ගුප්ත විද්‍යාවේ ගුරුකම් මොනවාද?

අගෝස්තු 21, 2020

ඡ්‍යොතිෂය වගේම ඉපැරණි විද්‍යාවක් තමයි ගුප්ත විද්‍යාව. ලෝකය තාක්ෂණයෙන් දියුණුව ලැබීමේදී මේ ගුප්ත විද්‍යාව ක්‍රමයෙන් වඳ වුණා කිව්වොත් නිවැරදියි. ඕනෑම දෙයක් එහෙමයි. ඕනෑම දෙයක් විනිවිදභාවය නම් ඒ ගැන කාගේත් විශ්වාසය ඇතිවනවා. ඒකට උදාහරණ ඕනතරම් තිබෙනවා. 

එකක් තමයි මුදල් සම්බන්ධව වැඩ කළ බැංකු උකස් ක්‍රියා එම ස්ථාන මහජනයාට විවෘත වුණේ පුංචි දොරකින්. ඒ මුදල්වලට ආරක්ෂාව සපයන්ට. ඒ තාක්ෂණය නොදියුණු කාලේ. මුදල් සීග්‍රයෙන් බැංකු ගත කරන්න අලුත් ක්‍රම තිබුණේ නැහැ. හැම නගරයකටමත් බැංකු තිබුණේ නැහැ. එම නිසා මුදල් පරිහරණය අතින් කරන ක්‍රමයට කළා. අද එහෙම නැහැ. හරිම විවෘතයි. මුදල් භෞතිකව එක තැනක නැහැ. ඒ සියලුම දේ කාර්මික විප්ලවයක් වෙලා. නමුත් ගුප්ත විද්‍යාව එහෙම කරන්න බැහැ. එහෙම විවෘතව කරලා ගුප්ත විද්‍යාවෙන් ලොකු වැඩ කරන්න බැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි. ඒක සිදුවන්නෙ කොහොමද කියලා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. විශේෂයෙන්ම දැනගන්න ඕන, මේ ඔක්කොම දේවල් කරගන්නෙ අමනුෂ්‍ය බලවේග වලින් බව. අපි අලින්ගෙන් වැඩ ගන්නව නම් අලි භාෂාව දැනගතයුතුම වනවා. ඒ වගේ යකුන්, පේ‍්‍රතයින් වැඩගන්නව නම් ඒ භාෂාව අනිවාර්යයෙන්ම දැනගන්න අවශ්‍ය බව විශේෂයෙන් කියන්න ඕන නැහැ. මේවා පාරම්පරික බව නම් ලියන්නම ඕනෑ. 

එතරම් වැදගත් ශාස්ත්‍රයක් දිනෙන් දින ඉතා ස්වල්ප වශයෙන් වුවත් ක්ෂය වී යන එක නතර කරන්න අමාරුයි. ගුරුකම් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිකමත් එම ස්ථාන අඩුකම නිසා කරන අයත් අඩුවෙමින් පවතිනවා. ගුප්තවේදයේ වැඩ ක්‍රම කීපයකින් ප්‍රතිඵල දෙනවා. එය යහපත් විදියටත්,අයහපත් විදියටත් ප්‍රතිඵල දෙනවා. ගුප්ත විද්‍යාවේ ප්‍රතිඵල අර්ථ නිරූපනය කරන්න නොදන්නේ එහි ප්‍රතිඵලය ලැබෙන්නේ ගුප්තව නිසා. අපි හිතමු කාගේ හෝ අවනඩුවක් ගැන. නඩුව අහල වැරදි කාරයට දෘශ්‍යමානව දඬුවම ලැබෙනවා. ඒ දඬුවම සමහර විට කිසියම් පොතක පතක සඳහන් කරල තිබෙනවා. ඒක කළේ කවුද ? කොහොමද කියල විවෘතයි. නමුත් අවනඩුවකට ගුප්ත විද්‍යාව තුළින් නඩුවක් අහන්න වැරැද්ද නිවැරැද්ද අහන්න කෙනෙක් නැහැ. ඒ සඳහා හෝ ඊට වඩා ලොකු පාඩුවක් හෝ ශාරීරික වේදනාවක් දඬුවම ලෙසින් සිදුකරනවා. කවුද කළේ කොහොමද කළේ ඒ කිසිවක් දන්නෙ නැහැ. ගුප්තව සිදු වූ එක පමණක් දන්නවා. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ දියහැකියි. අපි හිතමු විශ්වාසය උඩ කාගේ හෝ නිවසක් තවත් කෙනෙකුට කලින් කතාකරගත් පරිදි මාසිකව හෝ වාර්ෂිකව කුලියට දෙනවා. ටික දිනකින් ඒ පොරොන්දු කඩකර නිවැසි හිමියාට පාඩු සිදුවන අන්දමින් නිවස පාවිච්චි කරනවා. දවසින් දවස නිවස අබලන් වනවා. අධිකරණයට යාමට සාක්ෂි නොමැති තරමට කරුණු කාරණා එළෙඹෙනවා. නිවෙස් හිමියා අසරණ වනවා. ඔහු හෝ ඇය ගුප්තවේදියා සොයා යනවා. ගුප්තවේදියා මෙම ඉඩමේ කිසියම් දෙයක් ගුරුකම් කර වළලනවා. එතැන් සිට දින කීපයක් තුළ මේ ඉඩමත් එහි වාසයකරන අයවලුන්ටත් වාසය කරන්න නොහැකි වනවා. ලෙඩ රෝග මරණ භය ඇතිවනවා. එවිට ඔහු මේ ඉඩම අකැමැත්තෙන් හෝ අතහැර යනවා. ඉන්පසු මෙම නිවස ගුප්ත ක්‍රමයෙන්ම පිරිසුදු කර ගන්නවා. මෙවැනි අදෘශ්‍යමාන දේවල් මේ විශ්වයේ එමටයි. 

