ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේ බලපායිද?

අප්‍රේල් 26, 2024

 

ග්‍රහ මඬුල්ලේ ප්‍රඥාකාරකයා, ධනකාරකයා, සෞභාග්‍යය උදාකරන්නා මෙන්ම ජීව කාරකයා ලෙස හඳුන්වන්නේ ගුරු ග්‍රහයාය. මනුෂ්‍යයාගේ දියුණුවට, උසස්වීමට අවශ්‍ය යහපත් සියලු දේට බලපවත්වන ග්‍රහයකු ලෙස ගුරු හැඳින්විය හැකිය. ගුරු ග්‍රහයා යනු නෛසර්ගිකවම සුබ ග්‍රහයෙක් ලෙස සැලකුව ද ඒ ඒ කේන්දරයට අනුව තත්කාලීන වශයෙන් සුබයෙකු මෙන්ම අසුබයෙකු ලෙස ද සැලකිය හැකිය. මේෂ රාශිය හිමි විශ්ව කේන්දරයට අනුව ගත් කල ගුරු ග්‍රහයා පුණ්‍ය ස්ථානයේත් මෝක්ෂ ස්ථානයේත් අධිපති වෙයි. ගුරු ග්‍රහයාගේ යම් වෙනසක්, මාරුවීමක් ග්‍රහ ගමනේ සිදුවුවහොත් ඉහත සඳහන් කළ පරිදි සමස්ත ජන ජීවිතය කෙරෙහි මෙන්ම ගහකොළ සතා සිවුපාවා කෙරෙහිද එය බලපානු ලබන බව ඡ්‍යොතිෂ මතය වෙයි. මෙලෙස බලවත් ගුරු ග්‍රහයා මේ මැයි මස පළමු වැනිදා දහවල් 01.06ට කුජ හිමි මේෂ රාශියේ සිට සිකුරු හිමි වෘෂභ රාශියට සංක්‍රමණයවීම සිද්ධ වෙයි. 2025 මැයි මස 17 වැනිදා රාත්‍රි 10.26 තෙක් ගුරු ග්‍රහයා එහි රැඳී සිටියි. මෙලෙස ග්‍රහ මඬුල්ලේ බලවත් ගුරු ග්‍රහයා වෘෂභ රාශිගත වීම ඒ ඒ ලග්නවලට සුවිශේෂී පල ප්‍රදානය කරන අතරම ඒ ඒ ලග්න හිමියන්ගේ 2, 5, 7, 9, 11 භාවයන්ට දැඩිසේ බලපාන බව පැවැසිය යුතුය. ලග්න කේන්දරය හා චන්ද්‍ර කේන්දරය අනුව ගුරු මාරුවේදී ඒ ඒ ලග්න හිමියන් පොදුවේ ලබන සුබ අසුබ පලාපල පහත පරිදි වෙයි.

උපදෙස් - ඡ්‍යොතිර්වේදී  සම්පත් බමුණුආරච්චි

මේෂ ලග්නය - සැපවත් වේ

මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ භාග්‍යස්ථානයේ සහ මෝක්ෂ ස්ථානයේ අධිපති වන්නේ ගුරු ග්‍රහයා වෙයි. මේ ගුරු ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වන්නේ මේෂ ලග්න හිමියන්ගේ දෙවැන්න වූ ධනස්ථානය හෙවත් කුටුම්භස්ථානයටය. ධනස්ථානයට මෙලෙස ගුරුගේ පැමිණීම මේෂ ලග්න හිමියන්ට සුබවාදී ප්‍රතිඵල ලබා දීමට සමත් වන කාලසීමාවක් බව සඳහන් කළ යුතු ය. මේ ගුරු මාරුවත් සමඟම මේෂ ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු මේෂ රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මෙම ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය -

මේෂ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය වඩාත් ප්‍රබෝධවත්ව ගත කරන්නට පසුබිම සකස් වේ. උපතින්ම ඔබ සතුව ඇති දියුණුවීමේ ආශාව, උසස්වීමේ ආශාව තවදුරටත් වර්ධනය වනු ඇත. ඒ සඳහා උනන්දුව උත්සාහය ඇති වෙයි. එහි ප්‍රතිපල ලෙස පවුලේ දියුණුවට අඩිතාලම වැටෙනු ඇත. ආගම දහමට ළැදිව කටයුතු කරන අතර පෙර සිදු කළාටත් වැඩිය පවුලේ වගකීම් කරට ගෙන ඉටු කරන්නට පෙලඹේ. පවුලක් වශයෙන් එක්ව කටයුතු කර තම අරමුණු ජය ගැනීමට හැකියාව ලැබෙයි. පවුල් ජීවිතයේ යම් පසුගාමීබවක් හෝ ගැටලු සහගත බවක් පෙර පැවැතියේ නම් ඒ සියල්ල සමනය වී සමඟිය, සමාදානය ඉස්මතු වනු ඇත. අවිවාහකයන්ට මංගල යෝග උදාවෙයි. යහපත් මිතුරු මිතුරියන් ඇසුරට අවස්ථාව හිමිවෙයි. ආගිය තැන සැප ලැබෙන කාලයකි. සකසුරුවම්ව කටයුතු කරයි. අඹුසැමි සම්බන්ධතා තරවෙයි. එකී බැඳීම් ශක්තිමත් වෙයි. විවාහ ජීවිතය සතුටුදායක වෙයි. දරුවකු බලාපොරොත්තු වන්නේ නම්, පින්වත් දරුවකු ලැබෙයි. ඔබේ දරුවන්ට ද යහපත් කාලසීමාවක් වෙයි. ආගන්තුක සත්කාරයට වැඩිවශයෙන් නැඹුරු වෙයි.

ආර්ථිකය හා රැකියාව

ආර්ථික තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයට පත්වෙයි. වස්තුව, දේපළ, ධනය, ඉඩකඩම්, සම්පත් ලබාදෙයි. ඒවායේ ආදායම් හිමිවෙයි. වෙළෙඳ ව්‍යාපාර දියුණුව ඇති වෙයි. මෙතෙක් පැවැති ආර්ථික බාධා ඉවත්ව යනු ඇත. අතමිට සරු වෙයි. ගුරු මාරුවත් සමඟ මේෂ ලග්න හිමියන්ගේ රැකියා කටයුතු සාර්ථකත්වයට පත්වීමට කරුණු සැලැසෙයි. රැකියාවේ උසස්වීම් හිමිවේ. ප්‍රධාන තනතුරු හිමිවේ. වැටුප් වර්ධක හිමිය. වගකීම් සහගතව කටයුතු කිරීමේ හැකියාව ලැබේ. රැකියා ස්ථානයේ ප්‍රසිද්ධියට කරුණු යෙදේ. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. රැකියා කටයුතුවලින් සංචාරය සඳහා අවස්ථාව උදාවිය හැකිය. විදේශගත රැකියා අවස්ථා හිමිවිය හැකිය.

අධ්‍යාපනය

තරග විභාග ආදියෙන් ජය අත්වෙයි. පොත්පත් ලිවීමට, සාහිත්‍ය කටයුතුවලට යහපත් කාලයකි. දැනුම, ඥානය දියුණු වන අතර උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන දදරුවන්ට යහපත් කාලයක් උදා වේ. ඉගෙනීම් කටයුතු දියුණුවට පත්වෙයි. ගුරුවරුන්ගේ සහයෝගය හිමිවේ. මේ කාලසීමාවේදී මේෂ ලග්න හිමි අධ්‍යාපනය ලබන දූ දරුවන්ට තම ඉගෙනීමේ සඳහා ඔබගේ පුණ්‍ය බලය ඉස්මතු වනු ඇත.

