වාත රෝග නසන අගනා ඔසුව සේපාලිකා

දෙසැම්බර් 22, 2023

 

දෙවැනි වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයකු වූ ජනකට නිබන්ධනයක් සඳහා “සේපාලිකා” ශාකය ගැන කරුණු ටිකක් හැදෑරීමට අවශ්‍ය විය. ඒ සඳහා ද්‍රව්‍ය ගුණ පිළිබඳ වූ පොත් කීපයක් පරිශීලනය කළ ද එහි දී ඇතිවූ ගැටලු කීපයක් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය විය. ඒ වෙනුවෙන් ඔහු අවසන් වසරේ ශිෂ්‍යයෙකු වූ සමන්ත ගේ උදව් පැතීය.

සමන්ත හමු වී ඔහු තම අවශ්‍යතාවය ඉදිරිපත් කළේය.

“සමන්ත අයියේ. ඔයාගෙන් උදවුවක් ඕනෑ වෙලා මම ආවේ” යනුවෙන් ජනක කීය.

එවිට සමන්ත “ මොකක්ද මල්ලි අවශ්‍යතාව. කියන්න මට පුළුවන් දෙයක් නම් කරල දෙන්නම්” යනුවෙන් ජනකට කීය.

“අයියෙ මට ‘සේපාලිකා’ ගැන නිබන්ධනයක් කරන්න තියෙනවා. ඒ ගැන කරුණු ටිකක් දැන ගන්නයි ඕන.” යැයි ජනක තම අවශ්‍යතාවය සමන්ත ට ඉදිරිපත් කළේය.

“හරි මල්ලි. මම කියල දෙන්නම්. හොඳයි අපි ඒ ගැන කතා කරමු.” යනුවෙන් කී සමන්ත සේපාලිකා ශාකය ගැන තොරතුරු ජනකට කීම ආරම්භ කළේය.

සේපාලිකා කියන්නෙ ඉතා ප්‍රයෝජනවත් ශාකයක්. බොහෝ දෙනා සේපාලිකා ගැන දන්නෙ එහි තියෙන සුගන්ධවත් මල් නිසා. මේ මල් සමන්පිච්ච මල් වගේම සුවඳින් යුක්තයි. ඒ වගේම මේ මල් පිපෙන්නෙ රාත්‍රී කාලයට. ඒත් උදේ වෙනකොට සියලුම මල් වැටෙනවා. සුවඳවත් මල් සහිත නිසා පුදපූජා සඳහාත් ගෙවතු අලංකාරය පිණිසත් බොහෝදෙනා සේපාලිකා ගස් වවනු ලබනවා.

එසේ වුවත් සේපාලිකා ඖෂධීය වශයෙනුත් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් බව පැරණි ආයුර්වේද සංහිතා පරිශීලනයෙන් පැහැදිලි වෙනවා.” යනුවෙන් සේපාලිකා ගැන හොද හැඳීන්වීමක් සමන්ත විසින් ජනකට පෙන්වා දුනි.

එතකොට අයියේ සේපාලිකා හැදෙන්නේ අපේ රටේ විතරද යනුවෙන් ජනක නැවතත් සමන්ත ගෙන් විමසීය.

සේපාලිකා කියන්නෙ ශ්‍රි ලංකාවෙ සෑම පළාතකම පාහේ හොඳින් වැවෙන ශාකයක්. ඒ වගේම විදේශීය වශයෙන් මධ්‍යම භාරතය, වංග දේශය, හිමාලය මිටියාවත් ප්‍රදේශය, මියැන්මාරය ආදි ප්‍රදේශවල හා රටවල හොඳින් වැවෙන ශාකයක්. යනුවෙන් සමන්ත විස්තර කළේය.

