මේ කරදර ඇති කර ගත්තෙ ඔබමයි

අගෝස්තු 4, 2023

කීයක් හරි සාධාරණව හරි හම්බ කරල පුංචි ගෙයක් හදාගෙන ජීවත්වූ කාලෙදි අපේ ගෙදරට නව ආලෝකයක් ආවා. ඒ අපේ ලොකු පුතා. ලොකු පුතා ඉපදිලා වසර 3කින් තමයි දුවක් ලැබුණේ. දවසින් දවස ගෙදර සතුට, සමාදානය පවුල ඇතුළේ තිබුණා. ඒක නිසාම වසර 10ක් යන්ටත් පෙර අපේ පවුල පුතාල 2යි දුවල 3කින් සමන්විත වුණා. ගෙදර තිබුණෙ එක කාමරයක් නිසා අපේ ගමේම හිටපු වාස්තු පරීක්ෂක මහත්තයා ගෙන්වල වාස්තු එහෙම පරීක්ෂා කරවල නිවෙස ටිකක් ලොකු කර ගත්තා. අපේ අලුත් ගෙයි දොරවල් ඔත්තෙ ගණනටත් ජනේල ඉරට්ටේ ගණනටත් තියල මූලික දොරේ පළල වගේ වෙනත් දොරවල් නැති විදිහටයි දොර ජනේල සවි කළේ. පිටුපස දොර ටිකක් කුඩාවටයි සවි කළේ.

දරුවෝ ටිකක් ලොකු මහත්වෙන කොට අපි ඒ අයගේ කේන්දර පරීක්ෂා කර ගත්තා. ඒත් ඒ විස්තර නම්, මතක නැහැ. ලොකු පුතාට නම් කිවුවා මතකයි පාසල් යන කාලේ ටිකක් සෙල්ලක්කාරයා. ඒත් උසස් අධ්‍යාපනයට හොඳයි කියලා. ඒ වගේම ලොකු පුතා අ.පො.ස. සාමාන්‍ය පෙළ පළමුවර අසමත් වුණා. නිකං ගෙදරට වෙලා ඉන්න බැහැ කිවුව නිසාම තමයි. ගෙවීමේ ක්‍රමයට ත්‍රීවීල් එකක් අරගෙන දුන්නේ. ඒක අරගෙන ටික දවසක් යනකොට උසස් අධ්‍යාපනයට පාඩම් කරන්න බැහැ කිවුවේ ඒකෙන් ලැබෙන මුදලට තණ්හාව හිතිල මං හිතන්නේ. ඉගෙන ගන්න බැහැම කිවුව නිසාම අපි එයාගේ කේන්දරය බැලෙවුවා. එතකොට තමයි දැනගත්තෙ ඒ කේන්දරයේ 5වැනි රාශිය දුර්වල වුණාට 11 රාශිය බොහොම ජය බවත්, කොහොම හරි මූලික විභාගය එහාට කරගත්තා නම් රටේ වැදගත් මිනිහෙක් වන්නට වාසනාව තිබූ බවත්. අපි කලින්ම මේ කේන්දරය පරීක්ෂා කළා නම් අද මීට වඩා දියුණු තැනකට යන්ට තිබුණු බව දැන් වැටහෙනවා.

අපි මේ විදිහට ජීවත් වෙන කොට එයා කිවුවා හදිසියෙන් විවාහයක් වෙන්න ඕන බව. කල වයසත් හොඳ නිසා අපේ ලොකු අයියගේ දුව මෙයාගේ වයසේ නිසාම මෙයාට කතාකරන්ට හිතාගෙනයි හිටියේ. එහෙම හිතාගෙන පොරොන්දම් පරීක්ෂා කරන්න සූදානම් වුණා. ඒ වුණාට ඒ වන විටත් එයාගේ සහකාරිය එයා තෝරාගෙන තිබෙන බව කිවුවාම අපි පුදුම වුණා. ඒකත් දුරකතනයෙන් සම්බන්ධ වූ බවත්, ඇයත් සාමාන්‍ය පවුලක ගාමන්ට් එකක වැඩකරන බවත් දැනගත්තා. ඒක නවත්වන්න කොච්චර කිවුවත් හරිගියේම නැහැ. පුතා අසතුටින් වුවද ඇගේ කේන්දර කොපියක්ම ඔහුට හොරෙන් ගමේම ඉන්න ඡ්‍යොතිර්මාමාට දුන්නා. ඒක පරීක්ෂා කරල කිවුවා ඇගේ කේන්දරයේ අටවැන්නාධිපති ලග්නෙ ඉන්න නිසාත්, ඇයගේ නැකැත බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ පළමු පාදයේ බවත් ඊට ප්‍රතිඵල වශයෙන් දරු සම්පත් අහිමි බවත් තත්කාල කේන්දරයේ අට වැන්නාධිපති ලග්නයට හෝ 7 වැන්නට ආ කලට වෙනත් ආශ්‍රයක් පවත්වන බව මේ මොනවා කිවුවත් ඒවා ගණන් නොගෙන පුතා ඇයව විවාහකර ගත්තා.