සෞඛ්‍යය

යහපත් ශරීර සෞඛ්‍යයක් ඔබ හට හිමිය. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මේ කාල සීමාවේ ඔබ සතුවෙයි. නීරෝගි බව, ශරීර ශක්තිය ඇති වෙයි. දීර්ඝායුෂ හිමිවෙයි. එහෙත්, බෝවන රෝගවලින් පරෙස්සම් විය යුතු ය.

වෘෂභ ලග්නය - ආදායම්වල දියුණුවක්

වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ මෘත්‍යු ස්ථානයේ සහ ලාභස්ථානයේ අධිපති වන්නේ ගුරු ග්‍රහයා වෙයි. ගුරු ග්‍රහයා වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නස්ථානයට පැමිණීම ගුරු මාරුව සමඟ සිදුවෙයි. දිග් බලයෙන් යුතුව ගමන් කරන ගුරුගේ මේ පැමිණීම වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍රපල උදාකරනු ඇත. එහෙත් එකී මිශ්‍රපල අතර සුවිශේෂී සුබපල ජුනි මස මැද භාගයේදී සඳු හිමි රෙහෙණ නැකත තුළ ගුරු ගෝචරය වන අවස්ථාවේ දී වෘෂභ ලග්න හිමියන්ට උදාවෙනවා ඇත. මේ ගුරු මාරුවත් සමඟම වෘෂභ ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු වෘෂභ රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

ස්ථීර අධිෂ්ඨානය ඇතිව කරන කටයුතු හොඳින් අවසන් කරන්නට සැලැසුම් කරන වෘෂභ ලග්න හිමියන්ට මේ ගුරු මාරුවත් සමඟ ගෘහ ජීවිතයේ බාධක අවහිරතා මතු වුවත් ඒ සියල්ල මැඬගෙන ඉදිරියට යන්නට වාසනාව උදාවෙයි. බාහිරින් සැප සම්පත් මෙන්ම ධනය හිමිවුවත් හිතේ සතුට සැනසීම අඩු කරන කරුණු කාරණා යෙදෙනු ඇත. ගෘහ ජීවිතයේ මානසික සතුට, අඩුවී කනස්සලු ගතියක් ඇතිවිය හැකිය. පින් දහම් කිරීමට පසුබිම සකස්වනු ඇත. එහෙත් ජුනි මාසයේ මැද භාගයෙන් පසුව ජීවිතයේ කරන කියන කටයුතු ධෛර්යය සම්පන්නව ඉටු කිරීමට හැකියාව ලැබෙයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව හිමිවනු ඇත. අන්‍යයන්ගෙන් ගරුසරු ලැබීමට මෙන්ම පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් අවවාද අනුශාසනා ලබා දීමටද ඔබට අවස්ථාව උදාවනු ඇත. පින් දහම් කිරීමට කැමැත්ත බලවත් වෙයි. විවාහ දිවිය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු ය. සැමියා බිරිය අතර සිත්තැවුල් ඇතිවීමට ඉඩ ඇත. ඉවසිලිවන්තව වචන හැසිරවිය යුතුය.

ආර්ථිකය හා රැකියාව

ඉවසීම සහ දැඩි උත්සාහය ඇත්තා සේම ස්වභාවයෙන්ම ඉතිරි කිරීමට කැමැති වෘෂභ ලග්න හිමියන්ට පෙර සඳහන් කළ පරිදි ගුරු ග්‍රහයා වෘෂභ රාශි ගතවීම නිසා යම් යම් සිත්තැවුලක් ඇති විය හැකි වුවද එම ග්‍රහයාම එකොළොස් වැන්නාධිපතියා ලෙස ලග්නගත වීම නිසා ආර්ථිකය යහපත් වනු ඇත. ලැබෙන ධනය නැති නාස්ති නොවේ. ආදායම් දියුණුව ඇතිවෙයි. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන ලැබීම්වලට හිමිකම් තිබේ. රැකියා කටයුතු ව්‍යාපාර කටයුතුවලට යහපත් කාලයකි. උසස් රැකියා හිමිවන අතර රැකියාවේ දියුණුව ඇතිවෙයි. ප්‍රධානීන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කළ හැකි පසුබිමක් රැකියාවේ ඇතිවේ. වැටුප් වැඩිවීම්, නව රැකියා ලාබ ඇත.

අධ්‍යාපනය

උපදේශන කටයුතුවලට යොමුවන කාලයකි. අන්‍යයන්ගේ යහපත පිණිස අවවාද අනුශාසනා උපදෙස් ලබා දීමට ඔබට අවස්ථාව හිමිවනු ඇත. අධ්‍යාපනය සඳහා අවශ්‍ය පසුබිම සැකසෙයි. නුවණ දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලැසෙයි. තරග විභාග ජයග්‍රහණ මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමිවන කාලයකි. උසස් ඉගෙනීමකට අවකාශ සැලැසෙන අතර හික්මීමෙන් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරතවීමෙන් යහපත් පල උදා කරගත හැකිවේ. පොත්පත් රචනයට, ඉගෙනුමට යහපත් කාලයකි.

සෞඛ්‍යය

ශරීරය දුර්වල කෙරෙන රෝග තත්ත්වයන් ඇති විය හැකිය. හිස ආශ්‍රිත රෝග මෙන්ම කොලෙස්ට්‍රෝල් තත්ත්ව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. රෝග තත්ත්වයන් නිසා වියදම් අංශය ද වැඩි විය හැකිය. තමාගේ සමස්ත ශරීර සෞඛ්‍ය ගැන වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි.

මිථුන ලග්නය- උසස් අධ්‍යාපනන වරම්

මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ හත්වැන්න එනම් කලත්‍රස්ථානය සහ දසවැන්න එනම් කර්මස්ථානය අධිපති වන්නේ ගුරු ග්‍රහයාය. ගුරු මාරුවත් සමඟ එකී ලග්න හිමියන්ගේ ලග්න කේන්දරයේ වැයස්ථානයට හෙවත් දොළොස්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවෙයි. එකී පැමිණීම මිථුන ලග්න හිමියන්ට මිශ්‍රපල උදාකරන්නට සමත්වන බව පැවැසිය යුතු ය. මේ ගුරු මාරුවත් සමඟම මිථුන ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු මිථුන රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

උපතින්ම මනා වටහා ගැනීමේ ශක්තියක් ඇති මිථුන ලග්න හිමියන්ට ගුරුගේ ග්‍රහ මාරුව අනුව ධෛර්යය සම්පන්නව තම අරමුණු කරා යාමට සිදුවනු ඇත. මෙකී කාලසීමාවේ මිථුන ලග්න හිමියන් තමා ගෘහ ජීවිතයේ දී කරන, කියන කටයුතුවලදී වඩාත් විමසිලිමත්ව කටයුතු කළ යුතු ය. ගුරු ග්‍රහයා වැයස්ථාන ගතවීම හේතුවෙන් බාධාකාරී ප්‍රශ්නකාරී තත්ත්වයන් මැඬගෙන ඉදිරියට යාමට සිදුවන බවක් පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම, විවාහය සහ ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ වැඩිය. සුළුදේ පවා ලොකුවට සිතීමට යාමෙන් ගෘහ ජීවිතයේ කනස්සලු ගති ඇතිවිය හැකිය. එනිසා පවුලේ අය අතර සහසම්බන්ධතාවය දුරස්ථ විය හැකිය. වියදම් වැඩිවීමට කරුණු යෙදෙයි. එනිසා යුගදිවියේ තීන්දු තීරණ ගැනීමේදී අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙයි. දේපළ, උරුම හිමිකම්වලට අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී ගැටලු පැන නැඟිය හැකිය. එනිසා පවුලේ අය සමඟ කරන කියන වැඩ කටයුතුවලදී කල්පනාකාරීව ක්‍රියාත්මකවීම වැදගත් වෙයි. නැතිනම් අලාභ පාඩු සිදුවිය හැකිය.

