේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙසය. ඒ කාල සීමාවේ මා සුබසෙතට සම්බන්ධ වන්නේ එවකට කර්තෘධූරය හෙබවූ ගීතා ජයසූරිය මහත්මියගේ අනුදැනුම මතය. ඒ කාලයත් මම සිහිපත් කරමින් එතුමියට කෘතගුණත්වය පලකරමි . එදා සිට අද දක්වා පුරා වසර 22 ක් තිස්සේ මා සුබසෙත වෙනුවෙන් ඇප කැප වන්නේ හෘදයාංගම හැඟීමෙනි.

ආයුර්වේදයත් ඡ්‍යොතිෂයත්, පමණක් නොව, ගුප්ත විද්‍යාව, වාස්තු විද්‍යාව මෙන්ම හස්ත රේඛා ශාස්ත්‍රය මේ ආදි විශේෂිත වූ විශේෂාංග රැසක් වෙනුවෙන් සුබසෙත පුවත්පත මගින් ලබාදී ඇති දායකත්වය වර්තමානය දෙස හැරී බලන විට අපට මනාව පැහැදිලි වනු ඇත.

වර්තමානය වන විට කර්තෘ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව 07 දෙනෙකුගෙන් යුතු වන අතර මේ සියලු දෙනාම වගකීම් සම්භාරයක් කරට ගෙන උදාවන සෑම දිනකම ලිපි සංස්කරණය කරමින්, පිටුසැලසුම් කරමින් වෙහෙසෙන්නේ වටිනාවූත් සාරගර්භ වූත් පුවත්පතක් පාඨක ඔබ වෙත තිලිණ කිරීමටයි. මේ වන විට කර්තෘවරුන් 11 දෙනෙකු යටතේ පාලනය වු සුබසෙත පුවත්පත වර්තමානයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ අජිත් ධර්මසිරි මහතාගේ උපදේශකත්වයෙන් පාලනය වෙමින් පවතින අතර, පුවත්පත වටා විශාල පාඨක පිරිසක් රඳවා තබා ගැනීමට ද මෙතුමා දරණ උත්සාහය ඉතා අගනේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ඡ්‍යොතිෂායුර්වේද වැඩසටහන් පවත්වමින් පුවත්පතට ආදරය කරන පාඨක පිරිසක් එක්රොක් කර ගැනීමට සමත් වී ඇත. ඇත්තෙන්ම අපගේ කර්තෘතුමාගේ සේවය ඉතා නිහඬය. එහෙත් ඔහු අතින් සිදුවන සේවය අතිවිශාලය. කර්තෘ මණ්ඩලයේ සෑම දෙනෙකුගේම සිත් දිනාගත් එතුමා අප හා කටයුතු කරන්නේ කර්තෘවරයෙකු ලෙස නොව සමීපතම හිතවතකු ලෙසය. මෙය පුවත්පතේ දියුණුවටද විශාල හේතුවක් වී ඇත.

මේ වන විට පුවත්පත මගින් දීප ව්‍යාප්තවම ගෙන යන වැඩසටහන්වලට ස්වේච්ඡාවෙන් සේවය කැප කිරීමට බැදී සිටින පිරිස අති විශාලය. ඔවුන් පුවත්පත හා එක්වන්නේ කිසිඳු අයකිරීමකින් තොරව ඔවුන්ගේ වටිනා කාලය ද කැප කරමිනි. මේ ස්වර්ණ ජයන්තිය සමරන මොහොතේ ඔවුන් ගැන සිහිපත් කිරීමටද අප අමතක නොකළ යුතුව ඇත. මෙම වැඩමුළු සම්බන්ධීකරණය කරමින් සුබසෙත පවුලේ සාමාජිකයෙකු මෙන් කටයුතු කරන ඡ්‍යොතිෂවේදී මාකෙහෙල්වල කරුණාපාල මහතාගෙන්ද පුවත්පත වෙනුවෙන් ඉටුවෙන්නේ ඉමහත් සේවයකි.

මෙවන් වගකීම් සම්භාරයක් හිස මත තබා ගනිමින් පුවත්පතෙහි දියුණුව හා සාර්ථකත්වය උදෙසා තම හසල දැනුම දායාද කරමින් මහඟු මෙහෙවරක් ඉටුකරන මෙවන් කතුවරයෙකු ලැබීම සුබසෙත කතුමඩුල්ල ලද භාග්‍යයකි. මේ මල්ඵල ගැන්වූයේද එතුමාගේ බලාපොරොත්තු වලින් එක් පියවරක් පමණි. සුබසෙත පාඨක ජනතාව වෙනුවෙන් තවත් මෙවන් කර්ත්‍යවයක් ඉටු කිරීමට හැකිවේවායි! මේ ස්වර්ණ ජයන්ති සැමරුම් මොහොතේ සුබ පැතුම් එක්කරන්නෙමි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.