ගොරකා වරුණ

පෙබරවාරි 23, 2024


අඩි පනහක් හැටක් පමණට උස වැඩෙන
හැඩි දැඩි ගසක් වේ සරුවට පල දරන
වැඩියෙන් කොළ ගැවැස කොළ පැහැයෙන් දිලෙන
ගෙඩි ලස්සනයි දැකුමට ඇස පිය වඩන

හඳුනා ගන්න එක් වරිගෙකි මල් ගොරකා
පෙනෙනා අනෙක් වරිගය වේ රතු ගොරකා
කියනා තවත් වරිගෙකි එය එළ ගොරකා
වටිනා කමෙන් ඉහළය මේ සැම ගොරකා

ගෙඩි හිඟ වුනත් මල් අඩු නැති මල් ගොරකා
වැඩියෙන් මල් දරයි අඩු පාඩුව වළකා
පොඩි මල් දිලේ ගස වටකර සැම විටෙකා
ගෙඩි හිඟ වුණත් අගයක් ඇත මල් ගොරකා

කහ පැහැයෙන් දිලෙන එළ ගොරකා ගෙඩියේ
සුදු පාටක් රැඳී ඇත ඇතුළත මදයේ
රතු මද පිරුන සරු රතු ගොරකා ගෙඩියේ
දුටු විට ඇස පිනයි අන් සැමටම වැඩියේ

දාර දාර එක් වී හැඩවන ගොරකා
වාර නොමැත අගනා ඔසුවකි නිසැකා
සාර කරන එළවළු මාළු ද නොයෙකා
නෑර ගොරක ගත යුතුවේ සැම විටෙකා

ගෙඩිද කොළද මුල් පොතු බෙහෙතට ගැනෙන
අමිල ගුණය ඇති නො අඩුව රස රැඳුණ
රසය පිණිස රස කාරක ලෙස යොදන
බලනු මැනවි එහි ඇත අගයන් නිතින

ලේවල තෙල් නසන බලයක් ඇති ගොරකා
තරබාරුව මකයි සිරුරෙහි හැඩ සලකා
ගෙන දෙන සනීපය ඇති බාදක වළකා
අගයෙන් ඉහළ ඔසුවකි මේ සැම ගොරකා

ලේ වල සීනි අඩුකර ගෙන දේ සැපත
මේදය නසා වළකයි සිරුරෙහි විපත
මේ ලෙස සිතා බැලුවොත් විමසා අනත
ගොරකාවල ගුණය ගැන ඒකයි ඇත්ත

ගොරකාවලට වැඩියෙන් මිහිරිය වරකා
වරකාවලට වැඩියෙන් ගුණ දෙයි ගොරකා
සොඳිනා විමසුවොත් එහි ඇත ගුණ නොයෙකා
සලකා බලන විට වැටහෙයි එය නිසැකා



 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.