වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
කොණ්ඩදෙණිය පරපුරේ විස්කම්පාන කඩම්බාවේ හිමි
ඡ්‍යොතිෂ අඹරේ දිදුලන තාරකාවක් බඳු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සබැඳිීම් ගොඩනැඟුණු ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය නමක් රැන්දූ කොණ්ඩදෙණියේ සීලරතන යතිවරයාණන් වහන්සේගේ වීරෝදාර චරිතාපදානයක අපූර්ව විචිත්‍ර අනුභූතීන් රැසක් පිළිබඳව සමාජ විද්‍යාත්මක සත්‍ය සටහන් පෙළක ඇරඹුමකි මේ.
ඡ්‍යොතියෙහි වාස්තු විද්‍යාවේ “විශ්ව කර්ම” නම් ප්‍රතිභාවෙන් අනූන වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් වහන්සේ (ක්‍රි.ව. 1940 - 1970 අගභාගය) සමඟ ඇසුරක් කිරීමට මා හට නොහැකි වුවද උන්වහන්සේගේ ඥාතීත්වයෙන් මුණුබුරෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නයක් වූ ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන් (කොණ්ඩදෙණිය රජ මහා විහාරයේ වත්මන් විහාරාධිපති) එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධියට එකම පීඨයේ ඉගෙන ගත් බැවින් දෝ අප කුළුපග සරසවි මිතුරන් විය.
එහෙයින් තම ඥාතිත්වය අනුව මුත්තණුවන් වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගේ සැබෑ වීරෝදාර චරිතය අනුරුද්ධ නායක හිමිපාණන්ගෙන්ම දැන ගැනීමට මම භාග්‍යවන්ත වීමි.
කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පමණක් නොව දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ද ප්‍රගුණ කළ යතිවරයාණන් වහන්සේ නමකි.
මහව නගරයේ සිට කි.මී. 08ක් පමණ ඈතින් යාපහුවට සමීපව කොණ්ඩදෙණියට පිහිටා ඇත. කොණ්ඩදෙණිය යන නම එම ප්‍රදේශයට ලැබුණේ යාපහුව රාජධානි යුගයේ රාජද්‍රෝහී සහ මිනී මැරුම් කළ අයගේ හිස ගසා මරා දමා එම හිස් වළ දැමූ ප්‍රදේශය නිසාය. වරදකරුවන්ට දෙන ලද මරණීය දණ්ඩනය නිසා වෙන්වූ හිස් කොණ්ඩා සහිත වූයෙන් කොන්ඩදෙණිය යන නම පට බැඳී ඇත.
විසිරව පැතිර ගිය ගල්කුලක් අසල කොණ්ඩදෙණිය පන්සල පිහිටා ඇත. කොණ්ඩදෙණියේ පන්සල පිහිටිය යුතු ස්ථානය කඩම්බාවේ සීලරතන හිමියන්ට සිහිනෙන් දක්වන ලද්දේ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසුණු සැරමිටියක් සහ රන් කෙණ්ඩියක් අතින් ගත් තාපසයකු මඟිනි. උන්වහන්සේ කොණ්ඩදෙණියට සපැමිණීමට පෙර පළමුව පැවිදි වී සිටි විහාරස්ථානය වූයේ යාපහුවේ වෙහෙරගල පන්සලය. සීලරතන හිමියන් වෙහෙරගල පාසලෙන් ඉවත්ව කොණ්ඩදෙණියට පැමිණියේ සිය නායක හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමට විරෝධය පෑම නිසාවෙනි.
තත්වය මෙබඳු වූයෙන් නිදහසේ තම සිතැඟියාවන් ඉටුකිරීමට වෙනම ස්ථානයක් සොයා ගැනීම බෙහෙවින්ම අවශ්‍ය විය. ඒ කෙසේ වුවද වෙහෙරගල පන්සලෙන් වෙන්ව යන විට සීලරතන හිමියන් තම ගුරු හිමියන්ට පවසන ලද්දේ වනගතව තපස් දිවියක් ගත කිරීමට තමන් වහන්සේ අදහස් කර සිටින බවකි.
