දිවි පැවැත්මට පාර කියන හෙළ වෙද දැක්ම

දෙසැම්බර් 29, 2023

හෙළ වෛද්‍ය ක්‍රමය විශිෂ්ට දර්ශනයකි. පුස්කොළ පොත් මත ලිය වී තිබෙන්නක් වේ. ඉන් ලක්ෂයකට අධි ප්‍රමාණයක් බටහිර ආක්‍රමණිකයන් සතුය. හෙළ වෛද්‍ය දැක්ම ප්‍රමාණික සොයා බැලීමකට බඳුන් කර නොමැතමි වීම දේශීය උරුමයන් නොතකා හැරීමක් නොවේද?

“ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ. රටකට නීරෝගි මානව වර්ගයා මහා සම්පතකි. එලොව මෙලොව වශයෙන් වැදගත් වන්නක් වේ. පරිපූර්ණ රෝගීභාවය කුමක්ද යන්න දත යුතුය” ශාරීරික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික නීරෝගිභාවයයි” මෙය ජාතියක් සෝබමාන කරන්නක් වේ.

හෙළ වෛද්‍ය ක්‍රමයේ ගැඹුරු ජීවන දර්ශනයක් අන්තර්ගතය. පුද්ගලයන්ට නීරෝගි ජීවිතයක් ගත කිරීමට පූර්ණ මඟපෙන්වීමක් සිදු කරයි. මේ වනාහි ජීවිත හැඩගස්වා ගැනීමේ විද්‍යාවක් වේ. හෙළ වෙදකම වනාහි “ඉගෙනුම්, ඉගැන්වීම්’ ක්‍රියාවලියකි. රෝගවලට ප්‍රතිකාර කිරීම මේ වෛද්‍ය ක්‍රමයේ එක් අංගයක් පමණි. අනෙක් පසෙන් රෝගවලින් වැළැක්වීම, ඉගැන්වීම හා පුහුණු කිරීම සිදු කෙරෙයි. එම නිසා හෙළ වෙද මහතුන් වෛද්‍යාචාර්ය යන ගෞරව නාමයෙන් හැඳින්වේ.

හෙළ වෙදකම නීරෝගි පුද්ගලයා මෙලෙස අර්ථ ගන්වයි. වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන් හි සමතුලිත බවක් පවත්වා ගත යුතුය. මෙහිලා සප්ත ධාතුන්ගේ මනා පෝෂණය පවත්වා ගත යුතු වෙයි. ප්‍රසන්න ඉන්ද්‍රියන්, ආත්මය මෙන්ම මනා මනසකින් පසුවිය යුතුවේ. මේ භාග්‍යය ලද පුද්ගලයා නීරෝගි අයකු හෙවත් ස්වස්ථයකු ලෙස හඳුන්වයි. මේ සඳහා රෝගවලට පිළියම් යෙදීම හා සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.

නීරෝගි පැවැත්මකට හිමි දින චර්යාවන් නියම කර තිබේ. එය දෛනිකව අනුගමනය කළ යුතු වේ. අලුයම අවදිවීමේ සිට රාත්‍රී නින්දට යනතෙක් හැසිරිය යුතු ක්‍රියාපිළිවතකි. අලුයම බ්‍රහ්ම මුහුර්තියෙන් අවදිවීම අත්‍යවශ්‍ය අංගයක් වේ.

එනම් අලුයම 4.30 - 5.30 අතර කාලයේ අවදි විය යුතුය. අවට පරිසරය පුරා පිරිසුදු වාතය සංසරණය වන කාල පරාසයකි. මානසික සුවදායකත්වයෙන් යුතු නිස්කලංක වටාපිටාවකින් යුක්තය. දවසේ කටයුතු උදෙසා සිරුර හා මනස මනාව සූදානම් කර ගත හැකි වේ.

හෙළ වෙද ඉගැන්වීම් අනුව මෙලෙස අවදිවන්නන් දවසේ කටයුතු සඳහා සූදානම් විය යුතු පිළිවතකි. මළ මුත්‍ර වේග හොඳින් බැහැර කරගත යුතුය. ක්‍රියාකාරි සිරුරකට අවැසි උණුසුම් ව්‍යායාමවල නියැළීමට අවශ්‍ය වේ. මුඛ පවිත්‍රතාව උදෙසා සැකසූ දේශීය ඔසුවකින් දත් මැදිය යුතුය. සිරුරෙ තෙල් ආලේපයේදී හිසට හා කෙස්වලට සරිලන තෙලක් භාවිතය වැදගත්ය. කාර්යබහුල වර්තමානයේ තෙල් භාවිතය දිනපතා කිරීමට අපහසු විය හැකිය. එහෙත් සතියට වරක් හෝ දෙවරක් කළ හැකිනම් සෝභමානත්වයට හා දීර්ඝ ආයු සම්පත්තියට හේතු වේ. දෛනික ස්නානය ජීවන පුරුද්දක් කර ගත යුතුය. පිරිසුදු ඇඳුම් ඇඳීමට නිරතුරුව හුරුවිය යුතු වේ. මේ සියල්ල සේම මානසික පවිත්‍රතාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. මේ සඳහා නිවැරැදි නිතිපතා ආගමික වත්පිළිවෙත්වල නියැළිය යුතු වේ.

