කැඩුම් බිඳුම් වෙදකමට නැතිවම බැරි නවහන්දි

දෙසැම්බර් 29, 2023

පාසලේ උසස් පෙළ පංතියේ ඉගෙනගන්නා වෙනුර දක්ෂ මලල ක්‍රීඩකයකු විය. දිනක් සවස පුහුණුවීම්වල නිරතව සිටින විට තම යහලුවෙකු ඇඟේ හැපීම නිසා වීසි වී ගොස් බිම ඇද වැටීමේදී තම දකුණු අත බිම වැදීමෙන් අස්ථීයක් බිඳීමක් ඇති විය. ඉන්පසු වහා ප්‍රතිකාර සඳහා තම ප්‍රදේශයේ සිටින දක්ෂ කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙකු වූ සිරිසේන මහතා වෙත රැගෙන ගියේය.

තම යහළුවන් විසින් වෙනුර වෙද මහතා වෙත රැගෙන ගිය අතර එම පුවත ඇසූ වෙනුරගේ පියා වන ජයසේන ද වහා වෙදමහතා වෙත පැමිණියේය. “මොකද වෙද මහත්තයෝ මගේ පුතාට” යනුවෙන් ජයසේන වෙද මහතාගෙන් ඇසීය.

“ආ මේ ජයසෙනගෙ පුතාද? වැටෙද්දි මෙයාගෙ දකුණු අත බිම වැදිල තියෙන්නෙ. මැණික් කටුවට උඩින් එක් ඇටයක් කැඩීමක් තියෙනවා. දැනට මම බේතක් බැන්දා. ඊලඟ බේත බඳීන්න අනිද්දා එන්න ඕනෑ. අපිට බේත්වලට නවහන්දි ටිකක් හොයා ගන්න ඕනෑ ජයසේනට ඒවා හොයාගන්න පුළුවන් වේවි නේ” යනුවෙන් වෙද මහතා විමසීය.

“ඔව්. පුළුවන් වෙද මහත්තයෝ. නවහන්දි කියන්නෙ අපේ පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකමේ තියෙන අත්‍යවශ්‍යම ඖෂධයක් නේ” යනුවෙන් පැවසූ වෙනුරගේ පියා “නවහන්දි හරියටම අඳුන ගැනීම වැදගත්. මොකද විවිධ අය විවිධ ශාක වර්ග නවහන්දි කියල හඳුන්වනවා” යැයි කීය. එයට පිළිතුරු දුන් සිරිසේන වෙද මහතා “ඔව්. ජයසේන. නවහන්දි නිවරැදිව අඳුනා ගැනීම වැදගත් ඇතැම් වෛද්‍යවරු හල්ගස්වල වැවෙන Sarcostemma brunonianum  යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ආධාරක වටා එතෙමින් ඉහළට වැඩෙන “මුවකීරිය” නැමති වැල් විශේෂය “නවහන්දි” යනුවෙන් වරදවා භාවිත කරනවා

ඒ වගේම බොහෝ වෛද්‍යවරු Euphorbia tirucalli.....නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ශාකය “නවහන්දි “ යැයි වරදවා කැඩුම් බිදුම් වෙදකමේදී යොදාගනු ලබනවා. අප්‍රිකාව ජන්ම භූමිය කොට ඇති මේ ශාකය ‘රට නවහන්දි‘ යනුවෙන් හඳුන්වන්නේ අප්‍රිකාවෙන් මෙරටට ගෙනඑන ලදැයි පවතින මතය නිසායි” යනුවෙන් පැවසූ සිරිසේන වෙද මහතා “මෙම රට නවහන්දි ශාකය සෘජු කඳකින් යුක්ත අඩි 10ක් 20 ක් දක්වා උස ගසක් බවද වටකුරු කූරු මෙන් අතුබෙදී වැඩෙන කිරි සහිත දළුක් විශේෂයක් බවද කීය. එතකොට වෙද මහත්තයෝ නියම නවහන්දි.කියන්නෙ ඉහළ ඉඳල පහළට වැවෙන පැලෑටියක් නේද “යනුවෙන් ජයසේන නැවත ඇසීය.

ඔව්. Rhipsalis bacciasera  කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ පැළෑටිය පළුදු කලාම සුදු පාට කිරි වෑස්සෙනවා. මේ ශාකය අපිශාකයක් විදියට දිය සීරාව තියෙන ගල් පර්වත ආශ්‍රීතව වැවෙනවා. විශාල ගස්වල කඳන් වලත් දකින්න පුළුවන්. කුඩා පඳුරක් වන මෙය දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ බහුලව යොදාගන්නා නිවරැදිම නවහන්දි වර්ගයයි.

පර්වතයක හෝ විශාල ගසක කඳේ උඩ සිටපහළට වැඩෙන මේ පැළෑටියේ සෑම පුරුකකින්ම කුඩා පින්සල් ප්‍රමාණයේ නටු බෙදී යන නිසා “නවහන්දි” කියල හදුන්වනවා.

