හදවතට ගුණ දෙන දත් දිරායාම වලකන

මාර්තු 1, 2024

ආයුර්වේද වෛද්‍ය සිසුවෙක් වූ සිදත් නිවාඩු ලැබුණු වහාම නිවසට ගියේ තම යහලුවකු වූ නිලංග සමඟයි. දෙවැනි වසරේ අවසාන විභාගය නිමා වීමෙන් පසු වහා ගමට යාමට සිතා ගත්තේ එකදිගට නිදිමරා පාඩම් කිරීමෙන් ඇතිවූ තෙහෙට්ටුව නිසා විවේකයක් ගැනීමටයි. පුත්තලම ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ ඔහුගේ පියා ගොවියෙක් විය.

තම මිතුරා සමඟ නිවැසට ඔහු ළඟාවන විට සවස 3.00 පමණ විය. දිගු කලකින් නිවෙසට පැමිණි පුතා දුටු මව සහ පියා අතිශයින් සතුටට පත්විය.

පුතාලට ගමන් මහන්සියත් ඇතිනේ. යාලුවත් එක්ක වත්ත කෙලවර තියෙන කුඹුක් ගහා ළඟ ළිදට ගිහින් නාගෙන එන්න. මම ඉක්මනින් කෑම සූදානම් කරන්නම්.” යනුවෙන් මව පැවසූ විට හොඳයි අම්මෙ අපි නාගෙන එන්නම් යනුවෙන් පවසා ඔවුන් දෙදෙන ළිඳ ළඟට ගියෝය .

කුඹුක් ගස් හෙවණේ තිබුණු ළිද අසලට පැමිණි නිලංග

‘ෂා.. සිදත් ෂෝක් වතුර ටිකනේ. හරි පැහැදිලියි. ඒ වගේම මේ ගහේ හෙවණ නිසා හරි සනීපයක් නේ දැනෙන්නෙ.”යනුවෙන් සිදත් ට කීය.. ඔව් නිලංග. කුඹුක් ගස් ළඟ තියෙන ළිං වල වතුර හරි පැහැදිලියි... ඒ වගේම පිරිසුදුයි. අනෙක් කාරණය කුඹුක් ගහෙන් එන හෙවණත් එක්ක නානකොට හරිම සනීපයි.

මේ නිසා වෙන්න ඇති ඉස්සර හිටපු අපේ මුතුන් මිත්තෝ කුඹුක් ගස්. මීගස් වගේ ගස් ළඟ ළිං හෑරුවෙ“ ඔව් කුඹුක් කියන්නේ හදවත් රෝග වලට ඉතා හොඳ ඔසුවක් කියල අපි ඉගෙන ගත්තනේ” යැයි නිලංග එවිට කීය.

ඔව් නිලංග ඔයා කිව්ව දේ හරි. අපේ පැරැණි වෛද්‍යවරුන් කියල තියෙන්නේ කුඹුක් හදවත් රෝගවලට විශේෂයි කියල ඒ වගේම තවත් රෝග රාශියකට හොඳයි කියනවා. කුඹුක් පොතු වල කැල්සියම් නිසා කැඩුම් බිදුම් වෙදකමේදි බිඳුණු අස්ථි යළි සකස් වෙන්න ඉතා හොඳදෙයක් විදියට යි. කුඹුක් සලකන්නේ යනුවෙන් සිදත් විස්තර කළේය.

හැබැයි, ඉන්දියාවේ හිටපු ද්‍රව්‍ය ගුණ විඥානය පිළිබඳ විශාරදයෙක් වූ කර්නල් චොප්රාගෙ මතයට අනුව කුඹුක් පොදුවේ සෑම හෘද රෝග අවස්ථාවකටම ගුණ දායක බව සඳහන් කරල තිබුණත් යොදන මාත්‍රාව අනුව එහි ගුණාගුණ වෙනස් වනවා. ඒ වුණත් හෘදය උත්තේජනය කරනු ලබන නිසා අධික රුධිර පීඩනය ඇති හෘද රෝගීන්ට කුඹුක් ගුණදායක වන්නේ නැහැ .ඒ වගේම ශරීරය අධික ලෙස දුර්වල කරන රෝග වලදි හදවත ශක්තිමත් කිරීමටත්.. හෘද ස්පන්දනය වැඩි උනාම එම තත්ත්වය අඩු කිරීම සඳහාත් කුඹුක් පොත්ත ඖෂධයක් විදියට ගනු ලබනවා. ඒ වගේම කුඹුක් ස්වල්ප ලෙස ගැනීමෙන් හෘදය උත්තේජනය ඇති කරනවා. කුඹුක් අධික ලෙස ගැනීමෙන් හදවත දුබල කරනවා “ යැයි සිදත් කුඹුක් ගැන වැදගත් තොරතුරු රාශියක් නිලංගට පෙන්වා දුන්නේය .

