නා ලොවින් පැමිණි විස්මිත පත්‍රය බුලත්

අප්‍රේල් 19, 2024

 

පාසල් ගොස් පැමිණි සිතාරා තම මව වෙත පැමිණ “අම්මේ... මේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක බුලත් ගැන හරියට කතා වුණා. අපේ සිංහල ගුරුතුමාත් කීවා බුලත් අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු දෙයක් කියලා. ඒ වගේම ඖෂධයක් කියලත් කීවා.”

ඔව්. දුවේ. ඒ කතාව හරියටම හරි.”

“ශ්‍රී ලංකාව ප්‍රධාන බොහෝ ආසියාතික රටවල සංස්කෘතික වශයෙන් ප්‍රයෝජනවත් දෙයක් තමයි බුලත් කියලත් සර් කිව්වා. ඒ වගේම දෙමව්පියන්ට අමතරව අපේ හාමුදුරුවන් වහන්සේලා ..වෛද්‍යවරු..වගේම ගුරුවරු. බුලත් අතකින් බුහුමන් ලබන්න අපේ රටේ සුදුසු වෙලා තියෙනවා කියලත් කීවා”

‘ඔව් දුවේ සර් කියපු ඒ සේරම හරියටම හරි. අලුත් අවුරුද්දෙ දි ගණුදෙනු කිරීමේදී, වැඩිහිටියන්, හාමුදුරුවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් නැමදීමේදී ගනු ලබන්නේ බුලත්. ඒ වගේම මඟුල්තුලාවලදී බුලත් දී මඟුල් කීමත් විශේෂ චාරිත්‍රයක් .

ඒ වගේම දුවේ අපේ රටේ දේශීය සිරිත් විරිත්වලදී නැතිවම බැරි බුලත් විශේෂ අවස්ථාවලදී පිළිගන්වනු ලබන්නේ බුලත් කොළ 40 කින් යුතු බුලත් හුරුල්ලක් වශයෙන්

හෙළ සිරිතට අනුව ඉතා වැදගත් වන බුලත් වල ඖෂධීය වශයෙනුත් වැදගත්කමක් තියෙනවා. නාග ලොවින් ගෙන ආ විස්මිත ඔසුවක් ලෙස ප්‍රකට බුලත් බොහෝ සෙයින් විවිධ රෝගාබාධ රාශියක් සදහා අතිශයින් ගුණදායක ඔසුවක්.

ඒ වගේම බුලත් එකතු කරල සාදන බුලත් විට ගම්බද සහ නාගරික ජනතාව අතර ඉතා ජනප්‍රියයි. වර්තමානයේ බොහෝ දෙනා දිනකට කිහිපවාරයකුත්, සමහරු ආහාරයට පසුවත් බුලත් විටක් සැපීම පුරුද්දක් කර ගෙන තියෙනවා .

මේ බුලත් විටේදි බුලත්වලට අමතරව පුවක්..හුණු ..දුංකොළ ...මෙන්ම කරදමුංගු..සාදික්කා... හිඟුරු පියලි ...වසාවාසි..කරාබු නැටි..ආදිය එක්කර සාදා ගන්නා බුලත් විට ඖෂධීය වශයෙනුත් වැදගත් වෙනවා .

ඒ වගේම ආයුර්වේදයේ දැක්වෙන දිනචර්‍යා හෙවත් උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමේ ඉඳල රාත්‍රි නින්දට යනතෙක් කළ යුතු ක්‍රියාවන් අතුරින් “තාම්බූල භක්ෂණය” හෙවත් බුලත් සැපිමත් එක් අංගයක්.

ඒ මගින් මුඛයේ ප්‍රසන්න බව..දත් ආරක්ෂා වීම වගේ ප්‍රයෝජන රැසක් ලබාදෙන බව ආයුර්වේදයේ දැක්වෙනවා. “ යනුවෙන් සිතාරා ගේ මව වන ජනිතා පැවසීය. ඇය වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක්ය.

“එතකොට දුවේ බුලත් ශ්‍රි ලංකාවේ තෙත් ප්‍රදේශවල දකින්න පුළුවන්. ඒ වගේම පහතරට තෙත් කලාපයේ මිශ්‍ර භෝග වශයෙන් පවතිනවා. එසේම අධික ශීත සහ අධික උෂ්ණ ප්‍රදේශවල දුර්ලභයි.

විදේශීය වශයෙන්

බිහාර් ...බෙංගාල්..දක්ෂිණ භාරතය ආදියේ හොඳින් වැවෙනවා

ඒ වගේම සිංහල භාෂාවෙන් බුලත් නමින් හඳුන්වන අතර

සංස්කෘත භාෂාවෙන්

නාගවල්ලි ..කාමජනනී...භක්ෂ්‍ය පත්‍රී....අමෝද ජනනී..සප්ත ශිරා..තාම්බුලී...තාම්බුල වල්ලී..නාගිනී මුඛරාගකරී ආදී නම් යෙදෙනවා

දෙමළ භාෂාවෙන්

වෙත්තිල කියනවා

හින්දි භාෂාවෙන්

පාත සහ නාගර වේල් කියන නම් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන්

Betle  යන නාමය යෙදෙනවා

බුලත්වල උද්භීද විද්‍යාත්මක නාමය

Piper betle Linn වන අතර

කුලය PIPERACEAE හෙවත් පිප්පලී කුලය ලෙස හැදින්වෙනවා. ඒ වගේම දුවේ බුලත් සහ මල් බුලත් ලෙස ප්‍රභේද 2ක් දක්වනවා.