ඒ වගේම සේපාලිකා ගස් සාමාන්‍යයෙන් අඩි 10-15 ක් පමණ උසට වැවෙනවා. තද සුදු පාටින් යුතු බූව සහිත කොළවලින් මෙය යුක්තයි. මේ ගසේ හටගන්න මල් සුදු පාටයි. මලේ නටුව රතු පාටයි. සමන්පිච්ච මල් හා සමාන සුවඳින් යුක්තයි. බහුල ලෙස හට ගන්නවා. ඒ වගේම මේ මල් රාත්‍රියට පිපිලා උදේ වෙනකොට සියලුම මල් වැටෙනවා.” යනුවෙන් සමන්ත තවත් විස්තර ජනකට කියා දුනි “එතකොට සමන්ත අයියේ සේපාලිකාවලට කියන විවිධනම් මොනවද” යනුවෙන් ජනක නැවතත් ඇසීය.

සේපාලිකාවලට සිංහල භාෂාවෙන් සේපලිකා නම යෙදෙනවා, සංස්කෘත භාෂාවෙන් ශේඵාලිකා මන්දාර පාරිජාත, ප්‍රාජක්ත රාගපුෂ්පී ශුක්ලාංගී, රජනිභාෂා රක්තවෘන්තා. විජයා ආදී නම් රාශියක් යෙදෙනවා.

හින්දි භාෂාවෙන් හරශිංගාර පරජාතා ආදී නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන්

මන්ජප, පවලමල්ලිගායි, යන නම් යෙදෙනවා.

ඉංග්‍රිසි භාෂාවෙන්

Night Jasmine  සහ Weeping Nyctanthes  යන නාමයන් යෙදෙනවා.

එසේම සේපාලිකාවල උද්භිද විද්‍යාත්මක නාමය Nyctanthes arbortridtis  යන නාමය යි. කුලය වන්නේ OLEACEAE  හෙවත් පාරිජාත කුලයයි” යනුවෙන් සමන්ත විස්තර කළේය.

“එතකොට සමන්ත අයියේ සේපාලිකාවල ඇති ඖෂධීය වටිනාකම කොහොමද” යනුවෙන් ජනක තවත් ප්‍රශ්නයක් ඇසීය. එයට පිළිතුරු දුන් සමන්ත.

“සේපාලිකා ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් වැදගත් වෙනවා. විශේෂයෙන් වාත අමාරුවලට හොඳ ඖෂධයක්. සේපාලිකාවල මල් කොළ පොතු මුල් ඇට යන පංචාංගයම ඖෂධ සඳහා යොදා ගන්නවා.” යැයි පැවසීය.

“ඒ වගේම ආයූර්වේදයේ දක්වල තියෙන්නෙ සේපාලිකා රසයෙන් තික්තයි.

ගුණයෙන් ලඝු හා රූක්ෂයි

වීර්‍යයෙන් උෂ්ණයි.

විපාකයෙන් කටුකයි වශයෙන්.

දෝෂ අනුව ගත්තාම

සෙම් හා වාත දෝෂ නසන සහ පිත් සංශෝධන ගුණයෙන් යුක්තයි. මේ නිසා සෙම් සහ වාත රෝග සමනය සඳහාත් පිත් රෝගවලදි සංශෝධනය සඳහාත් යොදාගනු ලබනවා” යනුවෙන් සමන්ත සේපාලිකා ගැන හොද විස්තරයක් කළේය.

ඒ වගේම බාහිර ප්‍රයෝග වශයෙන් සේපාලිකා බීජ ජලයෙන් අඹරාගත් ලේපය අකලට කෙස් වැටීමේ රෝගයේදී සහ ඉස් හොරි සහ හිසේ කොරපොතු ආදී රෝග වලදී හිසේ ආලෙපයට ඉතාමත් යෝග්‍යයි.

එමගින් නිරෝගී කෙස් සහිත හිසක් ඇතිවේ.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

සේපලිකා පත්‍ර යුෂ අර්ශස, මල බද්ධය, බඩගිනි අඩුකම, අක්මා රෝග, පණු රෝග ආදී අවස්ථාවල ප්‍රයොජනවත් වෙනවා.