ආර්ථිකය හා රැකියාව

ආදායම් තත්ත්වයේ වෙනස්කම් ඇතිවිය හැකිය. ආදායම් සෙවීමේදී ඒ සඳහා මහන්සිවීමට ඔබට සිදුවෙනු ඇත. ධෛර්යය සම්පන්නව කටයුතු කිරීමෙන් ධනය හිමි වේ. එනිසා ආර්ථිකය යහපත් වෙයි. එලෙසම වියදම අධික විය හැකි ය. එනිසා මුදල් වියදම් කිරීමේ දී දුරදිග සිතා බැලීම නුවණට හුරුවෙයි. රැකියා කටයුතු හා ව්‍යාපාර කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු කාලයකි. රැකියා ව්‍යාපාර කටයුතුවලින් සිතුවාට වඩා ලාභ අඩුවිය හැකිය. පාඩු, සතුරු කරදර සිදුවිය හැකිය. රැකියාවේ ස්ථාන මාරුවීම් හා ප්‍රශ්නකාරී තත්ත්ව ඇතිවිය හැකිය. දුක් සහිත දුර බැහැර ගමන් ආදිය ඇතිවිය හැකිය. මිතුරන්ගෙන් ලැබෙන ආධාර උපකාර අඩුවී යා හැකිය.

අධ්‍යාපනය

මිථුන ලග්න හිමියන්ට ඉගෙනීම්, ශාස්ත්‍රීය කටයුතුවල දී සුබපල ලැබේ. තරග විභාග ජයග්‍රහණ මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමිවන කාලයකි. ක්‍රියාශීලීව, උද්යෝගිමත්ව ලිවීමේ, කියවීමේ කටයුතු සිදු කරන කාල පරාසයකි. එමෙන්ම ඔබගේ සාහිත්‍යමය කලා කටයුතු දියුණු වෙයි. ග්‍රන්ථකරණයට යහපත් කාලයකි. තාරකා ශාස්ත්‍රය, වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු අංශයේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට යහපත් ප්‍රතිඵල අත්වනු ඇත. අධ්‍යාපන ජයග්‍රහණයන්ගෙන් සමාජයේ පිළිගැනීමට ලක්වන අතර ප්‍රසිද්ධියට පත්වෙයි.

සෞඛ්‍යය

සිතේ රෝග පීඩාදිය ඇති විය හැකිය. පහසුවෙන් සෙම් රෝග ඇතිවිය හැකිය. අනවශ්‍ය දුක්දොම්නස්වලින් හිත පිරෙන කාලයක් වුවද සිත්තැවුල් නොගත යුතුය. රුධිරයේ මේදය ආශි‍්‍රත රෝග, යටිපතුල ආශි‍්‍රත රෝග ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතු ය.

කටක ලග්නය - පැතුම් ඉටු වෙයි

කටක ලග්න හිමියන්ගේ හයවැන්න එනම් ශත්‍රැස්ථානය සහ නවවැන්න එනම් පුන්‍යස්ථානය අධිපති වන්නේ ගුරු ග්‍රහයා වෙයි. ගුරු මාරුවත් සමඟ කටක ලග්න හිමියන්ගේ ලග්න කේන්දරයේ එකොළොස්වැන්න හෙවත් ලාභස්ථානයට ගුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවෙයි. එය සුබවාදී ග්‍රහ මාරුවක් ලෙස හැඳින්විය හැකිය. ධන කාරකයා වන ගුරු ලාභස්ථාන ගතවීම කටක ලග්න හිමියන්ට සුබ කාලසීමාවක් ගෙන දෙන බව කිව හැකිය. මේ ගුරු මාරුවත් සමඟම කටක ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු කටක රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

ඵලදායී සිතුම් පැතුම් සමඟ දිවි ගෙවන කටක ලග්න හිමියන්ට යහපත් කාලසීමක් උදාවන බව පැවැසිය හැකිය. ගෙදර දොර දියුණුව ඇතිවෙයි. උද්යෝගී මෙන්ම බලවත් හැඟීම්වලින් යුතුව වගකීම් සහගතව කටයුතු කරයි. බ්‍රහස්පති කේන්දරයේ අයස්ථානයට පැමිණ හත්වැන්න දැකීම කටක ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතයට සෘජුව බලපානු ලබයි. විවාහ ජීවිතය වාසනාවන්ත වන පැතුම් ඉටුවන කාල පරාසයක් බව පැවැසිය හැකිය. අඹුසැමියන් අතර ආකර්ෂණීය බව වැඩි වෙයි. නිවෙසේ සතුට සාමය රජයන කාලයකි. උසස් අය සමඟ කටයුතු කරන්නට අවස්ථාව සැලැසේ. මංගල කටයුතු උදාවෙයි. නිවෙසේ මෙන්ම සමාජයේ ද පිළිගැනීමට, ප්‍රධානත්වයට පත්වෙයි. නරකක් නොඅසන තරම්ය. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට ඥානවන්ත දරුවන් ලැබෙයි.

ආර්ථිකය හා රැකියාව

ආර්ථිකමය හා ධනය සෙවීමේ කටයුතු වඩාත් සක්‍රිය ලෙස යහපත්ව කරගෙන යාමට පසුබිම සකස් වෙයි. ස්ව උත්සාහයෙන් මුදල් රැස් කරන කාලයකි. ඒ සඳහා නොයෙක් මාර්ගවලින් මුදල් හිමිවන කාලයකි. තමන්ට ධනය ලැබෙන මාර්ග හා ආර්ථික කටයුතු වඩාත් ඉහළ මට්ටමකට පත්වෙයි. වෘත්තීමය රැකියා කටයුතුවලින් ආර්ථික වාසි හිමිවෙයි. කරන කියන ධනෝපායන මාර්ග ලැබීම් සහිත වෙයි. රැකියා කටයුතු දියුණුවට පත්වෙයි. නව රැකියා අවස්ථා හිමිවන කාලයකි. රැකියා කටයුතුවලදී සතුරු කරදර මර්දනය කර ගනිමින් එකී කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩ සැලැසෙයි. වැටුප් වැඩිවීම, තනතුරු උසස්වීම්, නව වගකීම් හිමිවීම් සිදුවිය හැකිය. ඒ සියල්ල කටක ලග්න හිමි ඔබගේ සුබසිද්ධිය උදෙසාම සිදුවන කාලවකවානුවක් බව පැවැසිය යුතු ය. ඉතිරි කිරීම්වලට යහපත් කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරතවන්නන්ට අධ්‍යාපන ජයග්‍රහණ ලද හැකි කාලසීමාවක් වෙයි. අධ්‍යාපන අංශයන්ගෙන් ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලද හැකිවෙයි. උසස් අධ්‍යාපනයට වරම් හිමිවන කාලයකි. අධ්‍යාපන ජයග්‍රහණ හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වීමට කරුණු යෙදෙයි. තම බලාපොරොත්තු ඉටු කරගැනීමට ඉගෙනුම ලබන දරු දැරියන්ට අවස්ථාව හිමිවෙයි. සෞන්දර්යය ඉගෙනීම්, කලා කටයුතුවල නිරතවන්නන්ට යහපත් කාලයක් වෙයි.

