අස්වනු රකින කෙම් ක්‍රම

දෙසැම්බර් 20, 2024

අපගේ ඔළුවේ කවර ආකල්ප තිබුණද, දේශිය සංස්කෘතිය හා බැඳී පවතින කෙම් පහන් යන සුවිශේෂී අංගය එක්වරක් හෝ භාවිත නොකළ අයෙකු සොයා ගැනීම අපහසු කරුණකි. අපගේ ජීවිතයේ නිරෝගී භාවයට මෙන්ම කෘෂි කර්මාන්තයට ද බැඳී පවතින කෙම් පහන් යනු යම් අයුරකින් විද්‍යාත්මක පදනමක් මත සැකසී ඇති බවද පෙනී යන්නෙකි.

මේ අතරින් වඩාත්ම වැදගත් කරුණ වන්නේ මේ කෙම් පහන්වලින් අපේ කෘෂි කර්මාන්තය රැක ගැනීමට සිදු වූ අනූපමේය සේවයයි. මේ ගැන සියුම්ව විමසා බැලීමේදී පෙනී යන්නේ පරිසරයට හානියක් නොකරමින් තම භව බෝග රැක ගැනීමට ඒ පරිසරයෙන්ම උදව් ගැනීමට අපේ පැරැණියන් තුළ වූ විශේෂඥ භාවයයි. ඒ දැනුම කෘෂිකර්මය උදෙසා යොදා ගත් අවස්ථා කීපයක් මෙහි දැක්වෙයි.

කුරුළු ආසන තැබීම

ගොයම කිරි වදින කාලයේ සිදු කරන්නකි. මේ කාලයේ විවිධ මැස්සන් ඇතුළු කෘමි සතුන් ගොයමට ඇදී එන්නට පටන් ගනී. එවිට අඩි හතරක් පහක් පමණ උස ලී ඉනිවල උඩු අතට සිටින සේ පොල් ලෙල්ල බැඟින් සවි කර කුඹුරෙහි තැනින් තැන සිටවනු ලැබේ.

ආසනයක් වැනි එම පොල් ලෙලි මත දිනපතා උදැසනින් බත් ගුලි තබනු ලැබේ. සමහර විටක අහල පහළින් සොයා ගත් මල් කිනිතිද ඒවායේ රඳවනු ලැබේ.

එවිට බත් කෑමට මෙන්ම මල් පැණි බීමටද පැමිණි කුරුල්ලන් එම පොල් ලෙලි ආසන මත හිඳ එම බත් ගුලි පමණක් නොව ගොයමෙහි වසා සිටින පණුවන් හා මැස්සන්ද ආහාරයට ගනී.

සමහරුන් ලී ඉනි මත පොල් ලෙලි සවි නොකර පොල් පිත්තේ ආරම්භයේ මහත කොටස උඩට සිටින සේ සිටුවා ඒ මත බත් ගුලි තැබීමද සිදු කරයි. මේ සියලු කටයුතු නිහඬව සිදු කළ යුතුය.

මුං ඇට කෙම

එයද මෙයට සමාන මෙහිම තවත් දියුණු පියවරක් ලෙස පෙන්වා දිය හැක්කකි. ගැමියන් මේ ක්‍රමය භාවිත කරනු ලැබුවේ ගොයමට පණු රෝගයක් වැලඳීගෙන එන බව පෙනුන විටදීය. පළමුව පළපුරුදු ගොවි මහතකු විසින් මෙය පණු රෝගයක්යයි නිශ්චය කරනු ලැබේ. ඉන් පසු පෙර පරිදිම රිටවල් මත උඩු අතට පොල් ලෙලි සවිකර ඒ මතට වැලි දමනු ලැබේ. දෙවනුව ඒ වැලි මතට මුං ඇට දමා හොඳීන් වතුර දමනු ලැබේ. තෙත් වූ වැලි නිසා ඒ මත වූ මුං ඇට ඉක්මනට පැළ වෙන්නට පටන් ගනී. මුං ඇට පැළ වීමේදී කණු මුල් ඇද තිබෙනු දකින මයිනන් සහ කපුටන් ප්‍රධාන කොටගත් පක්ෂීහු ඒ වෙත ඇදී එති. මේ ආකාරයට කුරුල්ලන් රංචු වශයෙන් පැමිණ පොල්ලෙලි ආසන මත වසන්නට වීම නිසා එහි වූ කණු මුල් සහිත මුං බීජ ලියැද්දටද වැටෙයි. එසේ වැටෙන මුං බීජ අහුලා කෑමට කුරුල්ලන් වෙලටද බසින අතර එහි සිටන කෘමීන්, පණුවන් හා දළඹුවන් වැනි සතුන්ද අල්ලා ආහාරයට ගනී. ගැමියා මේ සියලු කටයුතු සිදු කරන්නේ නිහඬවය. එනම් කෙම් කරන්නේ කතා නොකරය.

