ආහාර ලොව යකඩ රැජන

අප්‍රේල් 19, 2024

 

මේ දිනවල කෙසෙල් මුව බහුලයි. එනිසා කෙසෙල් මුව අහක නොදමා රසවත් මෙන්ම ගුණවත් කෑම වර්ග තුනක් කෙසෙල් මුවවලින් හදාගන්න ආකාරය අද අපි කතා කරමු.

සාමාන්‍යයෙන් කෙසෙල් මුව සැකසීමේ දී බොහෝ දෙනෙක් කෙසෙල් මුවේ ඝනකම් පෙති ඉවත් කර දමනවා. එහෙත් එමඟින් රසවත් කෑමක් සකසා ගන්නට පුළුවන් බව ඔබ දන්නවාද?

මුලින්ම කෙසෙල් මුවයක් රැගෙන එහි ඝනකමට ඇති පෙති ටික වෙනම කඩාගන්න. පෙති හතරක් පහක් පමණ.

දැන් ඝනකම පෙති ටික කුඩා කොටු හැඩේට කපන්න. පෙති එකක්වත් විසි කරන්න එපා. කපාගෙන වතුර භාජනයක් ලිප තබා කහ ලුණු එකතු කර තම්බා පෙරාගන්න. පසුව තෙල් ස්වල්පයක් ලිප තබා එයට අබ, කරපිංචා, රම්පේ, සේර කැබැල්ලක් හා වියළි මිරිස් කරල් දෙකක් හෝ තුනක්, කඩල පරිප්පු තේ හැන්දක් එකතු කර බැදෙන්නට හරින්න. ඒ මිශ්‍රණයට තම්බාගත් කෙසෙල් මුව එකතු කරගන්න. ඉන්පසු මේ මිශ්‍රණයට ගාගත් පොල් කෝප්පයක්, පොඩි හකුරු කැබැල්ලක්, තේ හැන්දක ප්‍රමාණයේ සියඹලා ගුලියක්, එකතු කර බ්ලෙන්ඩර් එකට දමා හොඳීන් බ්ලෙන්ඩ් කරගන්න. පේස්ට් එකක් වෙනතෙක්.

පසුව ඒ පේස්ට් එක නොහොත් ක්‍රීම් එක දීසියකට දමන්න. නැවත කරපිංචා පොඩියට කපා ගන්න. රම්පෙ පොඩියට කපාගන්න. ලූණු ස්වල්පයක් පොඩියට කපාගෙන කඩල පරිපු චුට්ටක් තෙම්පරාදුට දමා අබ චුට්ටකුත් සමඟ හොඳට නැවත තෙම්පරාදු කරගන්න. ඉන්පසු අප සකසා ගත් ක්‍රීම් එක උඩට මේ තෙම්පරාදු කරගත් මිශ්‍රණය දමා ගන්න. මෙය පාන් සමඟ, සැන්විච්වලට, පෑන්කේක් සඳහා භාවිතයට ගත හැකිය.

 

මල්රේණු බැඳුම

කෙහෙල් මුවෙහි මල්රේණු ද වෙනම කඩාගන්න.

පසුව කුඩා මල්වල මැද රේණුව කඩා ඉවත් කර මල් ටිකසෝදා වතුර බේරෙන්නට තබන්න.

පසුව මී කිරි ස්වල්පයක් සහ මීකිරිවලින් උනණ (මෝරු) වතුර හොඳින් මිශ්‍ර කරගෙන එයට අප සෝදා පිරිසිදු කරගත් මල් රේණු ටික දමා විනාඩි දහයක් විතර පෙඟෙන්න තබන්න. භාජනයක් රැගෙන එයට පාන්පිටි කෝප්පයක් කෝන් ෆ්ලවර් කෝප්පයක් කහ කුඩු ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් තුන පහ කුඩු සවල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද ලුණුද ඉඟුරු, සුදුලූණු පේස්ට් තේහැදි භාගයක් පමණ දමා ගන්න. ඉන්පසු එයට පිටි මැන ගත් කෝප්පයෙන්ම වතුර ටිකක් පදම අනුව එකතු කර බැටර් එකක් විදියට සකසා ගන්න.

