බඩේ ලෙඩ නසන මහඟු ඔසුව ඉඟුරු

අප්‍රේල් 26, 2024

 

අවුරුදු නිවාඩුවෙන් පසු බෙහෙත් ශාලාවට ගිය සේන වෙද මහතා හමුවීමට පැමිණියේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන සුගත් මුදලාලි ය.

“මොකද මුදලාලි මහත්තයෝ උදේම අවුරුදු සරුද?”

“අවුරුද්ද නම් හොඳයි .ඒත් වෙද මහත්තයෝ අවුරුදු කෑම වැඩි නිසාද දන්නේ නැහැ. බඩේ අමාරුවක් හැදුණ නේ.”

“ඕක අජීර්ණයක් වෙන්න ඇති. තෙල් බැදුම් ඒ වගේම මස් වගේ දේවල්වලින් හැදෙන්න පුළුවන් නේ”

“ඔව්. වෙද මහත්තයෝ මස් නම් නිතරම කෑවා. ඒ වගේම තෙල් බැදුම් එහෙමත් ටිකක් වැඩිපුර කැවුණා නේ.”

“ඕක අජීර්ණයක් තමයි. ඉඟුරු ඉස්ම දෙහි ඇඹුල් දමලා බිව්වනම් හරි. එහෙම නැත්නම් අමු ඉඟුරු, ඉරිවේරිය තම්බල බිව්වත් හොඳයි.”

“එතකොට වෙද මහත්තයෝ ඉගූරු ගොඩක්ම ගුණයිද මේ ලෙඩේට.”

“ඔව්. ඉඟුරු කියන්නේ ඉතා හොඳ බේතක් .අජීර්ණ, වමන, අතීසාර වගේ ලෙඩවලට වගේම උණ සහ කුඩා ළමයින්ගේ ලෙඩවලටත් ඉතා හොඳ බේතක් තමයි ඉගුරු.

ඒ වගේම ආහාර රසවත් කිරීමට සහ රුචිය ඇති කරලීම සදහා බෙහෙවින් යොදාගනු ලබන කුළුබඩු වර්ගයක් තමයි ඉඟුරු. කියන්නේ

ආයුර්වේදයෙ තිකුළු, ත්‍රිකටු, ත්‍රියුෂ්ණ යන නාමයන්ගෙන් හඳුන්වන ඖෂධ ගණයේ ප්‍රධාන ඖෂධය වන්නේත් ඉඟුරු යි.

අනෙක් ද්‍රව්‍ය දෙක වන්නේ ගම්මිරිස් සහ තිප්පිලි.”

“එතකොට වෙද මහත්තයෝ ඉඟුරු කියන්නේ හොඳ ඖෂධයක් නේ. ඉඟුරු හැදෙන්නේ අපේ රටේ විතරයිද .”

“ඉඟුරු විශේෂයෙන් ශ්‍රී ලංකාවෙ පහත රට තෙත් කලාපයේ හොඳින් වැවෙනවා. බොහෝ විට ගෙවතු වගාවක් ලෙසත් මෙය කරනු ලබනවා. දේශීය වශයෙන් ගත්තාම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලත්, අප්‍රිකා, ( සියාරා ලියොන් ) ජැමෙයිකා, කොචින, ජපන් ආදී, රටවල සහ ප්‍රදේශවල ඉඟුරු හොදින් වැවෙනවා. ඉඟුරුවල නිජබිම ලෙස සලකනු ලබන්නේ පැසිපික් දූපත් .

ඒ වගේම ඉඟුරු පැළෑටියේ ස්වරූපය සැලකුවාම කෙලින් වැඩෙන ආකාෂ්ඨීය පැළෑටියක්. එසේම පස යට වැඩෙන සුවඳවත් රසෝමයකින් (අලයකින්) යුක්‍තයි.

කඳක් වගේ පෙනෙන කොටස් පත්‍රවලින් සෑදුණු ව්‍යාජ කඳකින් යුතු මෙය නාලාකාර කොටසක්. පත්‍ර ද්විපාර්ශ්විකයි. පත්‍රවල අග ඉතා තියුණු යි. නටු රහිත මල් පොකුරු විදියට හටගන්නා අතර මල් පෙති ක්‍රීම් පාට පුල්ලි සහිතව අඳුරු දම් පාටින් යුතුයි. ඒවායේ තද දම් පාට රේණු තියෙනවා.