මෙහිදී සේපාලිකා කොළ යුෂ මීපැණි සහ ලුණු සමඟ යෙදීමෙන් වටපණුවන් (Round worm) සහ කිරි පණුවන් වැටෙනවා .

ඒ වගේම මේ යුෂය කුඩා

ළදරුවන්ට ප්‍රවේශම්කාරී විරේකයක්. ඒ වගේම මෙහි මෘදු විරේචන සහ පිත්ත නිස්සාරක ගුණ යුතුයි.” යනුවෙන් සමන්ත සේපාලිකා ගැන තවත් විස්තර කීය.

“සමන්ත අයියේ සේපාලිකා තව මොනවටද ගුණ?” යනුවෙන් ජනක නැවතත් ඇසීය.

“තවත් රෝග රැසකට ගුණයි.

සෙම් රෝගවලදි විශේෂයන් කැස්ස සහ ඇදුම වගේ රෝගවලදි

සේපාලිකා පොතු චූර්ණය බුලත් ඉස්මෙන් යෙදුවාම ඝන වූ සෙම ලිහිල් කර බැහැර කරනු ලබනවා.

ඒ වගේම සේපාලිකාවල ලේ පිරිසිදු කරන ගුණ යුතුයි.

එසේම මෙහි මූත්‍රකාරක ගුණ ඇති නිසා මූත්‍ර කෘච්ජ්‍ර වගේ රෝගවලදි යොදන්න පුළුවන්.

එසේම සමේ රෝගවලදි ආලේප සඳහා යොදා ගනු ලබනවා. ඒ වගේම කල්ගතවූ උණ සහ මැලේරියාව ආදියේදී සේපාලිකා කොල 6 ක් 7ක් සහ අමුඉගුරු ස්වල්පයක් සමඟ වතුරෙන් අඹරා ගැනීම හොඳයි.

එසේම ගැධ්‍රසි වාත රෝගයේදි

සේපාලිකා කොළ කෂාය ගුණදායකයි.

වටපණු රෝගයට

සේපාලිකා කොළ චූර්ණය සහ ක්වාථය හොඳයි.

සියලු උණ රෝග සඳහා සේපාලිකා කොළ යුෂ මීපැණි සමඟ ගුණදායකයි.

නාසයෙන් ලේ යනවිට සේපාලිකා මුල් යුෂ නස්‍ය කරනු ලබනවා.

වාතයෙන් හටගත් සන්ධි ඉදිමුමට

සේපාලිකා කොළ ප්‍රලේපය ඉතා හොඳයි.

ඌරුස්තම්භ රෝගයට

සේපාලිකා කොළ ක්වාථය යොදනු ලබනවා” යනුවෙන් සමන්ත සේපාලිකා වල ඖෂධීය යෝග රාශියක් ගෙනහැර දැක්වීය.

ඒවගේම සේපාලිකාවල ඖෂධීය මාත්‍රාවන් සැලකුවාම

සේපාලිකා යුෂ

කර්ෂ 1- 2 දක්වා

සේපාලිකා චූර්ණය

රක්තිකා 2- 8 දක්වා

සේපාලිකා ක්වාථය

කර්ෂ 5-10 දක්වා

යැයි සමන්ත තවත් වැදගත් කරුණක් පෙන්වා දුන්නේය.

ඉතිං ඔන්න ඔය වගේ ඉතා වැදගත් ඖෂධීය ශාකයක් තමයි සේපාලිකා කියන්නෙ” යනුවෙන් නැවත සමන්ත පැවසීය.

“සමන්ත අයියට ගොඩක් ස්තුතියි මට සේපාලිකා ගැන තොරතුරු හොයල දුන්නට. මට දැන් මගේ නිබන්ධනය හොඳට කරන්න පුළුවන්” යනුවෙන් ජනක සමන්ත ට පැවසීය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.