තවදුරටත් ඡ්‍යොතිර්මාමා විස්තර කළා. ඕනෑම කේන්දරයක බ්‍රහස්පතිට අයිති නැකතක පළමු පාදයෙන්ද, සෙනසුරුට අයිති නැකතක දෙවන පාදයෙනුත්. සිකුරුට අයිති නැකතක තුන්වැනි පාදයෙනුත්, රවිට අයිති නැකතක සිව් වැනි පාදයෙනුත් උත්පත්තිය ලැබුණොත් ඒ අයට දරුවෝ එහෙමත් නැත්නම් දරු සම්පත් අහිමියි කියලා තවත් කිවුවා. ඕනෑම ජන්ම පත්‍රයක 8 වැන්නාධිපතියා ලග්නෙ හෝ විවාහක ස්ථානයේ හෝ පිහිටියොත් තත්කාල කේන්දරයේ ඒ ගෝචර කාලයට එවැන්නෙක්ම ඒ කිව්වේ ස්වාමියෙක් නම් තවත් ගැහැනියක සමඟ හා ගැහැනියක් නම් තවත් පිරිමියෙක් සමඟ නීත්‍යනුකූල නොවන ඇසුරක් පවත්වන බව. මේ සම්බන්ධව අපි ඒ දිනවල දැනගෙන හිටිය නම් මේ කරදර කිසිවක් ඇති වන්නෙ නැහැ නේද කියා අම්මා කිවුවා.

මේ විදිහට අලුත් ජෝඩුව තනි කැමැත්තට විවාහ වෙලා මහ ගෙදරට පදිංචියට ආවා. ටික දිනක් ගතවෙද්දි නංගිලා මල්ලිලා සමඟ එකට ඉන්න බැරි නිසා මේ තනි ගෙය මැද බිත්තියෙන් වෙන් කළා. දැන් එකම වහල යට බත් මුට්ටි දෙකක් ඉදෙනවා. මේ විදිහට මාස 6ක කාලයක් ඉන්න ඇති. ඊට පසු දෙපැත්තෙම ඉන්න අයට කරදර ක්‍රමයෙන් වැඩි වුණා. හරියට කවුරු හරි අපිට හූනියමක් කළා වගේ. ඒ අතරතුර අපි එයාට ගුරුකම් කළා කියලා හිත් අමනාපයකුත් ඇති වුණා. බැරිම තැන මේ අපට මොකද වුණේ කියලා අර පෙරදා ගෙදර පරීක්ෂා කළ මහත්තයටම කිවුවා. සුපුරුදු පරිදි එයා ඇවිත් ඔළුවේ අත තබා ගත්තා. කවුරුත් හූනියම් කරලා නැහැ. කරගෙන තිබෙන්නේ ඕගොල්ලොමයි කියලා විස්තර කළා. මේ වගේ හොඳට දොර ජනෙල් හරි ගානට දමලා සමතුලිතතාවය තබලා ගෙවල් හදලා එක්තරා දවසක මේ විදිහට වෙන්කළාම මේක වෙනවා. සමතුලිත තාවය නැතිවනවා. දියුණුව නැතිවනවා. කරදර ඇතිවනවා. ඉතින් හූනියම් කරල කියලා ශාස්ත්‍ර අහනවා. ඒ අය මේ කරදර වැඩි කරනවා. මෙහෙම ගෙවල් හිතුවක්කාර කමට වෙන් කළාම එක පැත්තකට තියෙන දොර ජනෙල් ගණන වෙනස්වනවා. දිශා වෙනස්වනවා කියලා විස්තර කළා.

වර්තමානයේ අපේ තරුණ තරුණියන්ට කාමුක අවශ්‍යතාවන් හා බලපෑම් වැඩි වශයෙන්ද, මුදල් ලැබීම ඉතාම අවම ස්ථානයක පැවතීම කැපී පෙනෙනවා. මීට රටේ පරිහානිය බලපවත්වනවා තමයි. ඒත් අපි රට හදන්නෙ කොහොමද? මීට ඡ්‍යොතිෂය වශයෙන් හේතු සාධක තිබෙනවා. විශේෂයෙන් අනවශ්‍ය පුරුදු ඇති කර ගැනීමත් අවශ්‍ය පුරුදු නැතිකර ගැනීමත් වනවා. ඊට ප්‍රධාන හේතුව ඡ්‍යොතිෂයේ රාශි, ග්‍රහ සංඝටකවල විපර්යාස බව ඡ්‍යොතිෂ්‍ය පෙන්වා දෙනවා. මේවා සමහර විට අපටම හදාගන්න හැකියි.