සෞඛ්‍යය

සැලකිය යුතු තරමේ සෞඛ්‍ය ගැටලු මතු නොවුණ ද සිතෙහි චංචල ගති ඇතිවිය හැකි ය. තරුණ වයසේ පසුවන අයට සිත් තැවුල් ඇතිවිය හැකිය. දණහිසට පහළින් කකුලේ ආබාධ ඇතිවිය හැකි බැවින් පරෙස්සම් විය යුතු ය. පපුව හා උදරය ආශි‍්‍රත රෝගවලින් පරෙස්සම් විය යුතුය. එලෙසම රහස් ස්ථානගත රෝගාබාධ මතුවිය හැකිය.

කන්‍යා ලග්නය - කුසලතා එළිදැක්වේ

කන්‍යා ලග්න හිමියන්ගේ හතරවැන්න හෙවත් සුඛස්ථානයට සහ හත්වැන්න හෙවත් කලත්‍රස්ථානයට අධිපති වන්නේ ගුරු ග්‍රහයා වෙයි. ගුරු ග්‍රහමාරුවත් සමඟ කන්‍යා ලග්න හිමියන්ගේ ධර්මස්ථානය, භාග්‍යස්ථානය හා පුණ්‍යස්ථානය ලෙස හඳුන්වන නමවැන්නට ගුරුගේ පැමිණීම සිදුවෙයි.මෙකී පැමිණීම කන්‍යා ලග්න හිමියන්ට සුබපල උදාකරලීමට හේතුවනවා ඇත. මේ ගුරු මාරුවත් සමඟම කන්‍යා ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු කන්‍යා රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

කන්‍යා ලග්න කේන්දරයේ නවවැන්න හෙවත් භාග්‍යස්ථානය ගුරුට සුබ ස්ථානයකි. ගෝචරයේ දී ගුරුගේ පැමිණීම වඩාත් සුබපල ගෙන දෙනු ඇත. කරදරයකින් බාධාවකින් තොරව තම දිවියේ කටයුතු දියුණුවට පත්කර ගැනීමට කන්‍යා ලග්න හිමියන්ට මෙමඟින් අවස්ථාව උදාවනු ඇත. ගේ දොර, ඉඩකඩම්, දේපළ, යානවාහන, මිල මුදල්, සම්පත් ලැබෙන කාලයකි. ඒවායෙන් ලැබෙන ප්‍රයෝජන ඉහළ යයි. මවගෙන් හා සහකරු සහකාරියගෙන් ලැබීම් ඇතිවෙයි. තමාගේ සහජ කුසලතා එළිදැක්විය හැකි කාලසීමාවකි. හවුලේ කරනු ලබන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. විවාහ දිවියේ යම් යම් බාධාකාරී දේවල් තිබුණේ වී නම් ඒවා ඉවත්ව ගොස් යහපත් ප්‍රතිඵල උදාවනු ඇත. මංගල කටයුතුවලට සුබය. අවිවාහකයින්ට මංගල කටයුතු උදාවෙනවා ඇත. පවුලේ සුබසිද්ධිය උදෙසා කැපවී කටයුතු කරන්නට අවස්ථාව සැලැසේ. ඉඩකඩම් ගැටලු තිබුණේ වී නම් ඒවා විසඳීමට කටයුතු සැලසෙයි.

ආර්ථිකය හා රැකියාව

වෘත්තීමය රැකී රක්ෂා කටයුතු දියුණුවට අවශ්‍ය අඩිතාලම යෙදෙයි. ව්‍යාපාර හවුල් ව්‍යාපාර කටයුතුවලට සුබදායකය. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබෙනු ඇත. වාසනාවන්ත කාලසීමාවකි. රැකියා කටයුතුවලදී තම දක්ෂතා ඉදිරියට පැමිණෙයි. උසස්වීම්, වැටුප් වර්ධක හිමිවිය හැකි කාල සීමාවකි. කන්‍යා ලග්න හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් වන කාලයකි. එකී කටයුතු වැඩිදියුණු වන අතර ලොතරැයි ජයග්‍රහණ, භූමියෙන් ලබන ආදායම් ඔබගේ ආර්ථික හා ධනය වැඩිදියුණු වේ. මෙතෙක් පරිහරණය නොකළ දේපළ ඉඩකඩම් තිබුණි නම් ඒවායින් ද ආදායම් ලැබෙනු ඇත.

අධ්‍යාපනය

ඉගෙන ගැනුමට සිතේ ප්‍රබෝධයක් ඇතිවන යහපත් සිතුවිලි ජනිත වන කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය මානසික පසුබිම සැකසෙයි. ඉගෙන ගන්නා වයසේ පසුවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජයග්‍රහණ, තරග විභාග දිනුම් ලැබෙනු ඇත. සහජ බුද්ධියෙන් යුතු යමක් ක්‍රමාණුකූලව ඉගෙන ගන්නා කාලසීමාවක් වනු ඇත.

සෞඛ්‍යය

සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙයි. එහෙත් උෂ්ණ රෝග පීඩා ගෙනදිය හැකිය. නිතර ජලය පානය කළ යුතු ය. උද්වේගකාරී බවින් , පසුතැවීම්වලින් මානසික පීඩාකාරී තත්ත්වයන් මතුවිය හැකි බැවින් පරෙස්සම් විය යුතුය. විවේකයද ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

සිංහ ලග්නය - උරුම හිමිකම් ලැබේ

සිංහ ලග්න හිමියන්ගේ පස්වැන්න එනම් බුද්ධි ස්ථානයට හා අටවැන්න එනම් මෘත්‍යුස්ථානය අධිපති ගුරු ග්‍රහයා දහවැන්නට හෙවත් රැකියා ස්ථානයට පැමිණීම සිදුවෙයි. සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ පස්වැන්නාධිපති හා අටවැන්නාධිපති ලෙස ගුරු ග්‍රහයා දහවැන්නට පැමිණීම සිංහ ලග්න හිමියන්ට මිශ්‍රපල උදා කරන්නට සමත්වනු ඇති බව පැවැසිය හැකිය. මේ ගුරු මාරුවත් සමඟම සිංහ ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු සිංහ රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

