වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
කොහිල ගුණ
ඇත දෙවගයක් අල සහ වැල් කොහිල කියා
දෙවගෙම කෑ හැකිය දලුටික රසට උයා
කට මත ගතිය ඉන් නතරව සුවය සොයා
මල බද්ධය කියන රෝගය පහව ගියා
කටු ඇති උනත් මෙහි අලවල ඇති ගුණය
වස විෂ නොමැති හින්දා හරි අපමණය
මැල්ලුම වෑන්ජන දෙක ගත සිත පණය
වැවුණේ කොහිල අර්ශස් ලෙඩුනගෙ පිනය
ඉඳහිට හරි කන්න මෙය දිව ඔසුවක්ය
වෙන්නෙ එයින් කිරිපණුවන් නැසුමක් ය.
අල කොළ දලු තුනම හොඳ රස පිසුමක්ය
කන බත් පතට හැමටම පිරි මැසුමක්ය
මඩ තුළ හැදුණමුත් රස ගුණ තිබෙති අලේ
දලු ටික උයා මැල්ලුම කෑ හැකිය කොළේ
කන හැම දෙනාගෙම ලේ පිරිසුදුව දිලේ
මෙය හට තිබේ ලෙඩ සුවපත් කරන බලේ