කොළ වෙනුවට දඬුු පිහිටීම. කිරි සහිත බව. වියළි කලාපයේ වැඩීම ආදි කරුණු ගැන සලකන විට දළුක් පවුලට අයත් මේ ශාකය “ නවහන්දි බව ස්ථීරවම කියන්න. පුළුවන් යනුවෙන් වෙද මහතා නවහන්දි ගැන නිවරැදි තොරතුරු ඉදීරිපත් කළේය.

ඒ වගේම මේ නවහන්දි පඳුරුවල කඳ මාංසල ළපටි කඳක්. කඳේ ආරම්භක කොටස කාෂ්ඨීයයි. ළපටි කඳ කොළ පාටයි. බිඳෙන සුලුයි. දෙබෙදුම් ශාකයක්. තන්තුමය මුල් පද්ධතියකින් යුක්තයි. නවහන්දි පත්‍ර ඉතා කුඩායි. මේරූ නවහන්දි ශාකවල බොහෝවිට පත්‍ර නැහැ.

මෙහි හටගන්නා මල් ඉතා කුඩායි.මල්වල නටු නැති අතර මල් සුදු පැහැයෙන් යුතුයි. මල්වල අංකුර කොළ සුදු පැහැතියි. ගෙඩි කුඩයි. වටකුරුයි. සුදු පැහැතියි” යනුවෙන් නවහන්දි ගැන හොඳ විස්තරයක් වෙද මහතා පෙන්වා දුන්නේය.

වෙද මහත්තයො නවහන්දි මොන ප්‍රදේශවල ද දකින්න ලැබෙන්නෙ යනුවෙන් නැවතත් ජයසේන ප්‍රශ්නයක් නැඟීය. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් වනාත්තරවල කඳුකර ප්‍රදේශවල මාවත් දෙපස සහ තේ වතු ආශ්‍රීතව වැවෙන ගස්වල දක්නට ලැබෙනවා. ඒ වගේම පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් නාවින්න ආයුර්වේද පර්‍යේෂණායතනයේත් හල්දුම්මුල්ල... ගිරාඳුරුකෝට්ටේ ආදී ඔසූ උයන්වලත්..රිටිගල, රත්තොට, රංගල, රම්බොඩ, හපුතලේ, නුවරඑළිය. හග්ගල, බදුල්ල ආදී ප්‍රදේශවලත් දක්නට ලැබෙනවා” යනුවෙන් වෙදමහතා පිළිතුරු.දුන්නේය.

ඒ වගේම නවහන්දිවලට සිංහල භාෂාවෙන් කියන්නෙ නවහන්දි. නාමය පමණයි. සංස්කෘත භාෂාවෙන් නම් දකින්න නැහැ.

උද්භිද විද්‍යාත්මක නාමය

Rhipsalis baccifera  නාමයයි.

ඒ වගේම කුලය වන්නේ

CHCTACEAE “ ස්නූහි“ ,කුලයයි.

ඒ වගේම නවහන්දි මුළු පැළෑටියම ඖෂධ සඳහා යොදාගන්නවා.” යැයි නවහන්දි ගැන තවත් තොරතුරු වෙද මහතා ඉදිරිපත් කළේය.

දැන් එතකොට වෙද මහත්තයෝ නවහන්දි කැඩුම් බිඳුම්වලට විතරක්ම යොදාගන්න ශාකයක් නොවේ නේද?.” යනුවෙන් ජයසේන නැවතත් ප්‍රශ්නකර සිටියේය. නැහැ. නවහන්දි කැඩුම් බිඳුම්වලදි විතරක් නොවේ, තවත් රෝගාබාධ රාශියක් සඳහා නවහන්දි යොදාගනු ලබනවා” යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය. නැවතත් වෙදමහතා නවහන්දිවල ඖෂධීය වටිනාකම ගැන මෙසේ පහදා දුන්නේය.

“නවහන්දි රසයෙන් කටුක සහ තික්තයි. ඒ වගේම වීර්‍යයෙන් ශීතයි. දෝෂ අනුව සැලකුවාම නවහන්දිවල තුන් දොස් සමන ගුණ යුතුයි. ඒ වගෙම නවහන්දිවල රසායන..බලකාරක.. නිද්‍රාකාරක..වමනකාරක..මූත්‍රකාරක...මෘදු විරේචන..සහ කිරි වඩන ගුණ ආදියෙන් යුක්තයි.

එසේම අස්ථි කැඩීම් සහ බිදීම්..අස්ථි ඉදිමුම්..කැස්ස, ඇදුම.....අරුචි අජීර්ණ...හෘද රෝග..අක්මා රෝග..අර්ශස්..වා පිත් රෝග..සංක්‍රාමික රෝග..ශරීර දුබලතා..මානසික රෝග. වැනි රෝගාබාධ සඳහා නවහන්දි යොදාගනු ලබනවා.” යනුවෙන් වෙද මහතා විස්තර කළේය.