පාලනයට හා බලයට ආශාවැති සිංහ ලග්න හිමියන් මේ කාලසීමාවේ අවබෝධයෙන්, කල්පනාකාරීව, බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. ගෘහ ජීවිතයේ ආධිපත්‍යය ගෙන කටයුතු කරන්නට යෑමේ දී සිත් රිදීම් ඇතිවිය හැකිය. එනිසා අන්‍යයන්ටද ගරුසරුබව දක්වන්නට ඔබ කටයුතු කළ යුතුය. එලෙසම ගෘහ ජීවිතයේදී බලාපොරොත්තු නොවුණු ලෙස තමා කරන කියන කටයුතුවලින් සුබපල ලැබීමට ද සිංහ ලග්න හිමියන්ට හේතු වාසනාව ඇත. නිවෙසේ අලංකාරය , නව ගෘහභාණ්ඩ ආදිය සඳහා වියදම් දරනු ඇත. සමාජශීලීව කටයුතු කරන්නට සේම අසරණයන්ට පිහිට වීමට කටයුතු කරයි. උරුම හිමිකම් ලැබීමේ භාග්‍යය සිංහ ලග්න හිමියන් සතුය. රැවටීම් මුලාවීම්වලට ලක්විය හැකි බැවින් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතු ය. ගේ දොර ආශි‍්‍රත කටයුතුවලදී තීන්දු තීරණ ගැනීමේදී සැලකිලිමත් විය යුතුය.

ආර්ථිකය හා රැකියාව

ආර්ථිකය යහපත් වෙයි. ධනය සම්බන්ධ කටයුතුවලින් නොසිතූ ලාභ හිමිවෙයි. ධනෝපායන අවස්ථා හිමිවෙයි. ඉඩකඩම්, වතුපිටි ආදියෙන් ධනය හිමිවෙයි. ධනය ඉපැයීමට සුදුසු ආර්ථික පසුබිම් සැකසෙනු ඇත. අවශ්‍ය තරම් ධනය ලැබුණ ද ඉතිරි කිරීම කෙරෙහිද ඔබගේ අවධානය යොමු විය යුතුය. අනවශ්‍ය ලෙස වියදම් කිරීමේ පුරුද්ද අතහළ යුතුය. එලෙසම රැකියා කටයුතු සඳහා වෙනදාට වඩා වෙහෙසක් මහන්සියක් යෙදවිය යුතුවෙයි. මනා පාලනය හා විශ්වාසවන්තව කටයුතු කිරීමෙන් රැකියාව ආශි‍්‍රත සුබවාදී පසුබිමක් නිර්මාණය වෙයි. එලෙසම නව රැකියා අවස්ථා උදාවෙයි. රැකියාවේ උසස්වීම් වැටුප් වැඩිවීම් හිමිවෙයි. රැකියාවේ දියුණුවට සැලසුම් දියත් වනු ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනය ලබන දූ දරුවන් උනන්දුවෙන් යුතුව ඉගෙනීමේ කටයුතුවල යෙදිය යුතු කාලසීමාවක් වෙයි. තමාගේ මහන්සියේ තරමට අධ්‍යාපන ජයග්‍රහණ, ප්‍රතිඵල අත්වෙනු ඇත. දුරදක්නා නුවණින් තීන්දු තීරණ ගෙන අධ්‍යාපන කටයුතු සිදු කිරීම ඔබට යහපත් වෙයි. ඒ සඳහා වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා, මඟපෙන්වීම් සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතුය. කළබලකාරී ගතිය අඩුකරගත යුතුය.

සෞඛ්‍යය

සිත් නොහොඳ නෝක්කාඩු සිදුවිය හැකි බැවින් මානසික පීඩා අසහන ගති ඇතිවිය හැකිය. යටිබඩ ආශි‍්‍රත ආබාධ මෙන්ම මේදය ආශි‍්‍රත රෝග සඳහා ද ප්‍රතිකාර ගැනීමටද මේ කාලයේ සිදු විය හැකිය. හෘදරෝග, අධික රුධිර පීඩනය, ස්නායු ආබාධ, දැඩි වෙහෙස නිසා ඇතිවන රෝග මතුවිය හැකිය.

තුලා ලග්නය - ජීවිතයේ නව ජවයක්

තුලා ලග්න හිමියන්ගේ තුන්වැන්න එනම්, වික්‍රමස්ථානයට හා හයවැන්න හෙවත් ශත්‍රැස්ථානයට අධිපති වන්නේ ගුරු ග්‍රහයා වෙයි. තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ අටවැන්නට හෙවත් මෘත්‍යුස්ථානයට ගුරුගේ පැමිණීම සිදුවෙයි. කේන්දරයක තුන, හය, අට ගුරුට එතරම් සුබපල ගෙනදෙන ස්ථාන නොවන බව ඡ්‍යොතිෂයේ සඳහන්වෙයි. එහෙත් තුලා ලග්න හිමියන්ගේ අටවැන්නට ගුරු ග්‍රහයාගේ පැමිණීම තුළින් තුලා ලග්න හිමියන්ට සරලා නම් විපරීත රාජ යෝගය උදාවනවා ඇත. ඒ අනුව ගුරුගේ පැමිණීම තුලා ලග්න හිමියන්ට මිශ්‍රපල ගෙන දෙනවා ඇත. තුලා ලග්නයේ අධිපති සිකුරු හා ගුරු විරුද්ධ ග්‍රහයන් දෙදෙනෙකි. ගුරු 8 වැන්නට පැමිණීම තුළ විපරීත රාජ යෝගය යෙදෙන නිසා මිශ්‍රපල ගෙන දුන්නද ඒ තුළ සුබපල වැඩියෙන් ගෙන දෙනු ඇත. ගුරු මාරුවත් සමඟම තුලා ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු තුලා රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

ආගන්තුක සත්කාරයට මෙන්ම ආචාර සම්පන්න සමාජශීලී ගුණ ඇති තුලා ලග්න හිමියන් හැම විටම පතන්නේ ප්‍රීතිමත් සාමකාමී ගෘහ ජීවිතයකි. තුලා ලග්න හිමියන්ගේ මෙතෙක් කරගෙන ආ වැඩකටයුතුවල මන්දගාමී ස්වභාවයක් ඇතිව තිබුණේ නම් ගුරු මාරුවත් සමඟ ඒවා මැකී යනු ඇත. ගෘහ ජීවිතය තුළ නව ජවයකින් යුතුව කටයුතු කරන්නට හැකිවනු ඇත. කම්මැළි ගති ස්වභාවයන් දුරස් වී යනු ඇත. විවාහකයන්ට මෙන්ම විවාහාපේක්ෂකයන්ට ද යහපත් කාලයකි. විවාහය තුළින් ලැබෙන දායාද ලැබීම් වැඩිවෙයි. සමාජ ආශ්‍රය ඇතිව වගකීම් සහගතව කටයුතු කරන්නට අවකාශ සැලැසෙනවා ඇත. බලාපොරොත්තු නොවූ ලැබීම්, ලාභ ඇතිවෙයි. පවුලේ එකිනෙකා අතර විශ්වාසවන්ත බව වර්ධනය වෙයි. ඔවුන් අතර සිදුවන කරන කියන කටයුතු සාර්ථක කරගත හැකි වෙයි. යමෙකු සඟවා සිටි රහස් හෙළිදරව් කරගැනීමේ බලයක් ද තුලා ලග්න හිමියන්ට මේ කාල සීමාවේදි ඇතිවිය හැකිය.