එතකොට සිදත් මේ ප්‍රදේශයේ කුඹුක් බහුලව වැවෙනවා නේද. අපි එනකොට ගස් කීපයක් ම දැක්කනේ.” යනුවෙන් නිලංග සිදත් ට කීය .

ඔව් නිලංග මේ පැත්තෙ කුඹුක් බහුලයි. ශ්‍රී ලංකාවෙ මුහුදු මට්ටමේ ඉදල මීටර් 1250 ක් දක්වා පහතරට ප්‍රදේශයේ සහ වියළි කලාපයේ ගංගා ඇළ ඉවුරු ආශ්‍රිතව තණ බිම් සහ වනාන්තරවල දකින්න පුළුවන්. යාපනය පුත්තලම ත්‍රිකුණාමලය වගේ පළාත්වල බහුල වශයෙන් දකින්න පුළුවන් “ යනුවෙන් සිදත් නැවතත් කීය.

එතකොට ඉන්දියාවේ කුඹුක් වැවෙන්නේ හිමාලය කදු අවට ප්‍රදේශය උතුරු ප්‍රදේශය..බිහාරය.. දකුණු බෙංගාලය සහ මධ්‍යම සහ දකුණු ඉන්දියාවේ ද මියන්මාරයේ ද දකින්න පුළුවන්’ නේද යනුවෙන් නිලංග සිදත් ගෙන් විමසීය.

ඔව් නිලංග ඒ විදියට තමයි විස්තර කරල තියෙන්නේ. යනුවෙන් සිදත් පිළිතුරු දුන්නේය .

එතකොට සිදත් හැම කුඹුක් ගසක් ම මේ වගේ ම උසට හැදෙනවද.” යනුවෙන් නිලංග ඇසූ විට සිදත් මෙසේ පිළිතුරු දුන්නේය .

ඔව් නිලංග සාමාන්‍යයෙන් මීටර් 15 -25 දක්වා උසට වැවෙන විශාල ශාකයක්. මේ ගස්වල කදේ පොතු විශාල පතුරු විදියට ගැලවිලා යනවා. මේ පොතු රෝස හෝ කොළ සුදු පාටට හුරුයි. කුඹුක් ගහේ කදේ පහළ මට්ටමේ ඉඳලම අතු බෙදෙනවා. මේ ගස්වල හටගන්නා කොළ සරල යි.

ඒ වගේම කොළ සම්මුඛව පිහිටනවා. කොළ වල දිග සෙ.මි.10-15 පමණ වෙනවා. .පළල සෙ.මි. 4-7 දක්වා වෙනවා. කුඹුක් ගස්වල හටගන්න මල් කොළ පාටට හුරු සුදු පාටයි. සාමාන්‍යයෙන් මල් පිපෙන්නෙ අප්‍රේල් හා මැයි මාසවලයි. ඒ වගේම කුඹුක් ගෙඩි සාමාන්‍යයෙන් සෙ.මි. 2.5-5 පමණ දිගින් යුතුයි . මේ ගෙඩිවල කෙඳී සහිත තද පියාපත් 5 ක් දකින්න පුළුවන්’

ඒ වගේම මේ ගෙඩියක දුඹුරු පාට බීජ එකක් පමණක් දකින්න තියෙනවා”යනුවෙන් සිදත් කුඹුක් ගැන හොඳ විවරණයක් සිදු කළේය.

එතකොට සිදත් කුඹුක්වලට යෙදෙන වෙනත් නම් ගැනත් කතා කරමු. එතකොට මටත් මතක් වෙනවා “ යනුවෙන් නිලංග පැවසීය .

මෙහෙමයි නිලංග සිංහල භාෂාවෙන් කියන්නේ කුඹුක් නම විතරයි.

සංස්කෘත භාෂාවෙන් අර්ජුන, කකුභ, නදීසර්ප, ධවල, වීරවෘක්ෂ, ධනංජය, ශ්වේතවාහ, ආදි නම් යෙදෙනවා.

හින්දි භාෂාවෙන් කෞහා, කහුහා, කහු, අර්ජුන ..ආදි නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් වෙල්ලායි...ඔරුදමරම් ආදි නම් යෙදෙනවා.

