ලිංගික ශක්තිය වඩන වඳුරු මෑ

පෙබරවාරි 2, 2024

දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රංගන පාසලෙන් ඉවත් වූ පසු පෞද්ගලික බැංකුවක රැකියාවක නියුතු වූ අතර එයට අමතරව ක්‍රීඩා සමාජයකට බැඳි ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත විය. මෙසේ කාලයක් ක්‍රීඩා කරගෙන යන අතර කලකදී ඔහු ශාරීරික දුබලතා රැසකින් පෙළෙන්නට විය.

පෙර මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන විට දැඩි මහන්සිය මෙන්ම ශරීරයේ දුර්වල බවද දැනෙන්නට වූ නිසා මේ පිළිබඳව තම මිතුරකු වූ සිසිල්ට කරුණු ඉදිරිපත් කළේය .

සිසිල් මට දැන් වෙනදා වගේ සෙල්ලම් කරන්න අමාරුයි. ඉක්මනටම මහන්සිය දැනෙනවා. උදේට බැංකුවෙ වැඩත් හොඳින් කරන්න බැහැ. නිතරම මහන්සිය එනව.දියවැඩියාවත් නැහැ. මොකද මේකට කරන්න ඕන.”

“ඔව්. රංගන මටත් පේනවා. ඔයා වෙනදා වගේ ප්‍රබෝධයකින් නැති විත්තිය. අපි ඕක හොඳ ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නලා බලමු “යැයි පැවසූ සිසිල් රංගන කැටුව තම හිතවත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ වසන්ත වෙත ගියේය .

ඔවුන් දුටු වසන්ත මහතා ”මොකද සිසිල් කාලෙකින් මේ පැත්තෙ“ යනුවෙන් සිසිල්ගෙන් විමසීය.

වසන්ත මහත්තයෝ මේ මගේ යාළුවෙක්.රංගන. මෙයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ ළඟකදි ඉඳල පොඩි අසනීපයක් තියෙනවා. ඒකට බෙහෙත් ගන්න ආවෙ.” යැයි සිසිල් වෙද මහතාට කරුණු ඉදිරිපත් කළේය .

“මොකක්ද රංගන මහත්තයෝ අසනීපය?” යැයි වසන්ත මහතා විමසූ විට රංගන තම රෝග තත්ත්වය වෙද මහතාට ඉදිරිපත් කළේය.

“වෙද මහත්තයෝ මට දැන් ටික දවසක ඉදල ඇඟට හරි මහන්සියි. වැඩි වෙලා සෙල්ලම් කරන්නත් අමාරුයි.”

ඒ විස්තර ඇසූ වසන්ත මහතා ”රංගන මහත්තයෝ ඕකට බයවෙන්න එපා. අපි බෙහෙත් ටිකක් කරමු. ඔය අසනීප තත්ත්වයට වඳුරු මෑ අඩංගු හොඳ බෙහෙත් තියෙනවා. ඒවාට ඔය අසනීපය ඇරිල යාවි “ යනුවෙන් රංගන ට කීය.

ඒ කියන්නේ වඳුරු මෑ කියන්නේ හොඳ ඖෂධයක් ද. “යනුවෙන් සිසිල් ඇසූවිට

“ඔව් වඳුරු මෑ කියන්නේ හොඳ ඖෂධයක්“ යැයි වසන්ත මහතා පිළිතුරු දුන්නේය .

විශේෂයෙන්ම ස්නායු දුබලතා නසා ශරීර ශක්තිය සහ බලය ලබාදෙන ඖෂධ යෝගවලදි නැතුවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් වඳුරු මෑ හඳුන්වන්න පුළුවන් “ යනුවෙන් වසන්ත මහතා නැවතත් කීය.

“ඇයි මේවාට වඳුරු මෑ කියල කියන්නේ “ යනුවෙන් රංගන වසන්ත මහතාගෙන් විමසූ විට වසන්ත මහතා පැහැදිලි කළේ මෙසේය.

“වඳුරු මෑ යම්කිසි ආධාරකයක පැතිරී වැඩෙන වැලක්. මේ වැල්වල පොකුරු වශයෙන් කරල් සෑදෙනවා. ඒ වගේම මේ කරල්වල පිට පොත්ත වඳුරෙකුගේ සමේ රෝම පවතින්නාක් මෙන් කළු පැහැයෙන් යුතු බූවකින් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේ වැල සඳහා කියන කපිකච්ඦූ සහ වානාරී යන පර්‍යාය නාම නිසා වානර හෙවත් වඳුරන්ගේ සම්බන්ධයක් පවතින බව දැකිය හැකියි. මේ නිසා ‘වඳුරු මෑ’ යන හෙළ වදන නිර්මාණය වී ඇති බැව් පෙනී යනවා. ඒ වගේම ආහාරයට මෙන්ම ඖෂධ පිණිස වඳුරු මෑ ප්‍රයෝජනයට ගනු ලබනවා. මේ සඳහා වඳුරු මෑ කරල් තමයි උපයෝගි කරගනු ලබන්නේ. ඒ වගේම වඳුරු මෑ ඇට මත්වන ගතියෙන් යුතු වන නිසා මේවා ඖෂධීය වශයෙන් මාත්‍රානුකූලව ගැනීමෙන් ශරීරයේ ශක්තිය සහ බලය ලබා දෙන බව දක්වා තියෙනවා. ඒ වගේම මේ කරල් බූව සහිත නිසා ශරීරයේ ගෑවුණාම කසන්නත් පටන් ගන්නවා.”