මෙවන් ස්වරූපයකින් යුතු ඉඟුරුවල වියළි සහ අමු අල ඖෂධ සඳහා විශේෂයෙන් යොදා ගනු ලබනවා. එසේම ඉඟුරු ගසේ කොළ ගොබ සහ මුල් ආදියත් කලාතුරකින් ඖෂධ සඳහා යොදා ගනු ලබනවා.”

“එතකොට වෙද මහත්තයෝ ඉඟුරුවලට කියන වෙනත් නම් මොනවාද?”

“වියළි ඉඟුරු සඳහා සංස්කෘත භාෂාවෙන්

ඖෂධ, නාගර, ශුණ්ඨී, විශ්ව, විශ්වෞෂධ..විශ්වා, විශ්වභෝෂජ සහ මහෞෂධ කියන නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන් සොංඨ යනුවෙන්ද

දෙමළ භාෂාවෙන් ශුක්කු යන නාමයද යෙදෙනවා .

ඉංග්‍රීසි භාෂාවෙන් Dry Ginger නම යෙදෙනවා .

අමු ඉඟුරු සදහා සංස්කෘත භාෂාවෙන්

ආර්ද්‍රක සහ ශෘංගවේර නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන් ආදරක් සහ ආදිරබ ලෙසත් දෙමළ භාෂාවෙන් පච්චිංජි සහ ඉන්ජි යන නම් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන් Fresh Ginger ,ලෙස හඳුන්වනු ලබනවා .

ඉඟුරු වල උද්භිද විද්‍යාත්මක නාමය

Zingiber officinale Rose වන අතර

කුලය ZINGIBERACEAE  හෙවත් හරිද්‍රා කුලයයි.”

“එතකොට වෙද මහත්තයෝ ඉඟුරුවල වර්ග කීපයක් තියෙනවාද?”

“ඔව්. ඉඟුරු ප්‍රභේද කීපයක් ම තියෙනවා

1අප්‍රිකානු ඉඟුරු

2කොචීන් ඉඟුරු

3කල්කට් ඉඟුරු --Race Ginger

4කැලිකට් ඉඟුරු --Lemon Ginger 

5ජැපනීස් ඉඟුරු -Zingber Mioga Rose

වශයෙන්

සාමාන්‍යයෙන් ඉඟුරු මාර්තු අප්‍රේල් කාලයේ සිටවන අතර ගස් මැරෙන කාලයේ එනම් දෙසැම්බර් ජනවාරි කාලයේ අල උගුලනු ලබනවා.”

“ඉඟුරුවල තියෙන ගුණා ගුණ මොනවාද වෙද මහත්තයෝ?”

“වියළි ඉඟුරු රසයෙන් කටුක ද

ගුණයෙන් ලඝු හා ස්නිග්ධ ද වෙනවා

වීර්‍යයෙන් උෂ්ණ හා විපාකයෙන් කටුකයි.

අමු ඉඟුරු රසයෙන් කටුක ද

ගුණයෙන් ගුරු රූක්ෂ හා තීක්ෂ්ණ ද වෙනවා. වීර්‍යයෙන් උෂ්ණ සහ විපාකයෙන් මධුර යි. මෙ නිසා සෙම සහ වාතය සමනය කරනු ලබනවා.

ඉඟුරු ඖෂධ සදහා යෙදීමේදී

ශීත සමන ඉදිමුම් නසන සහ වේදනා සමන ගුණ යුතු නිසා ආමවාත, සන්ධි ඉදිමුම් ආදියේදී ආලේපයක් ලෙස යොදා ගනු ලබනවා .

එසේම ඉඟුරු පිටි, සහ තලතෙල් අනා ආලේපයද මේ සදහා සුදුසුයි.

එසේම ඉදිමුමේදී

ඉඟුරු චූර්ණය ඉලීම ද හොඳයි

ඒ වගේම ස්නායු පෝෂක සහ වාත සමන ගුණ යුතු නිසා සියලුම වාත රෝග සදහා ඉඟුරු හොඳයි .

එසේම අරුචි නසන, බඩගිනි වඩන, පිත් සමන වේදනා සමන, අර්ශස් නසන ගුණ යුතු නිසා ආහාර අරුචිය..බඩගිනි අඩුකම අජීර්ණ.සෙංගමාල (කාමලා) අර්ශස්..ආදියට ගුණ වන අතර බඩගිනි අඩුකමේදී සහ අරුචියේදී ආහාර ගැනීමට පෙර ලුණු සමඟ අමු ඉඟුරු කෑම ඉතා හොඳයි.

එසේම හදවත් දුබලතා....හදවත් වේදනා .ආදියටද ඉතා ගුණදායකයි.