කුඹුක්වලට ඉංග්‍රීසි භාෂාවෙන්  The Arjuna Myrbalam  යනුවෙන් යෙදෙනවා. කුඹුක්වල උද්භීද විද්‍යාත්මක නාමය Terminalia arjuna ( Roxb) Wight and Aru  වන අතර කුලය COMBRETACEAE හෙවත් හරීතකී කුලයයි.

යනුවෙන් සිදත් විස්තර කළේය

ඒ වගේම කුඹුක්වල පොතු , කොළ, සුඹුලු, මල සහ ගෙඩි ඖෂධ සඳහා ගනු ලබනවා. මෙයින් පොතු ගැනීමේදී රතු හෝ රෝස පාට මේරූ පොතුම ගත යුතුයි. යැයි සිදත් නැවතත් කීය.

එතකොට සිදත් කුඹුක්වල කැල්සියම් තියෙනවා නේද. කුඹුක් කැඩුම් බිදුම්වලදී ගන්නෙත් ඒනිසා නේද .යනුවෙන් නිලංග නැවතත් ප්‍රශ්න කර සිටියේය .

එයට පිළිතුරු දුන් සිදත කීවේ කුඹුක් පොතු දවා ගත් භෂ්මයේ කැල්සියම් කාබනේට් සහ ටැනින් ඇසිඩ් පවතින බවත් කුඹුක් පොතු ක්වාථයේ ද ටැනින් සහ කාබනික අම්ල ප්‍රධාන වශයෙන් පවතින බවත් ය.

සිදත් අපි කුඹුක් වල ඖෂධීය ගුණ ගැනත් කතා කරමු “යනුවෙන් නිලංග නැවතත් සිදත් ට කියා සිටියේය.

මෙහෙමයි නිලංග ඒ ගැන ගොඩක් විස්තර කතා කරන්න ඕන. කියමින් සිදත් විස්තර කිරීම ආරම්භ කළේය .

කුඹුක් රසයෙන් කෂාය රසයි.

ගුණයෙන් ලඝු හා රූක්ෂයි

වීර්‍යයෙන් ශීත යි

විපාකයෙන් කටුකයි.

ඒ වගේම ප්‍රභාවයෙන් හෘදයට හිතයි.

ඒ වගේම දෝෂ අනුව ගත්තාම

කෂාය රසයෙන් සහ ලඝු, රූක්ෂ ගුණවලින් යුතු නිසා සෙම සමනය කරන අතර ශීත වීර්‍ය නිසා පිත සමනය වෙනවා. එනිසා සෙම්, පිත් දෙකෙන් උපදින රෝග සදහා හොඳයි යනුවෙන් සිදත් පැහැදිලි කළේය.

එසේම කුඹුක් හදවතට හිතකරයි. තුවාල ශුද්ධ කිරීමේ හැකියාව පවතිනවා. කැඩුණු බිඳුණු ඇට සන්ධි කරයි. ශරීර ශක්තිය වැඩීමට උපකාරී වෙනවා. ඒ වගේම හෘදයාබාධ ලේ මදිකම, මේදය වැඩිකම, ලේ දෝෂ, තුවාල, මූත්‍ර අඩස්සිය යනාදිය සුවපත් කිරීමට උපකාරී වෙනවා.

ඒ වගේම ආයුර්වේදයේත් දේශීය වෙදකමේදිත් කෂාය, පත්තු, මැල්ලුම් සහ ආලේප රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා කරනු ලබනවා. යනුවෙන් සිදත් විසින් තවත් කරුණු රාශියක් ගෙනහැර දැක්විය. නැවතත් සිදත් කුඹුක් අඩංගු ඖෂධ යෝග ගැන විස්තර කරමින් මෙසේ කීය. මේ අතුරින් කුඹුක් පොතු යොදා කල කිරි කෂාය විශිෂ්ටයි. මෙය රක්ත අතීසාරයට ඉතා හොඳයි .

ඒසේම කැසීම්.. ආදි සමේ රෝග සඳහා

කුඹුක් පොතු කෂාය යොදනු ලබනවා .

රත් පිතට කුඹුක් පොතු ශීත කෂාය ද

ශුක්‍ර මේහය සහ ශ්වේත ප්‍රදරයට

කුඹුක් පොතු හා සුදු හදුන් කෂාය යොදනු ලබනවා. ඒ වගේම ශරීර ශක්තිය වැඩීමට

කුඹුක් පොතු කෂාය බීමට දෙනු ලබනවා

ඒ අතර තුවාලවලදි

කුඹුක් කොළයෙන් තුවාලය වැසීම

කුඹුක් කොළ තම්බා සේදීම

කුඹුක් ගෙඩි තම්බා අඹරා තුවාලය මත එලනු ලබනවා.