ආර්ථිකය හා රැකියාව

තමාගේ ආර්ථික කටයුතු සහ ධනය ලැබීමේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා මේ කාලසීමාවේදී තුලා ලග්න හිමියන් සැලකිලිමත් විය යුතු ය. ව්‍යාපාර කටයුතුවලදී සැලකිල්ලෙන් ඒ සඳහා මුදල් යෙදවිය යුතුය. එලෙසම දැඩි මහන්සියකින් යුතුව ආර්ථික හා ධනෝපායන මාර්ගවල නිරතවන්නට සිදුවන කාලසීමාවකි. සුබ ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඒ සඳහා දැඩි කැපවීමක් සිදු කළ යුතු කාලයකි. එලෙසම උපයන ධනය අනවශ්‍ය ලෙස වියදම් කරන්නට නොයා යුතු කාලයකි. ගුප්ත විද්‍යා ආශ්‍රිත රැකියා කටයුතුවල යෙදෙන්නට සහ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධව රැකියාවල නියැළෙන්නන්ට මෙන්ම රහස් පරීක්ෂක රැකියා කටයුතවල යෙදෙන්නන්ට පහසුවෙන් තම රැකියා කටයුතු ඉටුකර ගත හැකිවෙයි.

අධ්‍යාපනය

කැපවීම මත අධ්‍යාපන ජයග්‍රහණ ලද හැකි කාලයකි. අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට ඒ සඳහා දැඩි කැපවීමක් සහ අවධානයකින් යෙදෙන්නට සිදුවනු ඇත. දැඩි පරිශ්‍රමයකින් පසුව ඒ සඳහා සුබ ප්‍රතිඵල ඔබට අත්විඳින්නට සිදු වෙයි. කලා ශිල්ප හදාරන්නන් පැසසුමට ලක්වේ.

සෞඛ්‍යය

යටිබඩ, ලිංගාශි‍්‍රත ප්‍රදේශය ආශි‍්‍රත රෝගාබාධ මතුවිය හැකිය. තුනටිය, ගර්භාෂය, ආශ්‍රිතව ගෙඩි ආදිය ඇතිවිය හැකිය. තෙල් ආශි‍්‍රත රෝග මතුවිය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. බොවන රෝග කෙරෙහි සැලකිලිමත් විය යුතුය. කලක් තිස්සේ පැවැති රෝග තත්ත්ව සුව අතට හැරෙනු ඇත.

වෘශ්චික ලග්නය - ආදායම් බහුල වෙයි

වෘශ්චික ලග්න හිමියන්ගේ දෙවැන්න හෙවත් ධනස්ථානය සහ පස්වැන්න හෙවත් පූර්ව පුන්‍යස්ථානයට අධිපති වන්නේ ගුරු ග්‍රහයායි. ගුරු ග්‍රහ මාරුවත් සමඟ වෘශ්චික ලග්න හිමයන්ගේ හත් වැන්නට හෙවත් කලත්‍රස්ථානයට ගුරුගේ පැමිණීම සිදු වෙයි. ගුරු හත්වැන්නට ඉතා සුබදායක වෙයි. ධනස්ථානයට හා පූර්ව පුණ්‍යස්ථානාධිපති ලෙස ගුරු හත්වැන්නට පැමිණ වෘශ්චික ලග්න හිමියන්ට යහපත් සුබපල ප්‍රදානය කරනවා ඇත යන්න පැවැසිය හැකිය. මේ ගුරු මාරුවත් සමඟම වෘශ්චික ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු වෘශ්චික රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

නිර්භීත ස්ථීර අදහස් ඇති වෘශ්චික ලග්න හිමියන්ට ගෘහ ජීවිතයේ සතුට, සාමය, සැප පහසුව නොඅඩුව හිමි වනු ඇත. කලත්‍රයා සමඟ ඉතා හොඳ සහසම්බන්ධතාවයක් ඇතිවන කාලවකවානුවකි. පවුලක් ලෙස සමඟිය, සමාදානය භුක්ති විඳීමේ වාසනාව හිමි වේ. ඉඩකඩම්, නිවාස, යානවාහන ලැබීමට භාග්‍යය උදාවේ. සතුරු කරදර පීඩා ඇති නොවේ. තමාගේත් තම පවුලේ අයගේත් සහජ කුසලතා දක්ෂතා දියුණු කර ගැනීමට හැකියාව ලැබෙයි. පවුලේ ගෞරවය නම්බුව ආරක්ෂා කර ගනියි.වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරවල චන්ද්‍රයා සහ කුජ බලවත් වී නම් මේ කරුණු සියල්ලක්ම මෙපරිදිම ඉටුවීමට අවකාශ ඇත. විවාහ දිවියේ දී සැමියාත් බිරිඳත් එකිනෙකා කෙරෙහි අවබෝධයෙන් කටයුතු කළහොත් මෙකී සුබපල තව තවත් වැඩිවී අත්විඳින්නට අවකාශ යෙදෙනවා ඇත. එලෙසම විවාහ දිවියේ වාසනාව උදාවනු ඇත.

ආර්ථිකය හා රැකියාව

ආදායම් හිමිකම් බහුල කෙරෙන කාලයකි. තමා සතු ඉඩකඩම්, වාහන, නිවාසවලින් ආදායම් උපදවා ගනු ලැබීමට කටයුතු සිදුවන කාලයකි. හවුල් ව්‍යාපාරවලට සුබදායකය. රැකී රක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙයි. නව ව්‍යාපාර ඇරඹීමට සුදුසු කාලයකි. ගුරු, වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නය දකින බැවින් ඉතිරි කිරීම්වලට යහපත් කාලයකි. අමතර ආදායම්වලට ද යහපත් කාලසීමාවක් බව පැවැසිය හැකිය.

අධ්‍යාපනය

පෙර පින් පල දෙන කාලයක් බැවින් අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට අවශ්‍ය පසුබිම නිබඳවම සැකසී ඇත. තරග විභාග ජයග්‍රහණ මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමිවන කාලයකි. පොදුවේ ගත් කළ වෘශ්චික ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබදායක වෙයි.

සෞඛ්‍යය

වෘශ්චික ලග්න හිමියන්ට යහපත් සෞඛ්‍යයක් ඇති වන කාලයකි. මෙතෙක් පැවැති රෝගාබාධ අඩුවන කාලයකි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට හැකි කාලයකි. මුත්‍රාශය, වකුගඩු, ලිංගේන්ද්‍රය ආදී මෙන්ම ගර්භාෂගත රෝග ඇති අයගේ රෝග සුව අතට හැරෙනු ඇත.

