දරුඵල ලබාදෙන අගනා ඔසුව නුග

දෙසැම්බර් 15, 2023

විවාහ වී වසර 10 ක් පමණ ගතවුණද දරුවෙකු නොමැති කමින් මහත් අසහනයකින් පසු වූ අමිත් සහ නිලූ යුවළ සේනක වෙද මහතා හමුවූයේ තම දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාය.

අමිත් වෘත්තියෙන් ඉංජිනේරුවකු වූ අතර නිලූ ගුරුවරියක වූවාය. බොහෝ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම නොයෙකුත් පුදපූජා ආදියෙන් හෙම්බත් වී සිටි ඔවුන් දෙදෙනා සේනක වෙද මහතා හමුවූයේ ඔහුගෙන් වත් තම බලාපොරොත්තු ඉටුවේ යැයි බලාපොරොත්තුවෙනි.

වෙදමහතා හමු වූ ඔවුන් දෙදෙනා තම ප්‍රශ්නය ඔහු වෙත ඉදිරිපත් කළහ.

“ වෙද මහත්තයෝ අපි විවාහ වෙලා අවුරුදු 10 ක් විතර වෙනවා, තවම දරුවෙක් නෑ. ඒකට බේත් ගන්නයි ආවේ. මේ ටිකට අපි නොකළ දෙයක් නැහැ. ඒත් වැඩක් වුණේ නැහැ. යනුවෙන් අමිත් තම ප්‍රශ්නය සේනක මහතාට ඉදිරිපත් කළේය.

එහෙම කියල බලාපොරොත්තු අත් හැර ගන්න එපා අපි උත්සාහ කරල බලමු. අපේ පාරම්පරික ප්‍රතිකාරවලින් සාර්ථක වෙන්න පුළුවන්. යනුවෙන් පිළිතුරු දුන් වෙදමහතා ඔවුන් තුළ බලාපොරොත්තු ඇති කළේය.

වෙද මහත්තය කියන විදියටම අපි බේත් කරන්නම්. අපි මොනවද කරන්න ඕන?. යනුවෙන් නිලූ විමසූ අතර එහෙමනම් අපි බෙහෙත් කරන්න පටන් ගමු. යනුවෙන් වෙද මහතා කීය

මම කෂාය ..සහ අනෙක් බේත් ටික මෙහෙන් දෙන්නම්. දෙන්නටම බෙහෙත් බොන්න වෙනවා. ඒ අතරට පොකුරු වද මල්. අත්තික්කා පොතු.නුග මුලේ පොතු වගේ ඒව බොන්නත් තියෙනවා.’ යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය.

නුග මුලේ පොතු කොහොමද බොන්නෙ.” යනුවෙන් අමිත් ඇසූ විට වෙද මහතා කීවේ.

නුගමුලේ පොතු වියලා කුඩු කර කිරි සමග උදේ බීම ඉතා ගුණදායක බවයි.

නුග ගසේ බොහෝ කොටස් ඖෂධ සඳහා ගනු ලබන බවත් විශේෂයෙන් දරුඵල නොමැති අයට විශිෂ්ට ගුණ ගෙනදෙන බවත් වෙද මහතා නැවතත් කීය.

එතකොට නුග ඒ තරමටම ගුණ ශාකයක් ද? යනුවෙන් අමිත් නැවතත් ඇසීය.

ඔව් නුග කියන්නෙ රෝග රාශියකට ගුණ ගෙනෙන අගනා ඔසුවක්. ඉන්දියාවෙ දරුඵල නොමැති අයට දෙන ප්‍රධානම ඔසුවක් වන්නෙ. පුදපූජා නොකරන. පූජාභූමි සොහොන් පිටි වගේ තැන්වල හට නොගත් නුගගහක මුලේ පොතු වේලල කුඩුකරල උදේම කිරි සමග බීමයි. යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය

එතකොට ඒ බෙහෙතද මටත් බොන්න කීවෙ“ යනුවෙන් නිලූ වෙදමහතාගෙන් ඇසීය.

ඔව්.ඒ බේත තමයි.තවත් නුග අඩංගු බේත් කිහිපයක් ම තියෙනවා. ඒවත් පස්සෙ බොන්න වෙනවා. යැයි වෙද මහතා පිළිතුරු දුන්නේය.

එතකොට වෙද මහත්තයෝ නුග ගස් හැම තැන්වලම වැවෙනවද? යනුවෙන් අමිත් වෙද මහතාගෙන් ඇසීය.

ඉන්දියාවේ සහ ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ දකින්න පුළුවන්.

