සම වයසට යා නොදී රැක ගමු පෝෂණය දී

ජනවාරි 12, 2024

වයසට යෑමත් සමඟ සම රැලි වැටීම ස්වාභාවික සංසිද්ධියක් වුවත් සුන්දර රූපයක් හිමි අයකුට කාලයත් එක්ක සම රැලි වැටෙනවිට දැනෙන්නේ වේදනාවක්. වයස්ගතවීම නිසාම නොව, ඇතැම් අයගේ සම විවිධ හේතු නිසා අකලට රැලි වැටීමත් සිදුවේ.

සමේ ශක්තිය, නම්‍යතාවය සහ තරුණ බව රැක දෙන ප්‍රෝටීන් වර්ගය වන්නේ කොලැජන්ය. මේ තරුණ බව රැකදෙන කොලැජන් සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කර ගැනීමට හේතුවේ. වයස්ගත වීමත් සමේ ස්ථර ක්‍රම ක්‍රමයෙන් තුනී වීමට පටන්ගැනීම නිසා සම රැලි වැටීම සිදුවේ.

සම රැලි වැටීමට බොහෝ හේතු බලපායි. ආහාර රටාව, පෝෂ්‍යදායි ආහාර ලබා නොගැනීම, සමේ තෙතමනය නොමැතිකම, මානසික ආතතිය වගේම භාවිත කරන රූපලාවණ්‍ය නිෂ්පාදනවල බලපෑමත් සම රැලි වැටෙන්න හේතුවක් විය හැකියි.

සම රැලිවැටීම, සම අවපැහැගැන්වීම වයසට වඩා වියපත් පෙනුමක් ලැබීම වැනි ගැටලු ඇති අයකු පළමුවෙන්ම කළයුතු වන්නේ දිනපතා නිවැරදි ප්‍රමාණයකින් ජලය පානය කිරීම යි. කුමන ආකාරයේ ජීවන රටාවකට හුරුවූ අයෙක් වූව ද, හොඳීන් වැඩිපුර ජලය පානය කිරීම මඟින් සමේ තෙතමනය රඳාපැවතීම සහ පැහැපත් කිරීමේ කාර්‍යයන් මනාව ඉටුකරනු ලබ යි.

රාත්‍රියේ දී හොඳ නින්දක් ලබා ගැනීමද සමේ සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. රාත්‍රී නින්දේ දි දිනයක් මුළුල්ලේ වෙහෙස වීමෙන් හා බාහිර පරිසරය හා ගැටුණු ශරීරය ප්‍රකෘතිමත් කර සමට අවශ්‍ය විවේකය මෙන් ම නැවුම්බවක් එක් කරන්නට නින්දට හැකියාව ඇත.

සමට ආලේපන භාවිත කිරීමේදී වයස, සමේ ස්වාභාවය අනුව සුදුසු ආලේපන පමණක් භාවිතා කළ යුතුය. ව්‍යායාම කිරීමෙන් පසු දහදිය දැමීමෙන් සමේ රෝමකූප මනාව විවර වේ. එබැවින් ව්‍යායාම කළ විගස ස්නානය කිරීමෙන් සම හොඳීන් පිරිසුදු කරගත හැකි අතර නැවුම් බවකින් සම ප්‍රකෘතිමත් කිරීමට එවැන්නකට හැකි ය. එමෙන් ම විටමින් A, C, E බහුල එළවලු , පලතුරු අඩංගු සමබල ආහාරවේල් ගැනීම ඉතා ම වැදගත් බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

පැඟිරි කුලයේ පලතුරු, කහ පලතුරු, අලිපේර, ස්ට්‍රෝබෙරි, දෙළුම්, වැනි පලතුරු ද කැරට්, වට්ටක්කා, වැටකොලු, පිපිඤ්ඤා ආදී එළවළු වර්ගද මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා ආදී පළා වර්ග ද වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් විටමින් ඌනතා සමනයට පත්වී සම රැලි වැටීම පාලනය වී සම පැහැපත්වීම සිදුවේ.

ආයුර්වේද ක්‍රමයට සමට යොදන සත්කාර පියවර කීපයකි. එනම්, සම පිරිසිදු කිරීම, සම්බාහනය කිරීම, හුමාලය ඇල්ලීම හා සම පෝෂණය කරන ආරක්ෂා කරදෙන සත්කාරයන් සිදු කිරීම.

හුමාලය ඇල්ලීම මුහුණ පැහැපත් කරගැනීමට හැකි හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය වර්ග කිහිපයක් වතුර භාජනයකට දමා හොඳින් රත්කර එම පිටවන හුමාලය මුහුණට ඇල්ලීම සිදු කල යුතුයි. හුමාලය ඇල්ලීම මඟින් සමේ පවතින දූවිලි හා අපවිත්‍ර ද්‍රව්‍යය ඉවත් වෙන අතර එමඟින් සමේ සිදුරු හොඳීන් විවෘතව වන නිසා පසුව යොදන ඖෂධ හා සත්කාර සමට හොඳීන් උරා ගනු ලබයි.

ඉහත පියවර අනුගමනය කර සම සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමෙන් වයස යනු ඉලක්කමක් පමණක් බව සනාථ කිරීමට හැකිවනු ඇත.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල, කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.