“එතකොට වසන්ත මහත්තයෝ වඳුරු මෑ හැදෙන්නේ මොනවගේ පළාත් වල ද?” යැයි රංගන ඇසීය.

එයට පිළිතුරු දුන් වසන්ත මහතා “වඳුරු මෑ විදේශීය වශයෙන් ඝර්ම කලාපීය සහ උප ඝර්ම කලාපීය රටවල වියළි සහ අතරමැදි කලාපවල තරමක් සුලභව දකින්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ සියලුම උෂ්ණ ප්‍රදේශවල, මියැන්මාරය ආදි රටවල ශීත නොවන ප්‍රදේශවලත් දකින්න පුළුවන් .

දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ අධික ශීත නොවන ප්‍රදේශවල දැකිය හැකියි. මෙහිදී හපුතලේ, මහියංගනය, මහනුවර සහ නාඋල ප්‍රදේශවලත් පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යෂණායතනය, ගිරාඳුරුකෝට්ටේ, හල්දුම්මුල්ල, පල්ලෙකැලේ ආදි ඔසු උයන්වලත් දැකිය හැකියි” යනුවෙන් පැවසීය .

“එතකොට වසන්ත මහත්තයෝ වඳුරු මෑ වැලත් මෑ වැල් වගේමද” යනුවෙන් සිසිල් ප්‍රශ්නයක් නැඟීය .

බොහෝ දුරට සමාන වෙන්න පුළුවන් “ යැයි පැවසූ වසන්ත මහතා .

“වඳුරු මෑ වැල විශාල ලෙස පැතිරී යන මෑ කොළවල හැඩය ඇති ඊට වඩා විශාල කොළ සහිත මැස්සක් හෝ වැටක් හෝ හොඳින් අතු පතර විහිදී ගිය ගසක් හෝ ඇසුරු කරගෙන පැතිරී වැඩෙන වැලක්. කරල් පොකුරු විදියට හටගනු ලබනවා. එසේ හටගන්නා කරල් බෝංචි කරලක හැඩය ඇති අතර ඒ තරම් දිග නැහැ. ඒ වුණාට බෝංචි කරල්වලට වඩා රළුයි. හොඳට පැසුණු කරල්වල පිටපොත්ත කළුයි. මේ කරල් වල පිට පොත්තේ වඳුරකුගේ සමේ පවතින රෝම වැනි කළු පාට දිග බූවක් පවතිනවා. ඒ වගේම මේවායේ ළපටි කරල් බෝංචි කරල් මෙන් කොළ පාටයි. මෙහි ඇටද මේ පැහැයම ගනු ලබනවා. එක් වැලකින් කරල් රාශියක් ලබාගත හැකියි. මේ වැල්වල මල් හටගනු ලබන්නේ ජනවාරි, පෙබරවාරි සහ අප්‍රේල් මාසවලදීයි යනුවෙන් හොඳ විස්තරයක් ඉදිරිපත් කළේය .

එතකොට වසන්ත මහත්තයෝ වඳුරු මෑ හඳුන්වන විවිධ නාමයන් මොනවාද යැයි සිසිල් ප්‍රශ්න කර සිටියේය.

සිංහල භාෂාවෙන් වඳුරු මෑ කියනවා .

එතකොට සංස්කෘත භාෂාවෙන්

ආත්ම ගුප්තා...ස්වයංගුප්තා...ස්වගුප්ත...ශුකශිම්බී..වානරී...කපිකච්ජූ...වෘෂ්‍යා... වාතාරී... රෝමවල්ලී..දු:ස්පර්ශා... ආදි නම් රාශියක් තියෙනවා

හින්දි භාෂාවෙන් කේවාංච..කෞංච යන නාමයන් යෙදෙනවා .

ඒ වගේම දෙමළ භාෂාවෙන් පුනාඉක්කාලි යන නාමය යෙදෙනවා ..

ඉංග්‍රීසි භාෂාවෙන් Cow Hage Plant  නාමයයි.

වඳුරු මෑවල උද්භිද විද්‍යාත්මක නාමය

Mucuna pruriens (Hook ) D.C.  නම් වෙනවා

කුලය වන්නේ LEGUMINOSAE හෙවත් ශිම්බී කුලයයි.

