සෙම් රෝග හා ශීර්ෂ රෝග සමනය කරන අගනා ඔසුව කට්ඵල  

ජුනි 26, 2020

ඖෂධ ගුණයෙන් පිරිපුන් ඉතා වටිනා අගනා ද්‍රව්‍යයක් වශයෙන් ‘කට්ඵල’ හැඳින්විය හැකි ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී සෙම් රෝග ඇතුළු රෝග රාශියකට යොදන ප්‍රතිකාරවලදී නැතුවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් මෙය හැඳින්විය හැකි ය. කට්ඵල නමින් එම ශාකයේ පොත්ත ගනු ලබන අතර මෙම ශාකය ශ්‍රී ලංකාවේ නොවැවෙන අතර ඉන්දියාව ආශි‍්‍රත ප්‍රදේශවල හටගනු ලබයි. 

ඉතා ඈත අතීතයේ සිටම විවිධ වූ ඖෂධ යෝගයන් සඳහා කට්ඵල යොදාගෙන  ඇති බවට පැරණි ආයුර්වේද සංහිතා ග්‍රන්ථ පරිශීලනයේ දී පැහැදිලි වේ. චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, අෂ්ඨාංග හෘදය සංහිතාව ආදී සංහිතා ග්‍රන්ථවලද වනෞෂධී දර්පන, භාව ප්‍රකාශය, භාරතීය භෛෂජ්‍ය තත්ත්ව ආදී ග්‍රන්ථවලද කට්ඵල පිළිබඳව විස්තර දක්වා ඇති අතර  ඒ අනුව පෙනී යන්නේ වේද කාලයේ සිටම කට්ඵල  ඖෂධීය වශයෙන් භාවිතා කර ඇති බවයි. 

 

වැවෙන ප්‍රදේශ - 

අඩි 3000 - 4000 දක්වා උස හිමාලය ප්‍රදේශ, නේපාල ප්‍රදේශ, සිංහප්පූරුව බ්‍රහ්ම  දේශීය පර්වත ආදියේ වැවේ. මෙය ශ්‍රී ලංකාවේ දක්නට නොලැබේ. 

කට්ඵල ගසේ ස්වරූපයය - 

කට්ඵල නමින් ගනු ලබන්නේ එම ශාකයේ පොත්ත වන අතර එම ශාකය ඡායා සම්පන්න සදාහරිත අති සුගන්ධවත් වෘක්ෂයක් ලෙස හැඳින්විය හැකි ය. 

මෙම ගසේ පොත්ත ඝන දැඩි ලා රතු පැහැයක් ගනු ලබයි. මෙහි අඟලකින් 1/4 ක් පමණ ඝනකමින් යුතු පොත්තක් වෙයි. මෙහි චූර්ණය ගඩොල් පැහැයක් ගනු ලබන අතර උග්‍ර ගන්ධයකින් යුතුයි. මෙය ආඝ්‍රාණයෙන් කිවිසුම් එයි. මෙම පොතු තම්බා ගත් ජලය වර්ණවත් කිරීම සඳහා යෙදේ. 

එසේම මෙම ශාකයේ ගෙඩි තැම්බීමෙන් Myrtle නැමති ඉටි වර්ගයක් ලැබෙන අතර එය තුවාල (ක්ෂත)  සුවකරන ගුණ යුතුයි. තවද ගසේ අරටුව ද තදයි. එසේම පත්‍ර තද අලු පැහැ වන අතර අඟල් 4 - 5 ක් පමණ දිගින් යුතු යි. එසේම ශීත කාලයේ දී මල් ඇති වී ගී‍්‍රෂ්ම කාලයේ දී ගෙඩි ඇතිවෙයි. මේ අතර කට්ඵල වෙනුවට ප්‍රතිනිධිය ලෙස ඇත්දෙමට ගනු ලැබුවද ඇත්දෙමට වල කට්ඵල ගුණ එලෙසින්ම නොමැත. 

කට්ඵල විවිධ භාෂාවලින් හඳුන්වන අයුරු 

පොදු සිංහල නාමය - කට්ඵල වන අතර 

සංස්කෘත බසින් - කට්ඵල, සෝමවල්ක, කෛටය¸ා, කුම්භිකා, මහා වල්කල, රෝහිණී, ශ්‍රී පර්ණිකා කුමුදිතා, භද්‍රා, භද්‍රවතී, උග්‍රගන්ධ, රඤ්ජන ආදී නාමයන් යෙදේ. 

ඉංගී‍්‍රසි බසින් - Box Myrtle නාමය යෙදේ. 

මෙහි උද්භිද විද්‍යාත්මක නාමය -  Myrica nagal (M. Sapida) Tunmb වන අතර 

කුලය -   Myricaceae හෙවත් ‘කට්ඵල’ කුලය වෙයි. 

කට්ඵල වල ඖෂධීය අංශ - 

කට්ඵල ගසේ වියලාගත් පොත්ත ඖෂධ සඳහා ගනු ලබයි. 

කට්ඵල වල අඩංගු රසායනික 

උපාදාන - 

පොතුවල ටැනින්, සැකරින් හා ලවණ ග්ලයිකොසයිඩ් මයිස්ට්රීන්  (Glycoside Myricitrin) නම් පදාර්ථ අන්තර් ගත වේ. 

ඖෂධීය මාත්‍රා - 

පොතු චූර්ණය රක්තිකා 6 - 24 දක්වා 

කට්ඵලවල ඖෂධීය ගුණ කර්ම - මෙය රසයෙන්, කටුක, තිත්ත, කෂාය වන අතර ගුණයෙන් තීක්ෂණ වෙයි. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ. 

දෝෂ අනුව සැලකීමේදී, 

උෂ්ණ වීර්යයෙන් යුතු නිසා කට්ඵල වාත සමන හා පිත් වඩන ගුණ යුතුයි. මෙය සෙම් වාත සමන ගුණ යුතු නිසා සෙම් වාතජ රෝග සඳහා ප්‍රයෝග කරනු ලබයි. 

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා. 

බාහිර වශයෙන් - 

කට්ඵල තීක්ෂණ, ශිරෝවිරේචන ගුණ යුතු අතර මුර්චා, ප්‍රතිශ්‍යාය සහ හිසේ වේදනා සඳහා නස්‍ය ලෙස යොදයි. මෙය නාසයට ඉරීමෙන් අධික ලෙස කිවිසුම් එයි. තවද පණුවන් නසන ගුණ ඇත. මෙහි සියුම් චූර්ණය වණ, තුවාල ආදියට ඉසීමෙන් සුවය ගෙනදේ. තවද ශරීරය අධික ලෙස ශීතල වූ විට කට්ඵල චූර්ණය අත් පා ආදියේ ඉලීමෙන් ශරීරයේ උෂ්ණය ඇති කරයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.