එසේම සෙම සහ ඇදුම නසන ගුණ ඉඟුරු වල පවතින නිසා ප්‍රතිශ්‍යාය කැස්ස ඇදුම හික්කා.ආදියට හොඳයි ඒ වගේම ඉඟුරු වල වාජීකරණ ගුණත් පවතිනවා .

සන්නිපාත උණේදී.

ඉඟුරු, ගම්මිරිස, තිප්පිල, සහිද ලුණු චූර්ණය ඉඟුරු යුෂ සමඟ ගෙන කටේ පුරවා උගුර සෝදා සෙම කාරා දැමීම සුදුසු යි.

ආම අතීසාරයට

ඉරිවේරිය, අමු ඉඟුරු තැම්බූ වතුර බීම හොඳයි

වමනයට

දෙහි ඇඹුල්වලට ඉඟුරු ඉස්ම මීපැණි දමා බීම ඉතා හොදයි.

අජීර්ණයට

අමුඉගුරු ඉරිවේරිය තම්බා බීම හෝ අමු ඉඟුරු ඉස්ම සහ දෙහි ඇඹුල් කලවම් කර් බීම හොඳයි

කට පිරිසිදු වීමට

ඉඟුරු ඉස්ම සහ දෙහි ඇඹුල් දෙවර්ගය කටේ ආලේප කරනු ලබනවා

ලේ යන අතීසාරයට

ඉඟුරු ඉස්ම, ඉරිවේරිය සහ කලාඳුරු යුෂ සමඟ යොදනු ලබනවා

ළදරු රෝග සදහා

ඉඟුරු ඉස්ම මවුකිරි, සහ මීපැණි සමග දෙනු ලබනවා

කැස්සට

ඉඟුරු ඉස්ම මීපැණි සමඟ මිශ්‍ර කර තේ හැදි 2 බැගින් දිනකට 4 වරක් පමණ බීම ගුණදායකයි.

සන්ධි වේදනාවට

ඉඟුරු ඉස්ම සහ අඹ තෙල් සම ප්‍රමාණ ගෙන විනාඩි 5 ක් පමණ රත්කර වේදනා සහිත සන්ධිවල ආලේපයත් ඉතා ගුණදායකයි” යනුවෙන් වෙද මහතා ඉඟුරුවලින් ඇති ප්‍රයෝජන පෙන්වා දුන්නේය

“එතකොට වෙද මහත්තයෝ ඉඟුරු අඩංගු අනෙකුත් ඖෂධ යෝග මොනවද?”

“ඉඟුරු අඩංගු ඖෂධ යෝග රාශියක් තියෙනවා

එයින් ආර්ද්‍රක ඛණ්ඩය, ආර්ද්‍රක ලේහය, ශුණ්ඨී ඝෘතය, ශුණ්ඨ්‍යාදී චූර්ණය, නාගර පානය, ශුණ්ඨී සෘතය ආදිය ප්‍රධාන වෙනවා.

ඊට අමතරව ත්‍රිකටුකාදිය් තිකුලු හිංගු ආදි කෂාය නාගරාදී කෂාය, ශුණ්ඨී බලාමෘතාංදිය, ශුණ්ඨී දාරු ආදි කෂාය ආදිය ප්‍රධාන වෙනවා

මෙයට අමතරව

ශුණ්ඨී සුරාසවය, දාරුපර්පටාදී ක්වාථය

ශුණ්ඨ්‍යාදී චූර්ණය ආදියත් ඉඟුරු අඩංගු සංස්කාරික ඖෂධයි. මේ ආදි වශයෙන් ඖෂධ යෝග රාශියක් ඉඟුරු සහිතව තිබෙන අතර ආහාරමය වශයෙනුත් ප්‍රයෝජන රැසක් තියෙනවා .

ඒ අතුරින් ඉඟුරු දෝසි ඉතා රසවත් දේශීය රස කැවිල්ලක් එසේම තේ සහ කෝපිවලටත් ඉඟුරු මිශ්‍ර කර බීමෙන් රසය වගේම ගුණයත් ඉතා ඉහළයි. ඉතින් මුදලාලි මහත්තයෝ ඉඟුරු කියන්නේ ඉතා වටිනා ඖෂධයක් වගේම ආහාරමය ගුණයෙන් ඉහළ ද්‍රව්‍යයක්.

ඒක නිසා මුදලාලිට තියෙන අජීර්ණය ඇතුළු සියලුම ආබාධ මම කියපු විදියට ,ඉඟුරු පාවිච්චි කලාම ඇරිල යාවි” යනුවෙන් පැවසූ වෙද මහත්මයා කතාව නිමා කළේය .

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.