පුරුෂ ශක්තිය වඩන තායිලන්ත ඉඟුරු සුප්

මාර්තු 8, 2024

හීන් අරත්ත යනු ඉඟුරුවලට සමාන අල වර්ගයකි. එය තායිලන්න ඉඟුරු ලෙස ප්‍රසිද්ධව ඇත. බොහෝ දුරට හීන් අරත්ත ආසියාතික ආහාර සඳහා භාවිතා කරන අතර තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, වැනි රටවල ආහාර සැකසීම සඳහා විශේෂයෙන්ම මෙය භාවිතා කරයි.

ඖෂධීය වටිනාකම

ඈත අතීතයේ ලංකාවේ ආහාර සැකසීම සඳහා අරත්ත යොදා ගත්තද අද ලංකාවේ භාවිත කරන්නේ දේශීය ඖෂධ වර්ග සඳහා පමණි. එනිසා එය ආහාර සඳහා භාවිත කරන බව දන්නේ සුළුතරයක් පමණි. හීන් අරත්ත ආහාර සඳහා යොදා ගැනීමෙන් එය ඖෂධීය වටිනාකම මනාව ප්‍රයෝජනයට ගැනීමට අපේ මුතුන්මිත්තෝ දැන සිටියහ.

රෝග සමනය

හෘදරෝග සමනයට, ලේවල සීනි සඳහා, සන්ධිගත අමාරු සඳහා, ශරීරය ආරක්ෂා කරන විෂබීජ නාශකයක් ලෙස, ආහාර ජීර්ණය සඳහා, ශරීරයේ අග්නි බලය ඇති කිරීම වැනි කාරණා සඳහා මෙන්ම පුරුෂ ශක්තිය වැඩි කිරීම සඳහා ද හීන් අරත්ත භාවිතා කිරීම සිදුවෙයි.

ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

හීන් අරත්ත වතුරේ තැම්බීම, වාෂ්පයෙන් තැම්බීම ඔස්සේ ආහාර පිසීමේ දී භාවිතයට ගත හැකිය. කැබලිවලට කපා වේළා කුඩු කර ගැනීම මඟින් මෙන්ම තලපයක් සාදා ශීතකරණයේ තබා ගැනීමෙන් ආහාර පිසින විට මෙය භාවිතා කළ හැකිය. අරත්ත අල රැගෙන හොඳීන් පිරිසුදු කර බ්ලෙන්ඩරයට දමා තල හෝ පොල් තෙල් මිශ්‍රකර හොඳීන් අඹරා බෝතලයකට දමා ගත හැකිය.එසේ සාදාගත් විට පහසුවෙන් සුප්වලට , බැදුම්වලට, ව්‍යාංජනවලට එක්කර ගත හැකිය. තැම්බුම් හොදි සඳහා ද භාවිත කළ හැකිය.

 

හීන් අරත්ත යෙදු රසවත් සුප්

(6 දෙනකු සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය-

දිගට කපාගත් කැරට් අල 2ක්

දෙකට කපාගත් බෝංචි කරල් 12ක්

බණ්ඩක්කා කරල් 12ක්

තම්බාගත් නූඩ්ල්ස් ( අවශ්‍ය පමණ)

ඇල් වතුර හෝ එළවළු තැම්බූ වතුර කෝප්ප 5/6ක්

කුඩාවට කපාගත් සේර කැබැල්ලක්

තල තෙල් ස්වල්පයක්

දෙහි කොළ 4ක්

කපාගත් රතු මිරිස් කරල් 2ක්

රස අනුව ලුණු

තලාගත් සුදුළුණු බික් 4ක්

සියඹලා ස්වල්පයක්

හීනියට කපා ගත් අගලක පමණ හීං අරත්ත

අල කැබැල්ලක්

කපාගත් හතු කෝප්පයක්

ලූණු කොළ කෝප්පයක්

මුරුංගා කොළ ස්වල්පයක්

කරපිංචා

රම්පේ

උකු පොල්කිරී කෝප 1ක්

සීනි හැදි 1ක්

කොත්තමල්ලි කුඩු තේ හැඳී 1ක්

මිරිස් කුඩු තේ හැඳී 1ක්

සූදුරු කුඩු තේහැඳී 1ක්

කහ කුඩු තේ හැඳී කාලක්

සාමාන්‍ය කොටු හැඩයට කපාගත් ටෝෆු කෝප්ප1ක්

සකසන ක්‍රමය-

එළවළු තම්බා ගන්න. හාල්පිටි නූඩ්ල්ස් අවශ්‍ය ප්‍රමණය ගෙන තම්බා ගන්න. ටෝෆු කුඩාවට කොටු කපා ගෙන තෙල් ස්වල්පයකින් යම්තම් බැඳ ගන්න. මේවා පසෙකින් තබන්න.

සුප් එක පිළියෙල කිරීම සඳහා පිරිසුදු භාජනයක් ගෙන එය ලිප තබා තල තෙල් ස්වල්පයක් දමා එය රත්වන විට කරපිංචා, රම්පේ, සේර , හීන් අරත්ත, දෙහි කොළ, මිරිස්, සුදුළුණු, සීනි, කොත්තමල්ලි, මිරිස් කුඩු, සූදුරු කුඩු, කහ කුඩු, ඉහත දක්වන ලද ප්‍රමාණයන්ගෙන් ගෙන එක් කරන්න. විනාඩි 3ක් පමණ මෙය තෙම්පරාදු කරන්න. ඉන්පසුව එයට කපාගත් හතු කෝප්පය එකතු කරන්න. එයටම වතුර හෝ එළවළු තුම්බු වතුර කෝප් 5 එකතු කර විනාඩි 10-ක් පමණ හොඳීන් අඩු ගින්දරේ ලිප තබා පිසගන්න. පසුව මෙයට පොල් කිරි කෝපපය ද එකතු කර රස අනුව ලුණු එකතු කර ගන්න. මෙය පිස ගත් පසු රස්නෙන්ම සුප් එක පහත සඳහන් ආකාරයට පිළිගන්වන්න.

පළමුව සුප් කෝප්ප ගෙන එක් අයෙකුට අවශ්‍ය පමණ නූඩ්ල්ස් එයට එක්කරන්න. ඉන්පසු එයට රස්නය පිටින් සකසා ගත් සුප් අවශ්‍ය පමණ යොදන්න. එයට තම්බාගත් එළවළු, කපාගත් ලූණු කොළ, මුරුංගා කොළ, කොටු කපාගත් ටෝෆු උඩින් දමා දෙහි පෙති 2ක් 3ක් කපාගෙන එයින් සරසා ගෙන පිළිගන්වන්න.

උපදෙස්-

යුරෝපයේ පුහුණුව ලද ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්නතුෂාරි නේරංජා වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.