කොහොඹ ඇට කෙම

මෙය ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ ගොයම් මැස්සන්ගේ උවදුරට ප්‍රතිකර්මයක් වශයෙනි. මේ සඳහා ගොවීහු වේලාසනින් කොහාඹ ඇට එකතු කොට හොඳීන් වේලා ගනිති.

එම කොහොඹ ඇට කිලිවලින් ආරක්ෂා වන ආකාරයට රැක ගැනීමට මෙහිදී විශේෂයෙන් වග බලා ගනිති. ඒ සඳහා ගැමියෝ ඒවා වී බිස්සෙහි බිත්තියක් වැනි උස් තැනක ඒවා එල්ලා තැබූහ.

ගොයම් මැස්සන්ගේ ප්‍රහාරයට ලක් වී ඇති කුඹුර වෙත මේ කොහොඹ ඇට රැගෙන යනු ලබන්නේ තරමක වංගෙඩියක්ද, කුඩා මෝල් ගසක්ද සමඟය.

ඉන් අනතුරුව ගැමියා විසින් අදාළ කුඹුර අසල මල් පැලක් තනනු ලැබ, පහන් දල්වා, කොහොඹ ඇට එහි තබා දෙවියන්ට පේ කරනු ලැබේ. කොහොඹ ඇට වංගෙඩියේ දමා කොටනු ලබන්නේ ඉන් අනතුරුවය. එසේ කෙටීමට ලක් වූ කොහොඹ ඇට භාජනයට දමා ආපදාවට ලක් වූ ලියැද්දෙන් ගන්නා ජලයෙන් ඒවා පෙඟෙන්නට දමනු ලැබේ.

කොහොඹ ඇට සහිත මේ ජල බඳුන පෙර සාදා ගත් මල් පැලෙහි දිනක කාලයක් තිබෙන්නට හරියි. පසුදා ඉර නැඟෙන්නට පෙර කුඩා කොහොඹ අත්තක් ගෙන එන ගැමියා ඒවා තමා අත වූ කොහොඹ අත්තෙන් පොඟවා, ලියද්ද පුරා ඉසිනු ලබයි.

චාරිත්‍ර ඉටු කරන විට නිහඬව එම කටයුත්තේ යෙදීම මේ කෙම් ක්‍රමවල විශේෂත්වයකි.

ගොයමට සෑදෙන පණු රෝගවලට

ගොයමට පණු රෝග සෑදෙන්නේ දලු අවදියේදීය. ඒ සඳහා කරනු ලබන කොහොඹ කොළ පොට්ටනි බැඳීමේ ප්‍රතිකාරය සඳහා කිල්ලට අසුනොවී සිටින අයෙකු ඉදිරිපත් විය යුතුය.

ඒ තැනැත්තා විසින් හිරු නැඟීගෙන එද්දී අවශ්‍ය පමණට කොහොඹ අතු කඩා කුඹුරට රැගෙන එයි. ඉන් පසු ඒවා නියර මත තබා දෙවියන්ට යාතිකා කරනු ලැබේ. මේ වන විට කුඹුරෙහි ජලය ඉවත් කොට තිබිය යුතුය.

යාතිකාවෙන් අනතුරුව මේ අතුවල ඇති කොහොඹ කොළ වංගෙඩියක දමා හොඳීන් කොටනු ලැබ, පිරිසිදු රෙදි කැබළිවල පොට්ටනි වශයෙන් බැඳ ගත යුතුය.