ඒ වගේම නුග කියන්නෙ ඉතා විශාල ගසක්. මේ ගස්වල හැම පැත්තටම විහිදුණු විශාල අතු තියෙනවා. ඒ අතුවලින් සහ කඳේ ඉහළින් පහතට ඇද හැළෙන මුල් නුග ගස්වල තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේම කල්ගතවන විට ඒවා වැඩෙනවා. ටික කලකින් එම මුල් ප්‍රධාන කඳට සමාන්තරව විශාල වෙනවා. මේවට කියන්නෙ නුග අරළු කියල. නුග කොළ පිහිටන්නෙ එකක් හැර එකක් ලෙසයි.ඒවා දිගින් සෙ.මි 15 ක් පමණද පළලින් සෙ.මි.10 පමණද වෙනවා. ගෙඩි කඳටම ඇලී පවතිනවා. ඒවා උෂ්ණ කාලයට ඉදෙනවා. ඉදුණාම රතු පාට හෝ කහ පාටයි. යනුවෙන් සේනක වෙද මහතා හොඳ විස්තරයක් නුග ගැන ඉදිරිපත් කළේය.

එසේම නුග ගස පූජනීය ශාකයක් ලෙස හඳුන්වනවා. එසේම දෙවි දේවතාවුන්ගේ වාසස්ථානයක් ලෙසත් සලකනු ලබනවා “යනුවෙන් වෙද මහතා නැවත විස්තර කළේය.

ඒ වගේම නුග කියන්නෙ මල් නොමැතිව ගෙඩි හටගන්නා ශාක ගණයට එනම් වනස්පතී වෘක්ෂ ගණයට අයත් ශාකයක්. මේ ගණයට තමයි බෝ, අත්තික්කා වගේ ගසුත් අයිති වෙන්නෙ. යනුවෙන් තවත් වැදගත් විස්තර වෙද මහතා ඔවුන්ට පෙන්වා දුන්නේය.

එතකොට වෙද මහත්තයෝ නුග ගස් හඳුන්වන වෙනත් නම් තියෙනවා නේද?

ඔව්. සංස්කෘත භාෂාවෙන්

වට..රක්තඵල.. න්‍යග්‍රෝධ..ක්ෂීරී.. බහුපාද. වෛශ්‍රමණවාස... විටපි.. ස්කන්ධරූහ.. පාදරෝහිණී, යක්ෂාවාස..යක්ෂතරු ආදී නම් රාශියක් නුගවලට යෙදෙනවා.

ඒ වගේම හිංදි භාෂාවෙන්

බර් බර්ගද් ..

යන නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන්

අලමරම්.. යන නම යෙදෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන්නෙ

Banyan tree යනුවෙනුයි

ඒ වගේම නුගගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ

Ficus engalensis Linn නාමයයි.

මෙහි කුලය වන්නෙ

MORACEAE කුලයයි යනුවෙන් වෙද මහතා විස්තර කළේය.

වෙද මහත්තයෝ එතකොට නුග ගසේ මොනවද ඖෂධීය වශයෙන් වැදගත් වන්නේ” යනුවෙන් නිලූ විමසුවාය.

නුගගසේ මුල්. පොතු.. නුග අරළු.(එල්ලෙන මුල්). ගෙඩි.. කිරි.. නොපිබිදූ දලු ආදිය ඖෂධ සදහා ගනු ලබනවා.

ඖෂධීය වශයෙන් ගත්තාම

නුග රසයෙන් තික්තයි.

ගුණයෙන් ගුරු හා රූක්ෂයි.

වීර්‍යයෙන් ශීතයි.

විපාකයෙන් කටුකයි.

මේ නිසා සෙම් පිත් සමන ගුණ යුක්ත නිසා සෙම්.. පිත් රෝග සදහා විශේෂයෙන් යොදනු ලබනවා

නුග ගසේ ඇති ඖෂධීය ගුණ වලින් විශේෂිත ගුණයක් වන්නේ මදසරු භාවයට විශිෂ්ට ගුණ ගෙනදීමයි.

මේ සඳහා මම මුලින් සදහන් කළ නුගමුලේ පොතු වියලා කිරි සමඟ ගැනීම එක් ප්‍රතිකාරයක්.

ඒ වගේම පිරිසුදු නුගදලු මිටක් කුඩා කැබලිවලට කඩා නැවුම් මුට්ටියක දමා එවේලේම දොවාගත් එලකිරි කෝප්ප 2 ක් දමා හොදින් තම්බා පෙරාගෙන තිප්පිලි කුඩු දමා බීම ඉතා ගුණයි.

ඒ වගේම නුග දලු මිටක් අඹරා එයට තිප්පිලි කුඩු ස්වල්පයක් දමා සකස් කර ගත් කුඩා ගුලි එලකිරි සමග බීමත් හොඳයි.

මේවායින් අනිසි ගබ්සා වීම් වලකන අතර ගර්භාෂය ශක්තිමත් වීමත් සිදුවෙනවා. ඒ වගේම නුගමුල් තම්බා බීමෙන් ලේ පිරිසිදු වීමත් සිදුවෙනවා.