අප ජීවත්වන ඝණකඩ පොළෝතලය අදෘශ්‍යමානව සිටිනා පොළෝ බහිරවයාට අයිතියක් ඇති බවත් එම පොළෝතලය මත කිසියම් හෝ ව්‍යාපාරයක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී කිසියම් කාල සීමාවක් තුළ එම පොළෝ බහිරවයාට බහිරව පූජාවක් කළ යුතු බවට විශ්වාසයක් පවතිනවා. එසේ නොවුණහොත් එම ස්ථානය පදිංචියට නුසුදුසු හා ආසාර්ථක ව්‍යාපාර බවට පත්වෙනවා. සමහර බහිරවයෝ නොවිකිණෙන ඉඩම්වල හතර දෙසින් ගත් පස් සාම්පලයක් මැතිරීමෙන් ඉඩම් විකිණීම කඩිනම් කරනවා. මේ සියලුම ක්‍රියා ගුරුකම් වශයෙන් හඳුන්වනවා. මෙම ගුප්ත ශාස්ත්‍රය ගැන මැනවින් දන්නා ගුප්තවේදියා යහපත් ගුරුකම් කිරීම සඳහා පිරිසුදු ස්ථානයක් පුර තිථියට කිරීමත් අයහපත් ගුරුකම් අපිරිසුදු ස්ථානයත් අව තිථියට කිරීමටත් වග බලා ගන්නවා. මේ සියලුම ක්‍රියාවන් ගුප්තව කිරීම නිසා. ගුරුකම කළ අයට විරුද්ධව පෙනීසිටීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ. කෙනෙකුගේ යහපතට කරන ගුරුකම් යහපත් ගුරුකම් හා අයහපතට කරන ගුරුකම් අයහපත්  ගුරුකම් වශයෙන් හැඳින්වේ. 