මිනිසුන් සෑම දිනකම විවිධ අවස්ථාවන්ට මුහුණ දෙනු ලැබේ. මුහුණදීම්වලට අනුව පාලනය කළ යුතු හා බැහැර කළ යුතු වේග පවතියි. හෙළ වෛද ඉසිවරු කර තිබෙන තත් නියමයන් වේ. ඉන් ලබාගත හැකි සුව සම්පත අපමණය. මල, මුත්‍රා, හික්කාව, කිවිසුම, කැස්ස, නින්ද, පිපාසය, කඳුළු, බඩගින්න පුද්ගලයන් නොදැරිය යුතු වේග වෙයි. මෙම තත්වයන් දැනුණු විගස සමනය කර ගැනීම හිතකරය. ඉන් දිවියට ලැබෙන යහපත බොහෝ වේ.

කාමාශාව, උඩඟුකම,කෝපය, ලෝභය, මෝඩකම, ඊර්ෂ්‍යාව, දැරිය යුතු වේගයන් බව හෙළ වෙද පුස්කොළ පොත්වල සඳහන්ය. මෙවැන්න දක්වා ඇත්තේ ගැඹුරු ජීවන දර්ශනයක් මත පිහිටා බව පැහැදිලි නොවන්නේද?

නොදැරිය යුතුවේග දැරීමෙන් ඇතිවන ආබාධ බොහෝය. දැරිය යුතු වේග නොදැරීමෙන් අත්වන ඉරණම අතිශය කණගාටුදායක වේ. මේ නිසා ශාරීරික, මානසික, අධ්‍යාත්මික හා සමාජීය වශයෙන් පිරිහෙනු නොඅනුමානය.

මිනිසාගේ පැවැත්ම කෙරෙහි ආහාර කරන බලපෑම සුවිශේෂ වේ. “අග්නිය” හෙවත් ආහාර දිරවීමේ ශක්තිය දුර්වල වීම සියලු රෝගවලට හේතු වන්නකි. එම නිසා ආහාර පිළිවෙත් දිනපතා යාවත්කාලීන කරගත යුතුය. දෛනික චර්යාවේ ආහාර භාවිතය යහපත් පුරුදුතාවක් කර ගැනීම නීරෝගීභාවයට හේතු වන්නකි. තුරුණු වයසේ ශරීර ප්‍රබලතාවෙන් පෙළෙන්නන්ගේ ආහාර රටාව සලකා බැලීමෙන් පැහැදිලි වේ.

ආහාර ලබා ගැනීම කිසියම් මාත්‍රාවකට අනුව කළ යුතුය. ආමාශයෙන් අඩක් (1/2) ආහාර ලබා ගත යුතු වේ. අනතුරුව කාලක් (1/4) පිරිසුදු ජලය පානය කළ යුතුයි. ඉතිරි කාලේ (1/4) අවකාශය සියල්ල මිශ්‍රවීමට ඉඩ තිබිය යුතුය. මෙහිලා අනුගමනය කළ යුතු පිළිවෙතකි. සෑම දිනකම නියමිත වේලාවක ආහාර ගැනීම ඉතා යෝග්‍යයි. සමතුලිත ආහාර වේලක් පිළියෙළ කර ගැනීමට පවුලේ සැම සහාය විය යුතුය. ආහාර ගැනීමට පෙර ජලය පානය කිරීම අහිතකරය. ආහාර ගැනීමෙන් පසුව ජලය පානය කළ යුතු වන්නේ ස්වල්පයක් පමණ වැඩිපුර ජලය ගැනීම නිසා ආහාර පැසීමේ වෙනස්කම් අහිතකරව බලපානු ලැබේ. ආහාර ලබාගෙන පැති 03කට පසු මනාපය අනුව ජලය පානය කළ හැකිය.

