රටේ ප්‍රශ්නවලට හේතුව රාහු අපලයද?

නොවැම්බර් 17, 2023

වර්තමානයේ අප රටේ ආර්ථික හා සාමාජීය වශයෙන් කඩාවැටීමකට ලක්ව ඇත. මෙයට හේතු භූත වන ඡ්‍යොතිෂ කරුණු පිළිබඳ කතිකාවක් ගොඩ නැඟී නැති සේය. ඒ අනුව ඇත්ත වශයෙන්ම ඡ්‍යොතිෂ්‍ය ළැදි ජනතාවට ඒ පිළිබඳ යමක් දැන ගැනීමට මේ වෙලාවේ හැටියට ලොකු ආශාවක් ඇති බවට කිසිදු සැකයක් නැත. ඒ පිළිබඳ කෙටියෙන් යමක් ලියා දැක්වීම මෙහි අරමුණ වේ. ලිපියෙහි විග්‍රහ කෙරෙන කරුණු පිළිබඳව අවබෝධ කර ගැනීමට ලංකාවේ ජන්ම ලග්නය අවශ්‍ය හෙයින් එය පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා පහත දක්වා ඇත.

දක්වා ඇති ලංකා කුම්භ ලග්න කේන්දරය ගොඩනඟා ඇත්තේ 1948.02.04 දින උදේ 07.30 නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වන හෙන්රි මේසින් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් වේලාව පදනම් කරගෙනය. ඒ අනුව එකී වේලාවට කුම්භ ලග්නය සහ ධනු නවාංශකය උදා වී තිබුණු අතර අනුර නැකතේ 4වැනි පාදය උදා වී තිබුණු හෙයින් ශනි මහ දශාව ඉදිරියට වර්ෂ 2යි මාස 4යි දින 2ක්ව තිබිණි.

ඉහත කේන්දරයේ දශා ශේෂය අනුව 2017.06.26 වැනි දින ලංකාවට රාහු මහ දශාව ලැබූ අතර රාහු මහ දශාවේ රාහුගේ අන්තර් දශාව 2020.03.08 දක්වා පැවතුණි. මේ වන විට රාහුගේ සෙනසුරු අතුරු දශාව පවතින අතර එය 2025.06.08 දක්වා පවතිනු ඇත. මේ අනුව මෙකී රාහු මහ දශාව ලබන එම ජන්ම සහ සූර්ය ඒරාෂ්ටක අපලයක් ලබා තිබීම නිසාත් දැනට සූර්ය ඒරාෂ්ටක අපලයත් සමඟ ලග්න ඒරාෂ්ටක අපලයත් ලබා තිබීම හේතු කොටගෙන 2017.06.26 වැනි දා සිට මේ වන වෙත් මෙරට ආර්ථිකම සමාජීය ආදි වශයෙන් පිරිහීමට පත් වන දෑ සිදුවූ අතර ඒවා රාහුට කාරක වන සිදුවීම් නිසා දැනට ලංකාවට රාහු මහ දශාව සමඟ රාහු අපලය ලබා ඇති බව පෙන්නුම් කරන සිදුවීම් වේ. ඒ අතර එම සීදුවීම් රාහුට කාරකත්වයක් දරන සිදුවීම් බවට කරුණු පැහැදිලි කිරීමට ප්‍රථම මෙකී රාහු දශාව සමඟ රාහු අපලයත් තියෙනවාද යන්න ප්‍රථමයෙන් පැහැදිලි කර ගත යුතු වන්නේ ය. ඒ අනුව රාහු ලංකා කේන්දරයේ උපස්ථානයක් වන 3 වැන්නේ ය. සඳුගෙන් ද මෙකී රාහු උපචය භාවයක් වන 6 වැන්නේ ය. එහෙයින් රාහුගේ පිහිටීම ලග්න චන්ද්‍ර ලග්නයේ ශුභ ලෙස පෙනුණත් ස්ථාන බලයෙන් එනම් ලග්න නවාංශක දෙකේ සතුරුව සිටීම සහ සිකුරු, රවි, ශනි යන ග්‍රහයන් යෝග වීම අඟහරුගෙන් රාහු පාප පීඩිත වීම යනාදී කරුණු ගැන සලකා බලන කල රාහු ඉතා දුර්වලව සිටින නිසා එතැනදී රාහු මහ දශාවත් සමඟ රාහුගේ අපල ක්‍රියාත්මක වී ඇති බව අවබෝධ කර ගත හැකිය. ඒ අනුව ලංකාවට දැනට රාහු මහ දශාව සමඟ රාහුගේ අපලය ලබා ඇති බව පැහැදිලිය. දැන් අපි එකී රාහුගේ අපලය හේතු කොටගෙන මෙතෙක් සිදුවූ රාහුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන කරුණු මොනවා ද යන්න පිළිබඳ කරුණු පැහැදිලි කර ගනිමු. ඒ අනුව රාහුගේ රාහු අන්තර් දශාවේ (එනම් 2017.06.26 සිට 2020.05.08 දක්වා පැවැති) සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දැක්විය හැකිය. මුස්ලිම් වැසියන් සහ ත්‍රස්තවාදීන් රාහු නිවේදනය කෙරෙන හෙයින් එතැනදි ලංකාවට රාහු අපලය ක්‍රියාත්මක වී ඇති බව පෙන්නුම් කෙරෙන එක් සාධකයක් වන්නේ ය. එමෙන් මෙකී කාල සීමාව තුළ රාහු කාරකත්වයත් දරන පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වය වැඩිවීම මත්ද්‍රව්‍ය විශාල වශයෙන් සංසරණය වීම, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැඩිවීම, මෙකී රාහු කෙටි ගමන් ගැන කියැවෙන 3 වැන්නෙහි පීඩාවී සිටීම නිසා යතුරු පැදි ත්‍රිරෝද භාවිත කරමින් රට තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදු කිරීම දැක්විය හැකිය. රාහු යතුරුපැදිවලට කාරක ග්‍රහයෙක් නිසා රට තුළ යතුරු පැදි භාවිතය ඉහළ යෑම, යතුරු පැදි භාවිතයට ගනිමින් පාතාල කල්ලි බිහි වී සිදු කෙරෙන මිනිස් ඝාතන සහ සොරකම් වැනි සිද්ධීන් මඟින් රාහු ග්‍රහයාගේ අශුභ ඵල විපාක රාහුගේ අපල ලංකාවට බලපා ඇති බව පෙන්නුම් කෙරෙන දෙවෙනි සාධකය වන්නේ ය. තෙවෙනි සාධකය වන්නේ කොවිඩ් වසංගතයයි. සිව්වැනි සාධකය වන්නේ 2020.03.08 සිට 2022.08.02 දක්වා පැවති රාහුගේ ගුරු අන්තර් දශාවේ ආගමික නායකයන්ගේ නායකත්වය යටතේ රාජ්‍ය විරෝධි කැරැල්ලක් ඇතිවීමයි. ගුරු ආගමික නායකයන් නිවේදනය කෙරෙන අතර, රාහු කැරලිකරුවන් නිවේදනය කෙරේ. එම කැරැල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස හිටපු රාජ්‍ය නායකයාට තම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිණි. ඒ අනුව 2017 සිට මේ වනතෙක් පසුගිය වර්ෂවලදී සිදුවූ සිදුවීම්වලට රාහු ග්‍රහයා බලපා ඇති බව පාඨක ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමි.

