හදවතට පණ දෙන විෂ නසන කරපිංචා

ඔක්තෝබර් 13, 2023

ආයූර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීවරයෙකු වූ මනෝජ් මහතා දිවා ආහාරයෙන් පසු කාර්‍යාලයේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ පාසල් සිසුවෙකි.

“සර්. මට ටිකක් සර් හමුවෙන්න පුළුවන්ද?”යනුවෙන් ඔහු මනෝජ් මහතා ගෙන් ඇසීය.

“ඔව්.පුතා .පුළුවන්.ඇයි? මොකක්ද කාරණය”යනුවෙන් එවිට මනෝජ්. ඔහුගෙන් ඇසීය.

“සර්. මම කලණ.මම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නෙ. අපිට ව්‍යාපෘතියකට ශාක පිළිබඳ කරුණු ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා. මට කරපිංචා ශාකය ගැනයි. කරුණු හොයන්න ඕනෑ. ඉතින් සර් කරපිංචා ගැන ආයුර්වේද ග්‍රන්ථවල ඇති කරුණුත් එක්ක විස්තරයක් ලියාගන්න ආවේ.”යනුවෙන් කලණ සිය අවශ්‍යතාව මනෝජ් මහතාට විස්තර කළේය.

“හරි. පුතා මම උදව් කරන්නම්.කරපිංචා කියන්නෙ ඉතා වටිනා ශාකයක්. ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් ඉතාමත් ප්‍රයෝජනවත් ශාකයක් තමයි කරපිංචා කියන්නෙ” යනුවෙන් මනෝජ් මහතා කථාව ආරම්භ කළේය.

“එතකොට සර්, කරපිංචා අපේ රටේ විතරක් තියෙන ශාකයක්ද?. යනුවෙන් කලණ මනෝජ් මහතා ගෙන් නැවත ඇසීය.

එයට පිළිතුරු දුන් මනෝජ් පැවසුවේ “නැහැ.පුතා අපේ රටේ විතරක් නෙවෙයි තව රටවලත් හැදෙනවා. හිමාලය පර්වත පාද ප්‍රදේශ..බෙංගාලය..සීකිම්..පකිස්තාන්.මියැන්මාරය සහ දකුණු ඉන්දියාව වගේ රටවල කරපිංචා හොඳින් හැදෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවෙ විශේෂයෙන් පහත රට වියළි කලාපයේ හොදින් වැවෙන ශාකයක්. ඒ වගේම තමයි පුතා මේකට සිංහලෙන් කරපිංචා කියනව වගේම දේශීය වට්ටෝරු පොත්වල කළුනිඹ කියල කියනවා.

එතකොට සංස්කෘත භාෂාවෙන් සුරභිනිම්බ.. කෘෂ්ණනිම්බ..කාලශාක..සුරභිච්ඡද. වගේ නම් ගොඩාක් තියෙනවා. දෙමළ භාෂාවෙන් කරිවෙම්බු..කරුවෙල්ලායි..ආදී නම් යෙදෙනවා. හිංදියෙන්.. කාඨනිම්බ ..කරිපට්ට වගේ නම් යෙදෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන්..Curry Leaf Tree  කියනවා.

කරපිංචාවල උද්භීද විද්‍යාත්මක නාමය වන්නේ...Murraya koenigii Spreng...

කුලය වන්නේ. . RUTACEAE  හෙවත් ජම්බීර කුලයයි” යනුවෙන් මනෝජ් මහතා විස්තර කළේය.

“එතකොට සර්, කරපිංචාවල ස්වරූපය ගැන මොනවද කියන්න තියෙන්නෙ?” යනුවෙන් කලණ ඇසූවිට

මනෝජ් මහතා පැවසුවේ

“කරපිංචා කියන්නෙ ඉතා සුවිශේෂ සුවඳකින් යුක්ත මුළුතැන්ගේ විශේෂ තැනක් ගන්න ශාකයක්. ඒ වගේම මේ ශාකය මීටර් 6 ක් පමණ උසට වැවෙනවා. සියුම් රෝම සහිත පත්‍ර තද කොළ පාටයි. මේ පත්‍ර තරමක් එක ගොඩේ පිහිටනවා. මෙහි හටගන්න මල් ක්‍රමවත් බවින් යුක්තයි. සුදු පාටයි. දෙසැම්බර් සහ අගෝස්තු මාසවල මල් හටගනු ලබනවා.ඒ වගේම ඒ මල් ඉතා සුවඳයි.”