 

ධනු ලග්නය- උසස් අධ්‍යාපන වරම්

 

ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරුය. එලෙසම සුඛස්ථානය හෙවත් හතරවැන්නාධිපතියා ද වන්නේ ගුරුය. ගුරුගේ ග්‍රහ මාරුවත් සමඟ ධනු ලග්න හිමියන්ගේ 6 වැන්න හෙවත් රෝග සතුරු ස්ථානයට ගුරුගේ පැමිණීම සිදු වෙයි. මෙලෙස සිදු වන ගුරු මාරුවත් සමඟ ධනු ලග්න හිමියන්ට මෙකී ගුරු ග්‍රහයාගේ සංක්‍රමණයෙන් මිශ්‍රපල ලබාදෙනු ඇතැයි යන්න පැවැසිය හැකිය. මේ ගුරු මාරුවත් සමඟම ධනු ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු ධනු රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

නිර්භීත, දුරදක්නා නුවණින් හා උපකාරශීලී ගුණයෙන් යුතු ධනු ලග්න හිමියන් සතු ධාර්මික බව, කැපවීම මනාව ප්‍රයෝජනයට ගත හැකි කාලයක් ගුරු ග්‍රහ මාරුවත් සමඟ උදා වන බව පෙනී යයි. අත්ම විශ්වාසය, ධෛර්යය සම්පන්න බව, මිනිස්කම ඇති ධනු ලග්න හිමියන්ගේ සිත් කැලැඹෙන කරුණු කාරණා යෙදුණත් ඒවා මැඬගෙන තම ජීවිතයේ දියුණුව කරා යෑමට හැකියාව ලැබෙනු ඇත. ඉක්මනින් කෝපවන ඒ ක්ෂණයෙකින් සන්සුන්වන සිතක් ඇති වන කාලයකි. එනිසා ස්වභාවයෙන්ම තම අරමුණු කරා ළඟාවීමට වාසනාව හා හැකියාව ඇති ඔබ තම අරමුණු, අපේක්ෂා කරා යන විට ඇතිවන යම් යම් අවහිර බාධක තීක්ෂණ නුවණ හා ධාර්මික බව නිසාම ජය ගනු ඇත. ගෘහ ජීවිතයේ හා විවාහ දිවියේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දිය යුතුව ඇත. යුගදිවියේ තීන්දු තීරණ ගැනීමේ දී කල්පනාකාරීව දූරදර්ශීව දෙවරක් සිතා බලා කටයුතු කිරීම යහපත් වෙයි. දියුණුව ලබා ගැනීමට තම හැකියාවන් මනාසේ ප්‍රයෝජනයට ගැනීමට ධනු ලග්න හිමියන්ට මේ කාලයේ දී හැකිවනු ඇත.

ආර්ථිකය හා රැකියාව

නිදහස්ව තම අභිමතය අනුව රැකියා සහ ආර්ථික කටයුතුවල නිරතවන කාලයකි. ඒ අනුව පහසුකම් සහිතව ධනය උපයා ගැනීමට අවකාශ සැලැසෙයි. ව්‍යාපාර කටයුතුවල දී පරෙස්සම් සහිතව මුදල් ආයෝජනය කළ යුතුය. මෙකී කාලයේ ඔබගේ රැකියා කටයුතුවලට යම් යම් අවහිර බාධා එල්ල විය හැකිය. ගුරු මාරුවත් සමඟ සිදුවන මෙකී ආර්ථික, රැකියා ගැටලු තම හැකියාව තුළින්ම මැඬ පවත්වා ගැනීමේ දක්ෂතාවය ඔබ සතුය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට සුබදායක කාලසීමාවකි. තම ඉගෙනීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවකාශ සැලැසේ. තරග විභාග ජයග්‍රහණ මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමිවන කාලයකි. විශේෂයෙන්ම විද්‍යා අංශයන්හි අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට කැපී පෙනෙන දියුණුවක් ජයග්‍රහණ අත්වෙයි.

සෞඛ්‍යය

උදරගත ආබාධ ඇතිවිය හැකිය. වාතවේදනා ඇතිවිය හැකිය. සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය.

 

 

මකර ලග්නය - සැලසුම් සාර්ථක වේ

මකර ලග්න හිමියන්ගේ කේන්දරයට අනුව ගුරු යනු දොළොස්වැන්න හා තුන්වැන්න අධිපති ග්‍රහයා වෙයි. ගුරු ග්‍රහ මාරුවත් සමඟ මකර ලග්න හිමියන්ගේ පස්වැන්නට ගුරුගේ පැමිණීම සිදු වෙයි. පෙර පින හා කුසලතාවය පෙන්වන පස්වැන්නට ගුරු පැමිණීම මකර ලග්න හිමියන්ට මිශ්‍රපල ඇති කළ ද ඒ තුළ වඩාත් සුබපල වැඩි වශයෙන් ඇති කරන්නට සමත්ව වන බව පැවැසිය හැකිය. මේ ගුරු මාරුවත් සමඟම මකර ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු මකර රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

ඉක්මනින් ක්‍රියාකාරී වන මකර ලග්න හිමියන්ගේ දිවියේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු ඉටුවන සැලසුම් සාර්ථක වන කාලයක් ලෙස ගුරු ග්‍රහ මාරුව පෙන්වා දිය හැකිය. පවුලේ සුබසිද්ධිය ඇතිවීමට අඩිතාලම වැටෙනු ඇත. ධනෝපායන මාර්ග දියුණුවට කරුණු යෙදෙයි. දුක්කම්කටොලු ප්‍රශ්න මැඩපවත්වා ගනිමින් ඉදිරියට යාමට අවස්ථාව උදාවෙයි. ඔබගේ හැකියාවන් ඇගැයීමට ලක්වෙයි. ගෘහ කටයුතු පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන සමයක් වෙයි. තමාගේ උනන්දුව මතම දියුණුව රඳා පවතින සමයක් බැවින් මකර ලග්න හිමියන්ට ජන්මයෙන් හිමි වී ඇති සකසුරුවම්කම හා දැඩි කැපවීම ප්‍රදර්ශනය කරමින් දියුණුවට යා හැකි කාලයක් බව නොකියා බැරිය.

ආර්ථිකය හා රැකියාව

රැකියාවේ හා ආර්ථික කටයුතුවලදී යම් යම් පීඩා ගැටලු ඇතිවිය හැකිය. ඒ තමන් හා තරග කරන පාර්ශ්වවලින් මෙන්ම රජයේ පාර්ශ්වවලිනි. ඉතා කල්පනාකාරීව රැකියාවේ සහ වෙළෙඳ ව්‍යාපාරවල කටයුතු කළ යුතු ය. හවුල් ව්‍යාපාර කටයුතු සඳහා තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලා තීරණ ගත යුතුය.

අධ්‍යාපනය

පාසල් සිසු දරු දැරියන් වෙනදාට වඩා වැඩි කැපවීමකින් යුතුව අධ්‍යාපන කටයුතු සිදුකළ යුතු ය. එමඟින් ප්‍රතිඵල වඩාත් සුබකරගත හැකිවනු ඇත. තරග විභාග ජයග්‍රහණ මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමිවන කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා ගමන් බිමන් නිතර ඇතිවීමට ඉඩකඩ ඇත. අධ්‍යාපනයේ යම් යම් බාධාවීම් සිදු වුවද සහජ දක්ෂතා ඇති වෘත්තීන්වල යෙදී සිටින්නන්ට ඒ ඔස්සේ අධ්‍යාපනයට රුකුලක් ලැබෙනු ඇත.

සෞඛ්‍යය

උදරාබාධ, බඩවැල් ආශි‍්‍රතව මෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ ඇතිවිය හැකිය. එ බැවින් සෞඛ්‍යය පිළිබඳ කල්පනාකාරී වන්න.