එසේම ධන්වන්තරී නිඝන්ඩුවේ

කෘෂ්ණපර්ණී සහ ශුභ්‍රපර්ණී වශයෙන් ප්‍රභේද 2ක් දක්වා තියෙනවා. ඒ වගේම ගස් ඇසුරු කරගෙන වැවෙන ඉතාමත් කටුක රසයෙන් යුතු කොළ කුඩා වර්ගය ගස් බුලත් වශයෙන් හඳුන්වන අතර ශ්‍රී ලංකාවේ විශේෂයෙන් උඩරට ප්‍රදේශයේ මෙය ප්‍රසිද්ධයි.

ඒ වගේම දුවේ ඖෂධීය වශයෙන්

බුලත්වල සම්පූර්ණ වැල..කොළ ..දලු..සහ මුල් විශේෂ වෙන අතර කරල් ද යොදා ගනු ලබනවා

දේශීය චිකිත්සාවේදී බුලත් මල්..කරල්..සහ නැටි විශේෂ වෙනවා

ඒ වගේම බුලත් වැල් සියලු දෙනාම පාහේ හොඳින් දන්නා හඳුනන ලියවැලක්.

එතකොට බුලත් වල ඖෂධීය ගුණාගුණ ගැන සැලකුවාම

රසයෙන්

කටුක ..තික්ත හා කෂාය රසයි.

ගුණයෙන් ලඝු..තීක්ෂ්ණ හා විශද යි.

වීර්‍යයෙන් උෂ්ණයි.

විපාකයෙන් කටුක යි.

මේ නිසා සෙම සහ වාතය සමනය කරන හෙයින් සෙම් වාත රෝග සදහා යොදනු ලබනවා

බුලත් ඖෂධ සදහා යොදාගනු ලබන ආකාරය සැලකුවාම

*උගුරේ රෝග සහ ගලපටලයේදි

බුලත් කොළ යුෂ උණු වතුර සමඟ කටේ තබාගෙන සිටීම හොඳයි .

*දෑලවර වේදනා. ඉදිමුම් ආදියට

බුලත් කොළ රත්කර තැවීම ද

*අධික ශීතල සන්නි රෝග සදහා

තෙල් ගා බුලත් කොළ රත් කර තැවීමත් හොඳයි

එසේම ලිංගික දුබලතාවලදී

ශිෂ්ණය බුලත් කොළ තබා බැඳීමෙන් ප්‍රාණවත්වෙනවා.

එසේම වාජීකරණ ගුණ බුලත්වල ඇති නිසා බුලත් සැපීම ලිංගික දුබලතා නැසීමට හේතු වෙනවා .

පෙනහලු ආබාධ වලදී

තෙල් ගා බුලත් කොළ රත්කර පපුව තැවීමෙන් සුවවේ.

ඒ වගේම මෙයින් සකස් කළ තෙල හිස හා පපුවේ ආලේපයටත් නස්‍ය සඳහාත් යොදා ගනු ලබනවා

ඊට අමතරව බුලත් අඩංගු සංස්කාරික ඔසුවක් වශයෙන් නාගවල්ල්‍යාදී තෛලය හැඳීන්වීමට හැකියි. මෙය තුවාල සහ කල්ගත වූ පීනස් රෝගයට නස්‍ය..පාන සහ අභ්‍යංග( තෙල් ගෑම) යොදනු ලබනවා

ඒ වගේම ශ්ලීපද (බරවා) ආදි රෝගවලට බුලත් කොළ උණු වතුරෙන් තම්බා දෙනු ලබනවා.

ඒ වගේම රසදිය ශෝධනය සඳහා ගනු ලබන එක් ද්‍රව්‍යයක් වන්නේද බුලත් යුෂ යි.

ලක්ෂ්මී විලාස රස වැනි ඖෂධ ඇඹරීම සඳහාත් බුලත් යුෂ ගනු ලබන අතර

ශ්වාස කුඨාර රස වැනි ඖෂධවල අනුපාන ලෙසත් බුලත් යුෂ යොදා ගනු ලබනවා

එසේම රත්පිත..පෙනහලුවල තුවාල ..මූර්ජා ජ්‍වර ආදියෙන් පෙළෙන රෝගීන්ට බුලත් අයෝග්‍යයි..

ඉතින් දුවේ බුලත් කියන්නේ ඖෂධීය වශයෙනුත් ඉතා වැදගත් දෙයක් .

සංස්කෘතික වශයෙන් අලුත් අවුරුදු චාරිත්‍ර වලදීත්. මගුල් තුලා ආදියේදීත්..සඟ .වෙද ගුරු. පිදීමේදිත් අත්‍යාවශ්‍ය වන්නාක් මෙන්ම ආහාරමය වශයෙන් සහ ඖෂධීය වශයෙන් වැදගත් වන බුලත් සාමය..සමෘද්ධිය .සෞභාග්‍යය ..සෞඛ්‍යය සහ සශ්‍රීකත්වය සමඟ බැඳණු සංකේතයක් ලෙස දක්වන්න පුළුවන්” යනුවෙන් පැවසමින් සිතාරාගේ මව වන ජනිතා වෛද්‍යවරිය බුලත් ගැන කළ විවරණය නිමා කළාය.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.