යනුවෙනි. ඔහු නැවතත් කතාව අරඹමින්

“ඒ වගේම පුතා කරපිංචා ආහාරමය වශයෙන් වැදගත් වන ආකාර කිහිපයක් තියෙනවා.” යැයි ද කීවේය. ප්‍රධාන වශයෙන් කැඳ සඳහා යොදා ගන්නා බවත් එසේම මෙම කැඳ පෝෂ්‍යදායී ආහාරයක් බවත්. විෂක් ශරීර ගතවූ විට එය සමනයට ඉතා යෝග්‍ය බවත්, ඒ වාගේම ආහාර රසවත් කිරීම සදහා කරපිංචා නැතිවම බැරි දෙයක් බවත් ඔහු වැඩිදුරටත් කීය. .

“එතකොට සර් කරපිංචා ඖෂධීය වශයෙන් ගොඩක් ප්‍රයෝජනවත් නේද?” යනුවෙන් කලණ ඇසූවිට මනෝජ් මහතා කීවේ කරපිංචා ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් බවයි.

“ඔව් පුතා... කරපිංචා කියන්නෙ හොඳ ඖෂධයක්. කරපිංචාවල කොළ..පොතු..මුල් සහ මල් වශයෙන් වන පංචාංගයම ඖෂධ සඳහා ගන්නවා. කරපිංචාවල ඖෂධීය ගුණාගුණ සැලකුවාම.. මේවා රසයෙන්..කටුක..තික්ත..කෂාය.රස යුක්තයි.ගුණයෙන්..ලඝු..ස්නිග්ධ.සහ ..තීක්ෂණයි.වීර්යයෙන් උෂ්ණයි.

විපාකයෙන්...කටුකයි...මේනිසා වාත සහ සෙම් දෝෂ නසනවා. ඉතින් වාත රෝග සහ සෙම් රෝග සදහා ඉතාමත් ගුණදායකයි” යනුවෙනි.

“සර්..එතකොට කරපිංචා කොහොමද ඖෂධ සදහා යොදාගන්නෙ. ඒ ගැනත් විස්‍තර ටිකක් කියල දෙනව නම් සර්ට ගොඩක් පින්. යනුවෙන් කලණ ඉල්ලා සිටි විට මනෝජ් මහතා මෙසේ පැහැදිලි කළේය.

“පුතාට මම ඒ ටිකත් කියල දෙන්නම්කෝ.ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන එක ඉතා වටින දෙයක් වගේම ලොකු පිනකනේ... පුතා ..අකලට හිසකෙස් පැසීම් වලදි...

1කරපිංචා කොළ වියළා කුඩුකර එළගිතෙල් වලින් අනා කෑම හොඳයි.

2පොල් තෙල් හෝ තැඹිලි තෙල්වලට කරපිංචා කොළ යුෂ දමා කකාරාගත් තෙල් හිස ගැල්වීම හොදයි

ඒ වගේම බිබිලි සහිත හමේ රෝගවලදි..

කරපිංචා කොළ එලකිරෙන් තම්බා අඹරා ගෑම හොඳයි.

සෙම් රෝගවලදි කරපිංචා කොළ තම්බා ගත් වතුරෙන් කට සහ උගුර සේදීම හොඳයි.

සර්පවිෂේදී

1කරපිංචා පංචාංගයම අමුකහ ලුණු සමග කොටා මලවා බැඳීම.

2කරපිංචා යුෂ මිරිකා කකාරා ගෑම.

3කරපිංචා කොළ කැඳ බීමට දීම.

4 විෂ විරේකයට... කරපිංචා කොළ සහ ඇට දෙහි ඇට එක සමව ගෙන අඹරා දෙහි ඇඹුලින් බීම හොදයි

ගැබිනි මව්වරුන්ගේ උදෑසන වමනයට

කරපිංචා කොළ යුෂ..දෙහි ඇඹුල්..සහ සීනි මිශ්‍ර කර වරින් වර දිවේ ගෑම සුදුසුයි.

මෙය තෙල් වැඩිපුර කෑමෙන් වන වමනයට සහ බඩ පුරවා දැමීමටද ගුණදායකයි.

පිත් වමනයට

කුඩුකර ගත් කරපිංචා ගසේ පොතු තේ හැන්දක් ඇල්වතුරින් බීම හොඳයි. බඩ බුරුල්ව යාමේදී.