ඉක්බිති මේ පොට්ටනි පොළොවට හිරු එළිය වැටෙන්නට ප්‍රථම කුඹුරෙහි වක්කඩවල් වලට තබා බඳීනු ලැබේ. නැවත වරක් ලියැද්ද පිරී යන ආකාරයට ජලය ඇතුළු වීමට ඉඩ සලසනු ලබන්නේ ඉන් අනතුරුවය. එම අලුත් ජලය වක්කඩෙන් කුඹුරට ඇතුළු වන්නේ, මේ තලාගත් කොහොඹ කොළ යුෂ වල සාරය සමඟ මිශ්‍ර වෙමිනි.

පණු රෝගය මර්දනය වන්නේ එහෙයිනි.

වක්කඩට බෙහෙත් යෙදීම

මෙයද ගොයමට පණු රෝග සෑදීම නිසා සිදු කරන කෙම් ප්‍රතිකාරයකි. මේ සඳහා අවශ්‍ය දේවල් වන්නේ වරා අතු, දලුක් ශාක කැබලි, එඬරු ඇට සහ කොළ, යකි නාරං කොළ, දොඩම් පනා කොළ, කුකුරුමාන්, කැප්පෙටියා යන අවට පරිසරයෙන් සොයා ගත හැකි දේවල්ය.

මේ දේවල් හැකි තාක් උදැසනක සොයා ගත යුතු වන අතර ඒවා රැස් කර ගැනීමෙන් පසු බිම නොතියා කතා බහකින් තොරව, වංගෙඩියක්ද සමඟ කෙළින්ම කුඹුර වෙත රැගෙන ඒමට වග බලා ගැනීම මේ කෙම් ක්‍රමයේදී ඉතා වැදගත්ය.

පළමුව කූඹුරෙහි ජලය බැස යාමට සලස්වනු ලැබේ. අනතුරුව පහන් පැලක් සාදා මල් පහන් පුදා, දෙවියන්ට යාතිකා කිරීමෙන් අනතුරුව ගෙන ගිය බෙහෙත් කෙටීම සිදු කරනු ලැබේ. ඉන් පසු කොටන ලද බෙහෙත් කුඹුරට ජලය ඇතුළු වන වක්කඩට ඇතුළු කෙරේ. ලියැද්ද ජලයෙන් පිරවීමට කටයුතු කරනු ලබන්නේ ඉන් අනතුරුවය. වක්කඩ තුළින් අලුත් ජලය කුඹුරට ගලා එන්නේ මෙම බෙහෙත් සංයෝගය සමඟ මිශ්‍ර වෙමිනි. පණු රෝගය මැඬ පැවැත්වෙන්නේ එම ජලය කුඹුර සිසාරා ගමන් කිරීමෙනි.

පොල් ගස්වල ගෙඩි කුරුවල් නොවීමට

කතා බහකින් තොරව ගසෙහි කඳෙහි ඇණයක් ගැසිය යුතුය.

ගස් ලබු ගෙඩිවලට පණුවන් සෑදෙන විට එම ගෙඩි කඩා යන එන්නන්ට දැක ගත හැකි වන පරිදි පාරක් අයිනේ තැබිය යුතුය. මේවා දකින මිනිසුන් එම ගෙඩි නිරපරාදේ නාස්ති වී තිබීම ගැන දුක් වෙයි. ඉන් පසු එම ගෙඩිවලට පණුවන් නොගසන බව ගැමියන්ගේ විශ්වාසයයි.

කරවිල වල තිත්ත රස නැති කර ගැනීමට

මැටි පොළොව මත අළු දමා, කපන ලද කරවිල ඒ මත දැමිය යුතුය.

තිත්ත රස නැති වන බව පැවසේ.

ගස් ලබු ශාකවල ගෙඩි සෑදීමට

කතා කිරීමෙන් වැළකී රබර් ගස්වල කිරි කපන ආකාරයට, ගසෙහි පහතට වන්නට පටියක් ඉවත් කරනු ලැබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.