දේශපාලනය උරුමයෙන් ගෙනෙන කුම්භ ලග්න හිමියෝ

අප්‍රේල් 19, 2024

රාශි චක්‍රයේ එකොළොස් වැන්න කුම්භ රාශියයි. තාරකා 108කින් සමන්විත වායු රාශියක් වන කුම්භ රාශියට හිමි ප්‍රදේශය රාශි චක්‍රයේ අංශක 300 - 330 දක්වා පැතිර ඇති දෙනට නැකතෙ 3 හා 4 පාදත් සියාවස නැකත සම්පූර්ණයෙන්මත් පුවපුටුප නැකතේ එක් පාදයකුත් අයත්ව සැකසී ඇත. හිස් කළගෙඩියක ස්වරූපය දක්වන කුම්භ රාශිය වායු ගණයට අයත් රාශියකි. මේ රාශිය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහ තරුව වන සෙනසුරු ග්‍රහයාට හිමි වෙයි.

 

සාමාන්‍ය රූප ස්වභාවය

මධ්‍යම ප්‍රමාණයෙන් යුතු ශරීරයක් හා ප්‍රියජනක මුහුණක් හිමිය. වර්ණවත් හිසකෙස්වලින් යුක්ත ඔවුන් කාරුණික පෙනුමකින් යුතුවේ. කුම්භය වායු රාශියක් නිසා ඉන් උපත ලබන අය බොහෝ විට දුරදක්නා නුවණින් යුත් අයයි. අන් අයව තේරුම් ගැනීමට ඔවුන්ට සහජයෙන්ම හැකියාවක් උරුම වී ඇත. කිසියම් ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවක හෝ යමක් ආරම්භ කිරීමට පෙර හොඳින් දෙපැත්තම සොයා බලා කටයුතු කිරීම ඔවුන්ගේ ලක්ෂණයකි. හැම විටම තමන් ගැන සිතනවාට වඩා අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිතයි. අවංකකම බොහෝ සෙයින්ම සිතෙහි ඇති නිසාම සමහර අවස්ථාවන්වලදී ඔවුන්ගේ ලෞකික දියුණුවද අඩුවේ. සමාදානයට පි‍්‍රය ඇත්තෝ වන අතර උපායශීලී වෙති. සමාජ සේවයට අසරණයින්ට සරණවීමට පිහිට වන්නේ තනතුර හෝ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොවේ. තීක්ෂණ බුද්ධියෙන් යුත් කුම්භ ලග්න හිමියෝ කරන දෙය නිවැරැදිව කිරීමට දක්ෂයෝ වෙති. ස්වභාවික තත්ත්වයට ගරු කරන ඔවුන් ගැඹුරු දේවල් ඉගෙනීමට ආශා ඇත්තෝ ය. කරන දේ සොයා බලා කටයුතු කරයි නැතිනම් වෙනත් අයෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන ඒ අයුරුම කරයි. ප්‍රවේශම, ඉවසීම ඔවුන්ගේ ගුණ ධර්මයෝ වෙති. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. බොහෝවිට කුම්භ ලග්නයෙන් උපන් අය ජය ලබන්නේ අන්තිමේදී ය. ආගන්තුක සත්කාරවලට ඔවුන් ඉතා කැමැතිය. යහපත් මිතුරන් ඇසුරු කරන අතර නියම මිතුරන් හඳුනා ගැනීමටද දක්ෂයෝය. යම් දෙයක මතුපිටින් පෙනෙන දෙයට වඩා නොපෙනෙන සැඟවී ඇති දේ සෙවීමට වඩාත් උනන්දු වේ. ඔවුන් තුළ තමන්ගේ අයට දැඩි බැඳීමක් ඇත. කුම්භ ලග්නකහිමියන් මෙලොව දියුණුව කෙරෙහි දක්වන උනන්දුව අඩුය. ආත්ම ලාභයට මෙන්ම නායකත්වයට ආශා නොකරන අතර ඒ නිසා අන් අයගේ ප්‍රසාදයද හිමිකර ගනී. කුම්භ ලග්නයෙන් උපන් අයට ගුරු, සඳු, කුජ අශුභ පලදෙන ග්‍රහයෝ වෙති. සිකුරු පමණක් ශුභ වේ. එහෙත් කුජ, ශුක්‍ර දෙදෙනාගේ යෝගය ශුභපල දෙයි.