“එතකොට සිරිසේන මහත්තයෝ නවහන්දි ඖෂධ සදහා යොදා ගන්නෙ මොන ආකාරයටද?.” යනුවෙන් ජයසේන ප්‍රශ්න කර සිටියේය. නවහන්දි තනිකරමත් යොදා ගන්නවා. ඒ වගේම වෙනත් ඖෂධත් සමඟ මිශ්‍රවත් යොදා ගන්නවා” යනුවෙන් කී වෙද මහතා ඒවා ගැන විස්තරයක් ඉදිරිපත් කළේය.

“අස්ථි භග්න සහ ඉදිමුම් අවස්ථා වලදී. නවහන්දි පැළෑටිය අමුකහ..ලුණු.දමා කොටා මලවා බැඳීම කරනු ලබයි.

වාත රෝග සඳහා නවහන්දි පැළෑටියෙන් වේදුපෑම ඉතා ගුණදායකයි.

ඇදුමේ වේගය පාලනයට නවහන්දි කිරි බිංදු 1 ක් හෝ 2 ක් පිටි සීනි ටිකක් සමඟ අනා දිවේ තබා සූප්පු කිරීමන් ඇදුමේ වේගය පාලනය වෙනවා.

අවහන්දියට

1 නවහන්දි, බොකල වැල්..කහ..ලුණු දමා කොටා මලවා බැඳීම හොඳයි.

2 නවහන්දි., ගොන්කැකිරි..කහ.. ලුණු.. දමාකොටා මලවා බදිනු ලබයි.

සත් පෑ හන්දියට

නවහන්දි කහ.. ලුණු.. දමා කොටා පොල් ලුණු සමඟ අනා කබලේ මලවා බැඳීම සුදුසුයි.

හැට පෑ සන්දියට

නවහන්දි. හාතවාරිය.....එළ බිංතඹුරු . ඔලිඳ..කොබ්බෑ කොළ එක පමණ ගෙන පොල් බෑවක පොල් ද කහ.. ලුණු.. ආදී. මේ සියල්ල.කොටා කබලේ මලවා බැදීමෙන් සන්දිවෙයි.

තෙල්කිරට

නවහන්දි. පොල් සමග කොටා තැටියට මිරිකා අව්වෙන් සිඳ ගෑමෙන් අවහන්දිය සුවවන අතර කෙටීම සහ රිදුමටත් ගුණයි.

නාඩි වේදනා සඳහා

නවහන්දි කිරි ආලේපය ඉතා ගුණයි.

විරේචනය සදහා

නවහන්දි කිරි බිංදු 2ක් කඩල ..පිටි..සීනි..මී පැණි ආදියෙන් එක් වර්ගයක් සමග දීම ප්‍රමාණවත් වෙවි.

උදර වේදනා සඳහා.

නවහන්දි.. නොමේරූ අතු මෙන්ම මුල් කෂාය කරකර දෙනු ලබයි.

ඉන්නන් වැටීමට

නවහන්දි කිරි..තලතෙල් සමග කලවම්කර ගෑමෙන් හොඳ ප්‍රතිපල ලබා දෙනවා මේ විදියට ප්‍රතිකාර සඳහා යොදා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් “ යැයි වෙද මහතා කීය.

“බලාගෙන ගියාම වෙද මහත්තයෝ නවහන්දි කියන්නෙ පුදුම ගුණ තියෙන බේතක් නේ” යනුවෙන් ජයසේන කීය.

“ඔව්. ජයසේන නවහන්දි කියන්නෙ වටින ඖෂධයක් තමයි. එයිනුත් කැඩුම් බිදුම්වලට විශේෂයි. ප්‍රසිද්ධ තෙල වර්ග වන වාතමෘත්‍ය තෛලය අශිනි වාද තෛලය. ආදියේත් නවහන්දි අඩංගුයි. ඒ වගේම නවහන්දිවල කිරි මාලුන්ට විෂයි. එසේම අධිකව ගැනීම මිනිසුන්ටත් විෂයි.

ඒනිසා නියමිත පරිදි නියමිත මාත්‍රාවෙන් ඖෂධ යෝග සඳහා යොදා ගැනීමෙන් කැඩුම් බිදුම්. වෙදකම් ඇතුළු තවත් බොහෝ රෝගාබාධ සඳහා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි” යනුවෙන් වෙදමහතා කීය.

“වෙදමහත්තයාට ගොඩක් ස්තූතියි නවහන්දි ගැන දැනුම්වත් කළාට. පුතාගෙ බෙහෙත් ටික මම නවහන්දි හොයාගෙන අදම පටන් ගන්නම්” කියමින් ජයසේන වෙද මහතාගෙන් සමුගෙන වෙනුර සමග නිවසට ගියේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.