ඉන්පසු කොණ්ඩදෙණියට සැපැත්වූ උන්වහන්සේට කොණ්ඩදෙණිය ගල්ලෙනක තිබී රනින් නිම කළ බුදුපිළිමයක් ද, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර අඩංගු පුස්කොළ පොත් මිටි කිහිපයක් ද, රන්වන් පාටින් බබළන සිංහ තෙල් අඩංගු බෝතල් කිහිප කිහිපයක් ද හමුව ඇත. පසුකාලීනව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා ඒවා මහෝපකාරි වී ඇත. මම එම සිංහ තෙල් අඩංගු භාජන කිහිපයක් සියැසින් දුටුමි. එකල විවිධ ප්‍රදේශවලට පිල්ලි යැවූ සත්‍ය වළස් මුහුණක් අද ද කාර්යාල කාමරයේ සුරක්ෂිතව පවතියි.
මුල් කාලයේදී ගල්කුල ඉස්මත්තේ ගරාවැටුණු පැරැණි බුදු ගෙයක් හමුවිය. එහෙත් වත්මන්හි ඒවා සියල්ල රජමහා විහාරයකට උචිත අයුරින් ප්‍රතිසංස්කරණ කර කටයුතු නිම කර ඇත. ඇතැම් ගොඩනැඟිලි වහාම ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇත.
කොණ්ඩදෙණිය ඓතිහාසික තොරතුරු දැනගැනීමේ අටියෙන් මම කොළඹ සිට ඥාති හිතමිත්‍රයන් කිහිපදෙනකු සමඟ මහව, යාපහුවට නුදුරුව පිහිටි කොණ්ඩදෙණිය රජමහා විහාරයට සපැමිණියෙමි.
ඒ අතර මා දුටුවේ උඩුකය නිරුවත් පිරිමි අයකු වැලි ගොඩක් මත්තේ අත්පා ගසමින් දඟලමින් සිටින අයුරුයි. මම අපේ හාමුදුරුවන්ගෙන් ඒ කවුරුන්’දැයි විමසීමි. එවිට අනුරුද්ධ හිමියන් පැවසුවේ. “මහත්තයා. මං එයාට පුංචි දඬුවමක් දීලයි තියෙන්නේ.” “සවස් වෙන කොට අතහැරලදානව“ කියාය. ඒත් මට කැමැති වුණේ. ඒ මොහොතේම අනුරුද්ධ හාමුදුරුවන්ගේ ගුරුකම්වල විස්කමක් බලා ගැනීමටය. එයා යාබද පන්සලක පූජා භාණ්ඩ රැසක් හොරකම් කරපු කෙනෙක්. ඒත් මාගේ පෙරැත්ත නිස ළඟ ඇති ගසකින් කුඩා කොටුවක් කඩා ගත් අනුරුද්ධ හිමියන් එයට මොනවාදෝ මතුරා අප සමඟම ඒ පුද්ගලයා වෙත ගොස් එම මැතිරූ කෝටුවෙන් ඔහුගේ පිටට හෙමින් තට්ටු කරන ලදී. ඒ සමඟම ඒ පිරිමි පුද්ගලයා වැලි ගොඩේ අත්පා ගසමින් දැඟලීම වහාම නතර විය. ඒ සමඟම නැඟී සිටි ඔහු දීපංකර බුදු පාමුල වැඳ වැටුණූ සුමේධ තාපසයා මෙන් වහා බිම දිගාවී බිම වැතිර අනුරුද්ධ හිමියන්ගේ පාද අල්ලා වැඳ නමස්කාර කොට මින් මත්තට මෙවැනි සොරකම් කිසිවක් සිදු නොකිරීමටත් හේනක් කොටාගෙන ජීවත්වන බවත් දිව්රා පවසා නැඟිට පසු නොබලාම දිව යන්නට විය. කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගේ හාස්කම් පෙළ ගස්වා දැන ගැනීමට ගිය අපට වත්මන් විහාරාධිපති අනුරුද්ධ හිමියන්ගේ ගුරුකම් හා විස්කම්ද අත්දකින්නට හැකිවීම සතුට දනවන්නක් විය.