මී කිරිවල පොඟවා ගත් මල් රේණු ටික ගෙන එහි වතුර ටික බේරුණු පසුව සකසාගත් බැටර් එකට මල් රේණු දමා හොඳීන් අතින් හැමතැනම ගෑවෙන ලෙස මිශ්‍ර කරගන්න. පසුව එසේ සකසා ගත්ත මල් රේණුූ ගැඹුරු තෙලේ බැදගන්න. රන්වන් පාට වනතුරු එනම් ක්‍රිස්පි වන තෙක් බැඳ ගන්න. සෝස් සමඟ ආහාරයට ගැනීමෙන් රසවත් බව වැඩිවේවි.

 

කෙසෙල්මුව මැල්ලුම

කෙසෙල්මුවේ මැද කොටස (පෙති ගලවන්න බැරි කොටස) හීනියට ලියාගන්න. කහට නොපිපෙන්න දෙහි සහ කහ එකතු කළ වතුරට දමා ගන්න. වතුර එකක් ලිප තබා උතුරන විට හීනියට ලියා ගත් කෙසෙල් මුවේ මැද කොටස එකතු කරගන්න. එකතු කරගෙන විනාඩි දහයක් පමණ තම්බාගන්න. විනාඩි දහයක් තම්බා ගත් කෙසේමුවෙහි ජලය පෙරාගන්න. පසුව තෙල් ස්වල්පයක් ළිප තබා කරපිංචා, ඉඟුරු, සුදුලූණු ලුණු අමු මිරිස් කරල් තුනක් පමණ එකතු කරගන්න.

එය රන්වන් පාට වෙනකම් බැදුණ විට තම්බා පෙරා ගත් කෙසෙල් මුව ටික එකතු කර විනාඩි පහක් පමණ මඳගින්නේ වසා ලිප මත තබන්න. පසුව එයට ගා ගත් පොල් ස්වල්පයක් එකතු කර ලුණු ද එකතු කර කලවම් කර විනාඩියක් පමණ මළවා ලිපෙන් බා ගන්න. ඉන්පසු දෙහි යුෂ එකතු කරගන්න. අවශ්‍ය නම් ඔබට ගම්බිමිරිස් ස්වල්පයක් ද එකතු කරගත හැකිය.

 

කෙසෙල් මුවවල ගුණ

ආහාර ලෝකයේ යකඩ රැජින ලෙස විරුදාවලි ලබන්නේ කෙසෙල් මුවයි. පැරැන්නන් අතර කෙසෙල් ඉතා පෝෂ්‍යදායී ආහාරයක් විය. නවතම සොයාගැනීම්වලට අනුව කෙසෙල් මල් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 56.4ක් පවතින බව සොයාගෙන ඇත. එනම් කිරිදෙන මවකට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගැනීමට කෙසෙල් මල් ග්‍රෑම් 50ක් පමණක් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙයි. දියවැඩියා සහ තරබාරු බව පාලනය කිරීමට ද කෙසෙල් මල මෙන්ම කෙසෙල් ගසේ පොත්ත ද සුවිශේෂී ලෙස ක්‍රියා කරන බව සොයාගෙන ඇත.

ඔසප් වීමේදී වේදනාව සහ සමහර කාන්තාවන්ට අධික ඔසප් රුධිර වහනයක් ඇතිවීම කෙසෙල්මල් ආහාරයට ගැනීමෙන් වළකාගත හැකිය. යෝගට් සමඟ පිසින ලද කෙසෙල් මල් ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩි කර රුධිර වහනය අඩු කරන බව සොයාගෙන ඇත. පිළිකා සහ හෘද රෝග වළක්වන කෙසෙල් මල මව්වරුන්ගේ මව්කිරි ශ්‍රාවය වැඩි කිරීමට ද උපකාරී වේ. වයසට යාම මන්දගාමී කරයි. ආහාර ජීර්ණ ගැටලු සමනය කර ආමාශයික අම්ල ස්‍රාවය ඵලදායී ලෙස උදාසීන කරන අතර අජීර්ණය, වණ සහ වේදනාව සඳහා සහනයක් සපයයි.

 

උපදෙස්

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.