දවසේ ආහාර ගැනීමේ රටාව විචාරවත්ව කළ යුතු වේ. ආහාරයක ගත් ආසන්නයේ නැවත ආහාර ගැනීමෙන් වැළකිය යුතුය. ප්‍රධාන ආහාරවේල් අතරතුර යළි යළි කෑම ගැනීම දිරවා ගැනීමේ දෝෂ මතු කරයි. රුචි නොවන දෑ ආහාරයට ගැනීමෙන් වැළකීම අත්‍යවශ්‍ය වේ. ශීතකරණවල තබා පිළුණු ආහාර භාවිතයට ගැනීම නුසුදුසුය. පරණ ආහාර යළි යළි රත්කර කර භාවිත කිරීමද නරක පුරුද්දකි. සිතේ සතුටින් පි‍්‍රයමනාප ආහාර ගැනීම ජීවන පුරුද්දක් කරගත යුතුය. හෙළ වෙද ආහාර දැක්ම ඔබ සියලු දෙනා බෝනොවන රෝගවලින් වළකා ගනියි. සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි 80%ක් බෝ නොවන රෝග වලින් පෙළෙයි. ඉන් 15%ක් දියවැඩියාවෙන් පෙළෙන බව අනාවරණය කරගෙන ඇත. තවත් 35%ක් අධිරුධිර පීඩනයට ගොදුරු වී තිබේ. මේ අයහපත වර්තමාන ජන සමාජය මුහුණදෙන සෞඛ්‍ය ගැටලු වේ.

එහිලා බලපානුයේ පාරම්පරික ආහාර රටාවෙන් මිදී ක්ෂණික ආහාරවලට නතු වීමය. නිවසින් බැහැරවීමේදී ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම හෙළ වෙද ඉගැන්වීමකි. සිය මඟපෙන්වීමේ ප්‍රමුඛතා කීපයකට අවධානය යොමු කිරීම වැදගත්ය. ආදිතමයන් පාදයේ පතුරු වර්ග බැඳ ගමන් බිමන් ගොස් තිබේ. ඒ වෙනුවට වත්මන් වැසියන් පාවහන් පැලඳ ගමන් කිරීම ආපදාවන්ගෙන් මිදීමේ එක් පියවරකි. පෙරදා ඉහලූ තල් අත්ත වෙනුවට අද කුඩය භාවිත කළ හැකිය. නොඑසේ නම් හිස්වැසුමක් භාවිත කිරීම හිතකරය. රාත්‍රි ගමන් බිමන් වලදී සැරයටියක් භාවිත කළ යුතුය. එය බිම ගැටීමේදී විහිදෙන තරංග නිසා සර්පයන් ඈතට පලා යයි. ඉන් සර්ප දෂ්ඨයන්ගෙන් මිදීමේ පරිසරයක් ඇති වේ. වයසගත වන විට සැරයටි භාවිතයෙන් ශාරීරික තුල්‍යතාව රැක ගත හැකිය.

රාත්‍රී නින්ද දවසේ වැඩ කටයුතු නිම වීමෙන් පසු ලැබෙන හොඳ විරාමයකි. මනසට හා කයට දැනෙන වෙහෙස සමනය කර ගත හැකිය. රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු පැය දෙකක පමණ ගතවන තෙක් නොනිදිය යුතුවේ. ආහාරයෙන් පසු දත්මැද මුව සෝදා පියවර 150ක් පමණ ඇවිදීම ඉතා යෝග්‍යයකි. ආහාර දිරවා අවසන්වීමට දකුණු ඇලයට හැරී නිදා ගැනීම යහපත්ය. නින්ද ළඟා එන තුරු සරල භාවනාවක යෙදීම යෝගය්‍ය බව හෙළ වෙද දුරුහු පවසති.

වයස් සීමාව අනුව නින්දේ සිටිය යුතු කාල රාමුවක් හෙළ වෙද භාවිතයේ වේ. දරුවෙකුට පැය 10ක පමණ නින්දක් අවැසි බව සඳහන්ය. නීරෝගි වැඩිහිටියකු රාත්‍රී නින්ද පැය 5 - 8ත් අතර කාලයක තබා ගත යුතුය. මෙයින් බෝනොවන රෝග ගණනාවකින් වැළකිය හැකි වේ. දහවල් නින්දෙන් වැළකීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙයි. මක්නිසාද යත් රෝග රාශියකින් මිදී සිටීමට හැකිවන බැවිනි. පුද්ගල සෞඛ්‍ය අභිවෘද්ධිය උදෙසා හෙළ වේදයේ ඉගැන්වීම් විශිෂ්ටය. කායික හා මානසික වැරදිවලින් මිදීම ප්‍රධාන පිළිවෙතයි. යහපත් හැසිරීම් මත ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම අත්‍යවශ්‍ය අංගයකි. යහ ආචාර ධර්මයන් අනුගමනය කිරීම නීරෝගිමත් ජීවිතයකට මාවතයි. මෙය හෙළ වෙද ජීවන දර්ශනයේ මැනවින් විවරණය කරන්නකි.