කුම්භ ලග්න හිමියන් හැමවිටම අන් අය ගැන සිතා කටයුතු කරන බැවින් සමාජශීලි හා සමාජය ඇසුරු කරගෙන කරන කටයුතු රැකියාව වශයෙන් තෝරා ගනී. රාජ්‍ය සේවය සාහිත්‍ය කලාව, සමාජ සුබසාධනය වැනි දේවලට දක්ෂයෝ ය. හැමවිටම ගෙදර දොර අලංකාර ලෙස තබා ගැනීමට වැර දරන ඔවුන් ගැටුම්වලින් තොර සාමකාමී ජීවන රටාවකට ආශා කරයි.

 

විවාහය

කුම්භ ලග්න හිමිකරුවන්ගේ විවාහය බොහෝවිට ප්‍රේම සබඳතාවයකින් විය හැකි අතර යෝජිත විවාහයකට ඔවුන් කැමති නොවේ. ඔවුන් ආදරය, කරුණාව, දයාව හොඳින් හඳුනන නිසා විවාහ ජීවිතය පී‍්‍රතිමත් කර ගැනීම අමාරු නැත. තම භාර්යාවට ඉතාමත් භක්තියෙන්, ගෞරවයෙන් සැලකීම විශේෂ ලක්ෂණයකි. ඉක්මනින් කෝපවුවද එය වැඩි වේලාවක් නොපවතී. තම සහකාරියගෙන් පළිගැනීමේ චේතනාවක් ඔවුන් තුළ නැත. විවාහ ජීවිතයේ කොතරම් බාධක කම්කටොලු පැමිණියත් ඒ හැම දෙයකටම නොබියව මුහුණ දෙති.

 

ජීවිතයේ සැඳෑසමය

කුම්භ ලග්නකරුවන් සමාජ සේවයට දක්වන්නේ ඉමහත් ආශාවකි. දේශපාලන කටයුතු කෙරෙහි ද ඔවුහු විශේෂ උනන්දුවක් දක්වති. මේ නිසාම ජීවිතයේ අවසාන භාගයේ සමහරු දේශපාලනයට පිවිසෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තු මැති ඇමැති තනතුරු ලබා ගැනීමේ වාසනාව පවා ඔවුන්ට හිමිවෙයි. සමහරු ජීවිතයේ අවසාන භාගයේ ආගමික කටයුතුවලට සම්බන්ධ වී භාවනානුයෝගී කටයුතුවල නිරත වෙති.

කුම්භ ලග්නහිමියන් බොහෝ දෙනෙකුට වයස අවු. 53න් පසු වාත අමාරු හටගැනිය හැකිය. බොහෝ දෙනෙකුගේ හන්දි ඉදිමීම හේතුවෙන් ගමන් බිමන් යාම අපහසු වෙයි. හදවත් රෝගද ඉතා තදින් බලපායි. අවු. 51ත් 65ත් අතර කාලයේදී බොහෝ දෙනෙක් හදවත් රෝගවලින් පෙළෙති. හදවත් රෝග බොහෝ දෙනෙකුට මරු කැඳවිය හැකිය.

කුම්භ ලග්න හිමියන්ට බාධක ග්‍රහයින් වන්නේ කුජ, සඳු, බුධ හා ගුරුය. මේ ග්‍රහයන්ගේ මහ දශා අතුරු දශා කාලවලදී මාරක විපත් සිදුවිය හැකිය. අපල උපද්‍රව සඳහා ආරක්ෂක මන්ත්‍රවලින් ජප කරන ලද නිල්පාට මැණික් ගලක් මුද්දකට සම්බන්ධකර පැලඳ ගැනීම යෝග්‍ය වේ.

(මීළඟට මීන ලග්නය)

 

ඡ්‍යොතිෂවේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.