අනුරුද්ධ හාමුදුරුවන් වහන්සේ අවට ගම්වාසීන්ගේ සිත් දිනා ගත් ප්‍රකට චරිතයක්ම විය. උන්වහන්සේ අවට ගම්වැසියන්ගේ සහාය ගෙන මනරම් වූ කුඩා වැවක්ද නිර්මාණය කොට ඇත. එම අභිනවයෙන් සැකසුණු වැව බැලීමට ද අපි අවකාශ ලැබුයෙමු. අලුත බැඳි වැව මෙම වර්ෂා කාලයේ ජලයෙන් පිරී පැවතුනි. එයට හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් වැව් මාළු, වර්ග රැසක් බෝකිරීමට ඉඩකඩ සලසා තිබුණි. කෙටි කාලයක් තුළදී මත්ස්‍ය ගහනය වර්ධනය වන්නට විය. ඒත් මාළු ඇල්ලීම තහනම් විය.
ඒත් රාත්‍රි කාලයේ ඒ ගම අවට විසූ බේබදු මිනිසකු හොරෙන් මේ කුඩා වැවට බැස දැල් දා පහසුවෙන් මාළු ඇල්ලීම පුරුද්දකට සිදු කරන්නට විය. කෙසේ හෝ මෙය දැනගත් අනුරුද්ධ හිමියන් තම ගෝල බාල පිරිසෙන් කිහිපදෙනකු රත්‍රි කාලයේ වැව අසල රැක සිට පන්දම් දල්වා ගෙන එම සොරා අල්ලා ගැනීමට උත්සාහ කොට ඇත. එහෙත් ඔහු රැගෙන ආ දැල් ආම්පන්න වැව ඉස්මත්තේ දමා කැලෑ පාරකින් දුවගොස් අතුරුදහන් වී ඇත. සොරා අල්ලා ගැනීමට ඔවුන් අපොහොසත් විය.
ඉදින් ඒ පිරිස මේ පුවත එදින රාත්‍රියේම අනුරුද්ධ හිමියන්ට සැල කරන ලදී. එම රාත්‍රියේම පන්දම් දල්වා ගෙන අලුතින් ඉදිකළ වැව ඉස්මත්තට ගිය අනුරුද්ධ හිමියන් එහි පස් මිටක් ගෙන මොනවාදෝ මන්ත්‍රයක් මතුරා එම පස්මිට වැවට විසිකර නැවත පන්සලට වැඩියහ.
පසුදින හිමිදිරියේම මාළු හොරෙන් ඇල්ලීමට ගිය තැනැත්තා උණ විකාරයෙන් වෙව්ලා වෙව්ලා ගැහෙමින් විකාරදේ කියමින් සිය බිරිඳ සහ දරුවන් සමඟ කොණ්ඩදෙණිය පන්සලට පැමිණ සිදුකළ වරදට හිමියන්ට වැඳ නමස්කාර කොට සමාව ඉල්ලා ඇත.
මාළු හොරෙන් ඇල්ලූ පුද්ගලයාට අනුකම්පා කළ උන්වහන්සේ පන්සල් වත්තෙන් පස්මිටක් ගෙන මන්ත්‍රයක් මතුරා එම පස් මිට හොරා අතට දීමෙන් පසු ඇඟ වෙව්ලීමද විකාරයෙන් දෙඩවීමද නතර විය. හාමුදුරුවන්ට දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කළ ඒ තැනැත්තා මින් මතුවට මෙවැනි දේවල් සිදු නොකරන බවට දිව්රා පොරෝන්දු විය. අනුරුද්ධ හිමියන්ද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධව අති ප්‍රවීණ යතිවර නමකි.
වරදක් කළ අයකු හිටිතැනම ගල් කිරීමට වුවද අනුරුද්ධ නාහිමියන්ට හැකියාව ඇත. එහෙත් එවැනි අයහපත් දේ සිදු නොකර සිටීමට උන්වහන්සේ වග බලා ගත්තේය.
ලබන සතියේ පටන් කොණ්ඩදෙණියේ සීලරතන යතිවරයාණන්ගේ අපූරු සත්‍ය සටහන් පෙළක ආරම්භය සිදුවනු ඇත.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර් /
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