හෙළ වෙද දර්ශනය අනුව පුද්ගල යහ පැවැත්මේ සෞඛ්‍ය සම්පිණ්ඩනය මෙසේය. නිසි පරිදි ජීවන චර්යාව සැලසුම් කරගත යුතුයි. ආහාර පිළිබඳ සුදුසු මාත්‍රාවක් පවත්වාගත යුතුවේ. සුවදායක නින්ද සේම මෙවුන්දම් සේවනය පුද්ගල සෞඛ්‍ය සංරක්ෂණයට හේතු වෙයි. මෙය පුද්ගල වින්දනයට මෙන්ම වර්ගයා බෝ කිරීමට ඉවහල් වන්නකි. මෙවැනි කාර්යයන්හි නියැළිය යුත්තේ සදාචාර ඇවතුම් පැවතුම් මතය. නොඑසේ නම් බරපතළ සමාජ පිරිහීමකට ගොදුරු වේ.

හෙළ වෙදකමේ ඉතිහාසය මහාවංශ අනාවරණය අතික්‍රමණය කරන අතර ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන්නකි. හෙළ දීපයේ ජනාවාසිකත්වයත් සමඟ ඇති වූවක් වේ. ගිරි හා ලෙන් ආශ්‍රිත පුරා විද්‍යා කැණීම්වලින් ඖෂධ සැකසු මෙවලම් රැසක් හමුව තිබේ. තවමත් ඒ සම්බන්ධ ප්‍රමාණික අධ්‍යයනයක් නොකර තිබීම කනගාටුදායකය. බුදුසමයේ ඉගැන්වීම් වලින් හෙළ වෙදකමට ඇදුරුවරු අර්ථ පූර්ණයක් ලබාදී තිබේ. මෙය මහින්දාගමනයට පෙර බුදුන්වහන්සේ වැඩ සිටි සමයාන්තර අවදියේ සිදු වූවකි. විදේශ ආගමනයත් සමඟ සංක්‍රමණික වෛද්‍ය ක්‍රම මෙරට මුල් බැස ගැනීම සමාජ විද්‍යාත්මක අනාවරණයකි. ඉන් හෙළ වෛද්‍ය ක්‍රමය තෝරා බේරා වෙන් කොට හඳුනා ගැනීම ද උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ කාර්යයකි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඉන්දියානු රාජාභිෂේක ක්‍රමයට පෙර සිටි රජවරු හෙළ වෛද්‍ය ක්‍රමයෙන් මහජන සුවසෙත සලසා දී තිබේ. එවක විස්මිත නිර්මාණ කිරීමට අවශ්‍ය නීරෝගිභාවය හෙළ වෙදකමින් සරිකළ බව පරම සත්‍යයකි. හෙළ පාරම්පරික වෛද්‍යවරු සර්වාංග අධ්‍යයන අවබෝධයෙන් ඒකාංශික විශේෂ වෛද්‍ය කර්මයන්වල නියැළුණි. ඔවුන් තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර අංශය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයකින් හෙබි පිරිසකි. පෙර පුරුද්ද අසා පුරුද්ද දැක පුරුද්ද කළ පුරුද්ද, පළපුරුද්ද යන විධිමත් පංචවිධ අධ්‍යයනයකින් වෛද්‍ය පූර්ණත්වය ලබයි. මෙහිලා අධ්‍යනය කළ යුතු පුස්කොළ පොත්පත් සිය ගණනක් තිබේ. එමෙන්ම රෝග, ඔසු, ශරීර රසායන, මනෝභාව යන විඥ්ඥානික විෂයන් රැසක් ගුරු වෛද්‍යවරු යටතේ වසර ගණනාවක් ප්‍රගුණ කළ යුතුය. එම නිසා මෙම වෛද්‍ය ක්‍රමය ඉන්දියානු ආයුර්වේදයෙන් වෙන්කර හඳුනාගත යුතුය. එහිලා වැදගත් තාර්කික නිදසුනක් මෙහිදී ඉදිරිපත් කිරීම වැදගත් වේ. කැඩුම් බිඳුම්, දැවුම් පිළිස්සුම් සර්පවිෂ යන විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මුළුමනින්ම ඉන්දියාව බටහිර වෛද්‍ය ක්‍රමයට භාරදි තිබේ. මෙරට ආයුර්වේද වෛද්‍ය උපාධි අපේක්ෂකයන්ට සිය විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ඉගැන්වීම් හෙළ පාරම්පරික වෛද්‍යවරු සිදු කරනු ලැබේ.

 

ඉතිහාසය අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යනාධිපති විද්‍යා චක්‍රවර්ති රාජකීය පණ්ඩිත වෛද්‍ය

ලක්ෂ්මන් වසන්ත රුක්මාල්

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.