පෙරදිග රටවල පැවැති ඡ්‍යොතිෂය හා එම කරුණූ අපරදිග මානවයා ඕනෑකමින්ම ඔවුන්ගෙන් බැහැර කරවීම මූලික වනවා. මතකයෙන් නැත්නම් මනුෂ්‍ය මොළයෙන් විස්තර කළ ඡ්‍යොතිෂය පරිගණකගත වීම ප්‍රධාන හේතුව වනවා. පරිගණකය ඉතා සංකීර්ණ පද්ධතියක් ඉදිරිපත් කරන යන්ත්‍රයක් වුණාට ඡ්‍යොතිෂය වැනි ශාස්ත්‍රවලට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ. විශේෂයෙන් ඡ්‍යොතිෂය පරිහරණය කරන්නෙ අතීතයේ සිදුවූ හා අනාගතයේදී සිදුවන කිසියම් හෝ සිද්ධියක් දැන ගැනීමටයි. එය නිතර වෙනස් වන ග්‍රහ, තරු සමඟ කරන අපූර්වතම විශ්ලේෂණයක්.

ලෝකය පවතින්නෙ විශ්ව ශක්තිය හේතුකොට ගෙන ග්‍රහ තරු ,ආපෝ, වායෝ, තේජෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන්ගේ වෙනස්වීම තුළින් සිදුවන ප්‍රතිඵලයන්.

අනවශ්‍ය ලෙස යම් යම් ග්‍රහ තරු රත්වීම නිසා ඒ කිරණ පොළොව මත වැටීම හේතු කොට ගෙන පොළෝ තලය අධික ලෙස රත්වීම හටගනී. ආපෝ බලයෙන් වියළි සුළඟේ වේගය නිසා වසංගත ඇතිවීම වැළැක්විය නොහැකි වන්නේය. මේ ආකාරයට රෝග ඇති වීමේ හේතුව ඡ්‍යොතිෂය මඟින් සෙවීමේදී රෝග වැළැක්වීම වෛද්‍ය විද්‍යාවෙන් සෙවීම කරයි. මේ වර්ෂයේ ජනවාරි පෙබරවාරි, මාර්තු, අපේ‍්‍රල් මාසවල අධික රශ්මියද ඇතිවීමට හේතුව මෙයම වන්නකි.

මනුෂ්‍යයාට ඇවැසි අනැවැසි සැමදෙයම ජන්මියකුගේ කේන්දරයක රාශි දොළහෙන් කිව හැකි වන්නේය. මෙය පහසු කිරීම් වස් ලග්නස්ථාන, ධනස්ථාන, සහජ බන්දු, පි‍්‍රයඞ, ශුතඞ - ශත්‍රෘ කල තන්ත්‍ර මුත්‍රත්‍රංච ධර්ම කර්ම අයඞ වැයඞ යන ඡ්‍යොතිෂ ශ්ලෝකයේ දැක්වේ. මෙම රාශි ස්ථානවලට ඒ ඒ කිරණ වැදීමෙන් යහපත හෝ අයහපත ඇතිකරයි.

කරුණු එසේ නම් ඕනෑම ජන්මියෙකුගේ තුන්වැනි රාශියටත්, 7 වැනි රාශියටත්, 9 වැනි රාශියටත් යහපත් කිරණ පතිත වීමෙන් කාමුකය ඉස්මතු කිරීමත්, 2 -11 රාශිවලට අයපත් කිරණ වැදීමෙන් ධනය ලැබීම දුර්වල වීමත් නොනැවැත්විය හැකි කරුණක් බව ඡ්‍යොතිෂ්‍ය පෙන්වා දෙයි. මීට අමතරව 2 හා 7 වැනි රාශි එක වර නරක්වීම මරණයට පවා හේතුවන බව ගැඹුරු ඡ්‍යොතිෂයේ පෙන්වා දෙයි.

කේන්දරයක් පරීක්ෂා කිරීමේදී මෙම ග්‍රහ කිරණ වෙනස්වීම් හඳුනාගත් අවස්ථාවෙදි යන්ත්‍ර පැලැදීම, මැණික්ගල්, පැලැඳීම කරනු ලැබේ. මෙවැනි අයහපත් කිරණ ශරීර ගත වීම වැළැක්වීමටය. එම නිසා අද සමාජයේ යෞවනය එනම් තරුණ තරුණියන්ගේ ජන්ම පත්‍රවල 3,7,9 හා 2 -11 පරීක්ෂා කිරීමෙන් මෙම කාමුක හා මිල මුදල් හීන වීමට හේතු සොයාගත හැකි බව ඡ්‍යොතිෂයේ මතයයි. මේ කෙසේ වෙතත් මේ තත්ත්වය සැමදා වෙනස්වන විශ්ව ශක්තිය අනුව සමාන්තරව වෙනස් වන බවත් දත යුතු කරුණක් වන්නේය.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්ත විද්‍යාධර

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.