කරපිංචා දලු මී පැණියෙන් අඹරා දීමන් ගුණ ලැබෙන අතර රක්ත අර්ශස් රෝගයටද මෙය ඉතා ගුණදායකයි. ඒවගේම දියවැඩියාවටත් කරපිංචා ඉතා ගුණයි.

හොදින් මෝරපු කරපිංචා කොළ 10 ක් අමුවෙන් දිනපතා උදෑසන ආහාරයට ගැනීමෙන් දියවැඩියාව වළක්වා ගන්න පුළුවන්

එසේම හෘද රෝගවලටත් විශේෂයෙන් අධිකව කොලෙස්ටරෝල් තත්ත්වයන් ඇති විටත් කරපිංචා අඩංගු යෝගයන් ඉතා ගුණයි.

1කරපිංචා කොළ මිටක් පමණ ගෙන සුදුළූනු බික් කිහිපයක්..ගම්මිරිස් ඇට කීපයක් සමඟ අඹරා දෙහි ඇඹුල් දමා දිනපතා ආහාර සමඟ ගැනීමෙන් කොලෙස්ටරෝල් පාලනය කරගන්න පුළුවන්.

2කරපිංචා කොළ සහ මුල වියළා කලං 48 ක් ද, සුදුළූනු කලං 12 ක් ද ගෙන වතුර බෝතල් 5 ක් දමා බෝතල් 1 ට සිඳ ඒ බෝතලය අව්වේ කකාරා 1/2 ට සඳ මී පැණි බෝතල් 1 ක් දමා සතියක් තබා දිනකට දෙවරක් මේස හැදි 2 බැගින් බීම ඉතා ගණදායකයි. මේ වගේ ඖෂධ යෝග රාශියකට කරපිංචා යෙදෙනවා“ යනුවෙන් මනෝජ් මහතා කරපිංචා ගැන වටිනා විස්තරයක් ඉදිරිපත් කලේය

“ සර්ට ගොඩක් පිං මට මේ තොරතුරු ලබා දෙනවාට. තව මොනවද සර් කරපිංචා ගැන දැන්ගන්න තියෙන්නෙ?” යනුවෙන් කලණ නැවතත් මනෝජ් මහතාගෙන් විමසුවේය.

“තවත් වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඉන්නකෝ ඒ ටිකත් මම පුතාට කියන්නම්.” යැයි මනොජ් මහතා ළඟ තිබූ පොතක් කලණට යොමු කරමින් පිළිතුරු දුන්නේය.

“කරපිංචා අඩංගු වැදගත්ම දෙයක් තමයි කෂාය වර්ග. ඒවා අතරින්

1කරපිංචා නැටි..අරළු..ඉඟුරු..කෂාය. පිපාසා.. මලබද්ධය, ආම වේදනා, ආදියට හොඳයි.

2 අභයා කණා කාලශාක. දන්තී ... ආදී කෂාය අර්ශස් සඳහා අනුලෝමන කෂායක්

3 අරළු..කරපිංචා නැටි..පෙති පුවක් කෂාය..ශෝධනයට හොද කෂායක්

4 කරපිංචා කොළ, බෙලිමුල්, සාරණ මුල්, සුදුළූනු, කොල්ලු, දේවදාර, ඉඟුරු කෂාය හෘද රෝගවලට ගුණ කෂායක්

මේ කෂාය වර්ග කරපිංචාවලට ප්‍රධානයි. ඒ වගේම කරපිංචා අඩංගු සංස්කාරික ඖෂධත් කීපයක් තියෙනවා. ඒවා තමයි

සුරභිනිම්බ අර්කය...

කාලශාඛාදී ක්වාථය.

කෛණ්ඩර්යාදී චූර්ණය ආදි ඖෂධ.

ඔන්න ඔය විස්තර ටික තමයි කරපිංචා ගැන කියන්න තියෙන්නෙ “ යැයි කියූ මනොජ් මහතා එහෙම බැලුවාම ‘කරපිංචා කියන්නෙ අපිට ඉතාමත් අත්‍යවශ්‍ය ඉතා අගනා වටිනා ඖෂධාහාරයක්’ යනුවෙන්ද පැවසීය. මේ ඇසූ කලණ “සර්ට ගොඩක් පින්. මට කරපිංචා ගැන විස්තර හොයල දුන්නට .මට මේ කරුණුවලින් හොද නිබන්ධනයක් හදා ගන්න පුළුවන” යනුවෙන් පවසා මනෝජ් මහතාට ස්තුති කර නිවස බලා ගමන් ඇරඹීය.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය  මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.