උප කුලය වන්නේ PAPILIONOIDEAE කුලයයි. ඒ වගේම වඳුරු මෑවල බීජ, කරල්, මුල් සහ රෝම ආදිය ඖෂධ සඳහා ගනු ලබනවා” යනුවෙන් වසන්ත මහතා තවත් විස්තර කළේය.

“එතකොට වඳුරු මෑවල ප්‍රභේද තියෙනවාද වසන්ත මහත්තයෝ “යනුවෙන් රංගන නැවතත් ඇසූ විට

“වඳුරු මෑ වල ප්‍රභේද 2ක් තියෙනවා .

1කළු වඳුරු මෑ- ඇට කළු පාට වර්ගය

2 සුදු වඳුරු මෑ - ඇට සුදු පාට වර්ගය වශයෙන් ප්‍රභේද කර තිබෙනවා .

ඒ වගේම ශාරීරික බලය වඩන රසායනික උපාදාන රාශියක් වඳුරු මෑවල අඩංගු වෙනවා” යයි වසන්ත මහතා කීය .

“එතකොට වසන්ත මහත්තයෝ වඳුරු මෑවල ඖෂධීය වටිනාකම ගැනත් කතා කරන්න කෝ. ඒක ගොඩක් වැදගත් “ යැයි පැවසූ රංගන ඒ ගැන විමසා සිටියේය .

වඳුරු මෑවල ඖෂධීය වටිනාකම ගැන කතා කළොත්

වඳුරු මෑ රසයෙන් මධුර සහ තික්ත යි.

ගුණයෙන් ගුරු සහ ස්නිග්ධ යි

වීර්‍යයෙන් ශීත යි

විපාකයෙන් මධුරයි.

දෝෂ අනුව ගත්තාම

වා පිත් නසන ගුණ යුතුයි. සෙම් සමන ගුණ යුතුයි යනුවෙන් වසන්ත මහතා විස්තර කලේය.

ඒ වගේම වඳුරු මෑවල ප්‍රධාන ක්‍රියා සැලකුවාම මෙය වාජීකරණ ගුණ යුතුයි. ඒ වගේම මූත්‍රකාරක ගුණයද පණුවන් නසන ගුණයද ආර්ථව වඩන ගුණයද සහිතයි.

මේ නිසා වාත රෝග ස්නායු දුබලතා පණු රෝග මූත්‍ර ආබාධ වකුගඩු රෝග ක්ෂය රෝගය සහ ඔසප් දෝෂ ආදියට විශිෂ්ට ගුණ ලබා දෙනවා” යනුවෙන් වඳුරු මෑවල ගුණාගුණ ගැන වසන්ත මහතා විස්තර කළේය.

එතකොට වසන්ත මහත්තයෝ වඳුරු මෑ යෙදෙන රෝග අවස්ථා මොනවද කියල කියනවද යනුවෙන් සිසිල් ඉල්ලා සිටියේය .

වඳුරු මෑ අඩංගු යෝගයන් ගැන සැලකුවාම

වෘෂ්‍ය ගුණ සඳහා හාතාවාරිය අල කිරිබදු අල වඳුරු මෑ ඇට ගොකටු ඇට සමව ගෙන ගිතෙල් සහ එළකිරි එයට මිශ්‍ර කර සෘතය සාදා පිටි සීනි සහ මී පැණි එකතුකර හොදින් මිශ්‍ර කර උදේ සවස එළකිරි සමග ගැනිම ගුණදායකයි.

2 වඳුරු මෑ ඇට එළකිරෙන් තම්බා පොතු ඉවත් කර වියලා පිටිකර පැරණි රිදී කාසියක ප්‍රමාණයේ රොටී තනා ගිතෙලින් බැද උණුසුම් පිට මී පැණි වල දමා කෑමට දීම ගුණදායකයි.

වාජීකරණය සදහා

උදු වඳුරු මෑ ඇට චූර්ණය සහ සුදුළූනු සම සමව ගෙන ගිතෙල් මිශ්‍ර කර කෑමට දීම ඉතා ගුණදායකයි.

ශරීර ශක්තිය වැඩීමට

පොතුහැර ශුද්ධ කර ගත් වඳුරු මෑ ඇට එළකිරෙන් තම්බා දුන්තෙලින් බැද මී පැණි සමඟ ගැනීම ගුණදායකයි.

ගෝනුසු විෂට

වඳුරු මෑ ඇට චූර්ණය ගිතෙලින් අඹරා දෂ්ඨ මුඛයේ ගෑමෙන් විෂ ඇදීයයි.

උදර රෝග සදහා

වඳුරු මෑ මුල් අඹරා පැළැස්තර දැමීමෙන් ගුණදෙයි.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.