නාසයෙන් ලේ යනවිට, රත්පිතට, පපුවේ දැවිල්ලට කුඹුක් පොතු කෂාය යොදනු ලබනවා

කැස්ස ඇති විට කුඹුක් පොතු පිටිකර පාවට්ටා යුෂයෙන් අනා සීනි මීපැණි, ගිතෙල් යොදා ගනු ලබනවා. යනුවෙන් සිදත් ඖෂධ යෝග රැසක් පෙන්වා දුන්නේය .

එතකොට සිදත් අපේ පැරණි අය ගර්භණී මව්වරුන්ට කුඹුක් තම්බපු වතුර බොන්න දීලා තියෙන්නේ කැල්සියම් ශරීරයට ලබා ගන්න කියලා මම අහල තියෙනවා “ ඒක ඇත්ත වෙන්න් පුලුවන් නේද සිදත්”යනුවෙන් නිලංග නැවතත් ප්‍රශ්න කර සිටියේය .

බොහෝ විට කූඹුක් පොත්තෙන් ලබා ගත් අළු තමයි ගැබිනි මව්වරුන්ට දීලා තිබුණේ .වර්තමානයේ කළලයේ වර්ධනය සඳහා කැල්සියම් පෙති දීමෙන් බලාපොරොත්තු වූ දේ තමයි එමඟින් සිද්ධ වුනේ “ යනුවෙන් සිදත් පිළිතුරු දුන්නේය .

ඒ වගේම කුඹුක් පොතු කපා වියළා සියුම්ව කුඩුකර ඒවායින් දත් මැදීමෙන් දත් දිරායාම සහ දත් මුල් දියවීම වැලකී දත් ශක්තිමත් වන අතර කුඹුක් පොතු තැම්බූ වතුරින් කට සේදීමෙන් කටේ ඇතිවන ආසාදනත් සුව වෙනවා යනුවෙන් තවත් තොරතුරු සිදත් පෙන්වා දුන්නේය .

එතකොට සිදත් කුඹුක් පොතු වේළලා කුඩු කරල ලේ ගලන තුවාලවලට දැමුවාම ඉක්මනින් සුව වෙනවා කියල සමහර අය කියනවා නේද “ යනුවෙන් නිලංග සිදත් ගෙන් විමසීය.

ඔව් .ඒ කතාව ඇත්ත. මේ ප්‍රදේශවල ඒ බේත් කරනවා “යනුවෙන් සිදත් කීය .

එතකොට අර්ජුනාරිෂ්ඨය කියන්නේ කුඹුක් පොතුවලින් හදපු බේතක් නේද .”යනුවෙන් නිලංග නැවත ඇසීය.

ඔව් නිලංග. අර්ජුනාරිෂ්ඨය හදන්නේ කුඹුක් පොතුවලින් තමයි. හෘද රෝගවලට වගේම කොලෙස්ටරෝල් පාලනය කරන්නත් මේ බේත ගොඩක් හොඳයි.

එ වගේම අර්ජුන ඝෘතය, කකුභාදී ඝෘතය, පාර්ථාද්‍යාරිෂ්ඨය වගේ බෙහෙතුත් හදන්නේ කුඹුක් වලින් තමයි, යනුවෙන් සිදත් වැදගත් කරුණු කිහිපයක් ම නිලංගට පෙන්වා දුන්නේය.

මෙසේ ඔවුන් දෙදෙනා කරුණු සාකච්ඡා කරමින් සිටින අතර සිදත් ගේ මවගේ කටහඬ ඔවුන්ට ඇසිණි .”පුතාලා ඉක්මනට නාගෙන එන්න කෑම කන්න “යනුවෙන් ඇය කියනු ඇසිණි.

අන්න අම්මා කතා කරනව කෑම කන්න .කතාව නිසා ඒකත් අමතක වුණා යනුවෙන් සිදත් කීය. ඔව්, කුඹුක් ගැන අපි හොඳ සාකච්ඡාවක් කලා නේ. බලන කොට කුඹුක් කියන්නේ ඖෂධීය වශයෙන් විශිෂ්ට ගුණ ගෙන දෙනවා වගේම ජලය පිරිසිදු කිරීමටත් මහඟු මෙහෙයක් ඉටුකරන කරන ශාකයක්නේ.”යැයි කියමින් සාකච්ඡාව නිමා කළ ඔවුන් දෙදෙනා කුඹුක් සෙවණේ ළිදෙන් හොඳ හැටි නාගෙන නිවෙස බලා ගියේ ඉක්මනින් ආහාර ගැනීමටයි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.