ඒ වගේම පුෂ නැකතින් ගලවාගත් නුග මුලක් ඉනේ බැඳගෙන ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙන් සාර්ථක දරුඵල ලබාගත හැකි බවට විශ්වාසයක් පවතී.

ආනක කාන්තා ප්‍රදර රෝග සඳහාද නුගමුල්වලින් සකස් කළ කෂාය භාවිත කරනවා” යනුවෙන් වෙද මහතා විස්තර කළේය.

නැවත නුගවල ඇති ඖෂධීය වටිනාකම ගැන විස්තර කළ වෙද මහතා පැව්සුවේ

උණ නිසා ඇතිවන දැවිල්ලට

නුග කොළ කෂාය හෝ නුගමුල් කෂාය සුදුසු බවයි.

එසේම විදුරුමස් දියවීම සහ දත් කැක්කුමට

නුග ගසේ පොත්ත ගැලවූ පසු වෑස්සෙන කිරි ආලේපය සුදුසු බවද කීය.

නැවතත් නුග වලඇති ඖෂධීය වටිනාකම ගැන විස්තර කල වෙද මහතා රක්තාතීසාරයට නුග රැහැන් හාල්පානු වතුරෙන් බීම සුදුසු යැයි කීය.

ඒ වගේම අධෝගත රත්පිතට

නුග අරටු සහ නුගපොතු කිරි කෂාය දකාන්තාවන්ගේ ශ්වේත ප්‍රදරයට නුග අරළු කෂාය ලොත්සුඹුලු චූර්ණයත් සමග දීමද රත්පිතට තණ සමග නුගකරටි අඹරා පෙවීමද

අතීසාරය සමඟ ඇතිවන වේදනාවට නුග රැහැන් හාල්පානු වතුරෙන්න් අඹරා මෝරුවලට දමා කලතා පෙරා පෙවීමද සුදුසු යැයි පැවසීය

එතකොට වෙද මහත්තයෝ නුග යොදපු සංස්කාරික ඖෂධත් තියෙනවද “ යනුවෙන් අමිත් මහතා නැවත වෙද මහතාගෙන් විමසීය.

ඔව්

න්‍යග්‍රොධාදී චූර්ණය 
න්‍යග්‍රෝධාදී ඝෘතය 
චන්දනාදී චූර්ණය 
චන්දනාසවය 
උශිරාස්වය

නුග පැණිය ආදී ඖෂධවල නුග අඩංගු වෙනවා යැයි වෙද මහතා කීය.

ඒ වගේම ආයුර්වේදයේ එන ප්‍රකට ඖෂධ යෝගයක් වන පංච වල්කලවල එක් ද්‍රව්‍යයක් වන්නේ නුග පොතුයි.

එසේම ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ කැඩුම් බිදුම් සදහා යොදාගන්නා ප්‍රකට යෝගයක් වන “පසකුරු’වල අඩංගු එක් යෝගයක් වන්නේත් නුගපොතුයි යනුවෙන්ද වෙද මහතා කීය.

ඒ වගේම පැසණු නුග ගෙඩි තම්බා ආහාරයට ගැනීමත් ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගැනීමත් අතීතයේදි සිදුවුණත් අද කාලයේ එසේ සිදුවන්නේ නැති තරම් යනුවෙන්ද වෙද මහතා කීය.

ඒ වගේම මානසික ඒකාග්‍රතාව ඇතිකර ගැනීමටත් මානසික නිරවුල් බව ඇතිකර ගැනීමටත් බෝ සහ නා ගස්වල මෙන්ම නුග ගස් යට සෙවණට වි සිටීමත් එම ගසට පුදපූජා වතාවත් කිරීමත් හේතුවන බව දක්වා තිබෙනවා”

යනුවෙන් වෙද මහතා තව තවත් නුග ගස් ගැන තොරතුරු කියන්නට විය. එතකොට වෙද මහත්තයෝ නුග කියන්නෙ පුදුම ගුණ තියෙන ඖෂධ ශාකයක් නේ..අපේ ගැටලුවටත් නුග ගහේ පිහිටෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වේවි කියලහිතෙනවා” යනුවෙන් අමිත් කීය.

ඔව් මහත්තයෝ නුග ගහේ කොටස් මදසරුභාවයට ස්ත්‍රී පුරුෂ දෙගොල්ලටම හොඳයි. ඒ වගේම මදසරු බව නැතිකරන්නත් හොඳම බේත නුග කියලයි මට හිතෙන්නේ. ඒනිසා මම කීව විදියට නුග මුලේ පොතු කුඩුකරල එළකිරිත් එක්ක මාසයක් බීල බලමු “ යනුවෙන් පවසා නුග ගස ගැන විස්තරය නිමා කොට අමිත් සහ නිලූ දෙදෙනාට බලාපොරොත්තු සහගත බවක් ඇතිකරළීය.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද 
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය 
වෛද්‍ය 
මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.