ගුප්ත ශාස්ත්‍රය ක්‍රියාවට පෙරළීමේදී එනම් ගුරුකම් කිරීමේදී, ඡ්‍යොතිෂයට පංචාංගය වගේම යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර, ජප මන්ත්‍ර, දිෂ්ඨි මන්ත්‍ර ගැන මනා දැනුමක් තිබිය යුතුමය. විශේෂයෙන්ම බලගතු ගුරුකම්වලදී නපුරු මන්ත්‍ර පාවිච්චි කිරීමට සිදුවනවා. එම දිෂ්ඨි මන්ත්‍ර මැතිරීමේදී සඳහන්ව ඇති වාර ගණන් වලදි හුවා දක්වන ඒ ඒ අවතාර දර්ශනයට ලක්වන බැවින් ඒ සඳහා නිසි අවබෝධයකින් කළ යුතු බව දන්වන්න කැමැතියි. සාමාන්‍යයෙන් කැමැති ආහාරයක් පෙන්වා පාරේ යන හෝ ස්ථානගතව සිටින සුනඛයෙකුට කතාකළ විට ඌ වලිගය වනා එම ආහාරය ගැනීමට එනවා වගේම කිසියම් හෝ දිෂ්ඨියකට අවශ්‍ය පුද පූජා, දොල පිදේනි තබා එම භාෂාවෙන් ඇමතු විට පෙර කී ක්‍රියාවම සිදුවේ. එම අවස්ථාවේදී නම් කැපකළ පේ‍්‍රත, භූත, යක්ෂ නොපැමිණියේද කාර්ය කිරීම සඳහා ආවේණික දිෂ්ඨිය පැමිණි බව සංඥාවෙන් දක්වයි. සමහර බල මන්ත්‍ර පාවිච්චි කරන අවස්ථාවලදී සියුම් මිණී කටුවලින් ඇඳුරා හට ගසා දමන අවස්ථාද ඇත. විශේෂයෙන් නවනීල මන්ත්‍රය හෝ රාම මන්ත්‍රය ජප කිරීමේදී බොහෝ අවස්ථා වල  මෙය සිදුවේ. දේව ආනුභාවය, බුදුබණවල ආනුභාවය හෝ වෙසමුණි නියෝගයකින්. මෙසේ සිදුවන බව පැරණ්නන්ගේ මතයයි. එය එසේම පවත්වා ගෙන යාම මිස එය සිදුවන ක්‍රමය ගැන වැඩිදුරට පරීක්ෂණ පවත්වන්නෙ නැත. සුව නොවන එක්තරා රෝගවලට යන්ත්‍රයක් නියමිත වාර ගණනක් මන්තරයකින් මතුරා ශරීර ස්පර්ශයෙදී එය සුව වන්නේ අක්ෂර විඤ්ඤාණය හා මන්ත්‍ර උච්චාරණය නිසාය. මෙම ගුප්ත ශාස්ත්‍රයේ සිදුවන්නේ යයි කියන බොහෝ දේ වර්තමාන මිනිසා  විශ්වාසය අඩුවෙමින් පවතී. කරණු එසේ වුවත් කකුල් තුනේ දිෂ්ඨි  කරගත් කනප්පුව ඇදුරගේ නියෝගයට ඇවිදින්නෙ කෙසේද? මේවා ගුප්තව සිදුවන කරුණු නොවේද? වර්තමාන මිනිසා කටවහරයට අවිශ්වාසය පලකළත් විශ්වාස කළ නොහැකිද? මේ වැනි උදාහරණ ගුප්ත ශාස්ත්‍රයේ බොහෝ දේ දක්නට ඇත. කිසියම් තුවාලයකට ‘විෂබැඳීම් ගැන කවුරුත් කතිකා කරන මාතෘකාවකි. මේවා එදා මෙන් අදත් නොනැසී පවතී. විශේෂයෙන් ගුප්ත ශාස්ත්‍රය ක්‍රමයෙන් අඩුවී යාමට බොහෝ කරුණු ඇත. ගුප්ත ශාස්ත්‍රය කරන අය අඩු වීම පහසුකම්, අත්‍යාවශ්‍ය දේවල් නැති වීම මූලිකම කරුණු වෙත්. 

කෙටියෙන් කිව්වොත් මානවයාගේ බිහිවීමේ ශීඝ්‍රතාවය අනුව ඩයිනෝසිරස්, ඇනකොන්ඩා , මිනීමරු සතුන් වැනි අති භයානක සතුන් ශීඝ්‍රයෙන් වඳ වුණා. වඳවෙමින් පවතිනවා. එමෙන්ම මෙම පේ‍්‍රත, භූත, යක්ෂ අඩු වුණා යයි විශ්වාස කළ හැකිය. වඳ වී ගිය එම සතුන්ට ස්ථිර වාසස්ථානය වූ කැලෑ එකල තිබූ නිසාත් මෙකල ඒවා සිඝ්‍රයෙන් එළිපෙහෙලි වූ නිසාත් එසේ සිදුවන්නට ඇත. එනමුත් පේ‍්‍රත ආත්මයන් සඳහා එවැනි ස්ථිර ස්ථාන නොමැති නිසා වඳ වීමක් සිදුවීම  ඉතාමත් අල්ප වශයෙන් සිදුවේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.