මේ ලියන මොහොත වන විට රාහුගේ ශනි අන්තර් දශාව ලබා තිබෙන අතර, දෙදෙනාම අගහිඟකම් නිවේදනය කෙරෙන භාවයක් බැවින් රටෙහි ජනතාව අගහිගකමින් පීඩා විඳිමින් සිටිනු දැකිය හැකිය. එසේම දේශපාලනය පිළිබඳව ද ජනතාව වෙනස් ආකාරයකින් දකිනු පෙනේ. ඒ අනුව 2025.06.08 රාහු මහ දශාවේ බුධ අන්තර්දශාව ලැබීමට ප්‍රථම දේශපාලනයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇති වන අතර 2025.06.08 දිනෙන් පසු ලබන රාහු ගේ බුධ, කේතු, සිකුරු අන්තර් දශාවලදී දැනට වඩා යහපත්, ආර්ථික සමාජීය තත්ත්වයක් රට තුළ වර්ධනය වන නමුත්, රාහු මහ දශාවේ අවසන් අතුරු දශා අධිපතියන් වන රවි 12 වැන්නෙහි සතුරු බැවින් සඳු 6 වැන්නාධිපති වෙමින් 10 වැන්නෙහි නීච කුජ, රාහු, සතුරු බැවින් රට තුළ ආර්ථික හා සාමාජ දේශපාලනමය වශයෙන් අසමගිතාවයක් ද ඇති විය හැකිය. එයට පාතාලයේ ක්‍රියාකාරීත්වය හේතු වනු ඇත. ඒ අනුව රාහු මහ දශාව අවසානයේදී මත්ද්‍රව්‍ය භාවිතය පාතාල කණ්ඩායම්වල බලපෑම විශාල වශයෙන් වර්ධනය වන්නේ හරියට ලංකා කේන්දරයේ සුළු ජාතීන් නිවේදන කෙරෙන 6 අධිපති සඳු නීචව 10 වැන්නේ යෙදීමෙන් රට තුළ ඊළාම් ත්‍රස්තවාදීන් ඇති කළ ව්‍යසනය හා සමාන වන අයුරිනි. 2035.06.28 ලැබෙන ගුරු මහ දශා ගැන කරුණු විමසා බලන කල ගුරු ලංකා කේන්දරයේ බලවත් වන හෙයින් ගුරු නීතිය නිවේදනය කෙරෙන ග්‍රහයෙක් වන හෙයිනුත් එ තැනදී රට තුළ නීතියේ අධිපතියා නිසි ලෙස ක්‍රියාත්මක වීම නිසා පාතාල කල්ලිවල ක්‍රියාකාරකම් නතර වන අතර මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස අඩු වී රට තුළ ක්‍රියාත්මක වන අනෙක් දූෂණ නීති විරෝධී ක්‍රියා නතරවී ලංකාව ආසියාවේ දියුණු රටක් බවට පත් වන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.