 

කුම්භ ලග්නය - මවු උරුම ලැබේ

 

කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයේ දෙවැන්නාධිපති එනම් ධන කාරක හා එකොළොස්වැන්නාධිපති වන ලාභස්ථානාධිපතියා ලෙස ගුරු ග්‍රහයා කේන්ද්‍රගතව සිටියි. මෙවර එකී ලග්න හිමියන්ගේ කේන්දරයේ හතරවැනි භාවයට හෙවත් සුඛස්ථානයට ගුරු ග්‍රහයාගේ පැමිණීම සිදු වෙයි. මේ හේතුව නිසා ගුරුගේ පැමිණීමෙන් කුම්භ ලග්න හිමියන්ට මිශ්‍රඵල උදාකළ ද ඒ තුළ සුබපල බහුල බව පෙන්වා දිය හැකිය. මේ ගුරු මාරුවත් සමඟම කුම්භ ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු කුම්භ රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්ට ගෝචරයේ දී 4 වැන්නට ගුරු මධ්‍යම පල උදා කරන ලෙස පෙනුණ ද ලාභස්ථානාධිපතියා සහ ධනස්ථානාධිපතියා වශයෙන් පැමිණෙන බැවින් දේපළ වස්තුව, ලෞකික ජීවිතයේ දියුණුව උදාවන බව පැවැසිය හැකිය. තමාගේ අරමුණු, දියුණුව, සුබසිද්ධිය උදාකර ගැනීමට කුම්භ ලග්න හිමියාට වාසනාව පෑදෙනු ඇත. මවු පාර්ශ්වයේ උරුම හිමිකම් ද, වැඩිමහල් සහෝදරයන්ගෙන් ලැබීම් ද පවුලේ සුබසිද්ධිය ද දැකිය හැකි වෙයි. කුම්භ ලග්න හිමියා ජන්මයෙන් ම ලද ලැබීමේ වාසනාව නැවත මේ කාලය තුළ සකි‍්‍රය වනු ඇත. විවාහ දිවිය ගෘහ ජීවිතයේ අරමුණු අපේක්ෂා ඉටුවනු ඇත.

ආර්ථිකය හා රැකියාව

රැකියාව සහ ආර්ථිකමය කටයුතුවලට යහපත් කාලසීමාවකි. ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමෙන් ලාභ අත්විඳිය හැකිය. ධනය ලැබීම් මෙන්ම උරුම හිමිකම් ඇතිවෙයි. වියදම ද ඉහළ යා හැකි බැවින් සකසුරුවම්කමින් කටයුතු කිරීම වැදගත් වෙයි.

අධ්‍යාපනය

ඉගෙනුම ලබන දරුවන්ට පහසුවෙන් දැනුම උකහාගත හැකි කාලයකි. එහි ප්‍රතිඵල ද සුබවාදීව ඔබට අත්විඳින්නට හැකිවනු ඇත. තරග විභාග ජයග්‍රහණ මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමිවන කාලයකි. උපතින් ලද හැකියාව ප්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපනික ජයග්‍රහණ ඔබට ලබාගත හැකි කාලසීමාවකි.

සෞඛ්‍යය

සමස්තයක් ලෙස ශරීරය පිළිබඳ ඔබ උනන්දු විය යුතු ය. මනස නිරවුල්ව තබා ගැනීමට ක්‍රියා කරන්න. බරපතළ සෞඛ්‍යය ගැටලු පැන නොනැගේ.

 

 

මීන ලග්නය - එඩිතර ගති වර්ධනය වේ

 

ලග්නාධිපති හා කර්මස්ථාන අධිපති ලෙස ගුරු ග්‍රහයා මීන ලග්න හිමියන්ට මිශ්‍රපල උදාකරමින් තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයට පැමිණෙයි. මේ ග්‍රහ මාරුව අනුව මීන ලග්න හිමියන්ගේ උත්සාහය, උනන්දුව මතම සුබ ප්‍රතිපල වැඩි දියුණු කර ගත හැකි කාලසීමාවක් බව පැවැසිය හැකිය. මේ ගුරු මාරුවත් සමඟම මීන ලග්න හිමියන්ට මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සඳු මීන රාශියේ සිටින ඕනෑම ලග්න හිමියකුට වුව ද මේ ප්‍රතිපලම බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය හා විවාහය

ගෘහ ජීවිතයේ වැඩකටයුතුවලදී ඉතා විමසිලිමත්ව කටයුතු කිරීමෙන් තම අරමුණු ඉටුකර ගැනුමට මීන ලග්න හිමියන්ට හැකියාව ලැබෙනු ඇත. තමා සතු එඩිතර ගතිය වර්ධනය වන කාලයකි. මහා ශක්තියක් ලැබෙන අතර අතපය වෙහෙසා වැඩකටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙයි. අතපසු වූ වැඩ කටයුතු නැවත සක්‍රීය කර ගැනීමටත් දුර්වල තැන් හඳුනාගෙන වැඩකටයුතු කිරීමේ බලයත් ඔබට හිමි වෙයි. තම සහජ හැකියාවෙන් කරනු ලබන කටයුතු සාර්ථක වෙයි. පවුලේ කටයුතුවලදී අදහස් හුවමාරු කර ගැනීමේ දී විමසිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ ලග්නාධිපති වූ ගුරු ගෝචරයෙන් තුන්වැන්නේ සිට හත් වැනි භාවය දකියි. එබැවින් ගෘහජීවිතයේ කටයුතු සාර්ථක වෙයි. විවාහක යුවතිපතීන්ට සුබවාදී වෙයි.

 

ආර්ථිකය හා රැකියාව

ගුරු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් හත්වැන්න සහ එකොළොස්වැන්න දකින බැවින් ආර්ථිකය හා ලැබීම් කටයුතු දියුණු වෙයි. රැකියා කටයුතු සාර්ථක වෙයි. ලෞකික අරමුණු හඹා යෑමේ ආශාව ඇතිවෙයි. සහෝදරයින්ගෙන් ලාභ ලැබිය හැකිය. නමුත් මධ්‍යම පල උදාවෙයි. මීන ලග්න හිමියන් මේ ගුරු මාරුවත් සමඟ තම අපේක්ෂිත පල වැඩි කර ගැනීමට නම් ඉවසිලිවත්ව, විමසිලිමත්ව කටයුතු කළ යුතුය. දැඩි උනන්දුව මතම රැකියාවේ ආර්ථිකයේ ජයග්‍රහණ ලද හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපනයෙන් ඉදිරියට යා හැකි අධ්‍යාපනයට යහපත් කාලයකි. තමන්ගේම උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු දියුණු කර ගතයුතු කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා සහෝදර සහෝදරියන්ගේ උදව් ලැබීම නිසා අධ්‍යාපන කටයුතු ඵලදායීව කර ගැනීමට අවකාශ සැලසේ. උප්පත්ති කේන්දරයේ සිකුරු කුජ ප්‍රබලව යෙදී ඇත්නම් කලා කටයුතු කව්‍යකරණය ආශ්‍රිත දේවල් දියුණු කර ගැනීමේ භාග්‍යය උදාවන කාලයකි.

සෞඛ්‍යය

බෙල්ල, උරහිස ආශි‍්‍රතව මෙන්ම සෙම් රෝග මතුවිය හැකිය. අතපය වේදනා මෙන්ම ඉදිමුම් ආදිය ඇතිවිය හැකිය. ගුරු මාරුව නිසා විශාල සෞඛ්‍ය ගැටලු මීන ලග්න හිමියන්ට ඇති නොවෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.