ආයු බෝ වන්න සැම විට වතුර බොන්න

පෙබරවාරි 2, 2024

ශ්‍රී ලංකා වාසී අපට ජලයෙන් එතරම් ප්‍රශ්නයක් නැත. ඒ පානයට අවශ්‍ය ජලය පහසුවෙන් ලබා ගත හැකි නිසයි. අප පිපාසයට පානය කරන ජලය පිරිසුදු හා විෂබීජ රහිත විය යුතුය. අප පානයට ගන්නා ජලය, සීතල, උණුසුම් හෝ සාමාන්‍ය උල්පත් ජලය ආදියෙන් වඩාත් ශරීරයට හිතකර වර්ගය කුමක්ද යන්න ගැන නිසි අවබෝධයක් තිබිය යුතුය.

ජලයට වෙනත් ආදේශකයක් නැත. ප්‍රමාණවත් පරිදි පිරිසුදු ජලය පානය කරන අයට පිපාසය සන්සිඳෙනවා පමණක් නොව වෙනත් ප්‍රතිලාභ රැසක් ලැබේ.

මළබද්ධය, මුත්‍රගත රෝග, ඇස්, සම මුව වියළීම වළක්වා ගැනීමට සමත්ය. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන අයගේ රුධිරය පිරිසුදු වේ. රුධිර ගමන ක්‍රමවත් වේ. රුධිර කැටිති ඇතිවීම වළක්වයි. හෘදයාබාධයක් ඇතිවීම අවම කරයි. රුධිර නාළ අවහිරතා නැතිකරයි. රුධිරගත කැටිති සහ ප්‍රයිබිනෝජන් ජලය මඟින් දිය වී හෘද අවරෝධය නැතිවේ. ජලය ක්ෂණිකව අවශෝෂණය කර ගන්නා නිසා රුධිරය ක්‍රමානුකූලව ගලායාමකට උදවු කරයි. පුරුෂයකු නම් දිනකට ජලය වීදුරු 5ක්වත් පානය කළ යුතු ය. ස්ත්‍රියක නම් වතුර වීදුරු 4ක් වත් පානය කළ යුතුය. ඔබ කිරි දෙන මවක නම් පිපාසය දැනෙන විට ජලය පානය කළ යුතුය. වැඩිපුර ජලය පානය කරන අයට හෘදයාබාධ සෑදීමේ ප්‍රතිශතය 50%කට වඩා අඩුය. අපගේ ශරීරය වෙහෙසට පත් වන විට දහදිය මඟින් ජලය පිටතට ඇදී යයි. ලවණ ද ඒ සමඟ පිටවන නිසා පිපාසය ඇතිවේ. තවදුරටත් ජලය පානය නොකරන්නේ නම් කෙණ්ඩ පෙරළීම පවා ඇතිවිය හැකිය. ශරීරගත ශක්තිය අඩු වී ක්ලාන්තය පවා ඇතිවිය හැකියි. අපගේ ශරීරයේ අපද්‍රව්‍ය පිටවීම සඳහා ජලය අවශ්‍ය වේ. ආහාර ජීර්ණය විටමින්, එන්සයිම නිසියාකාරව සිදු වීමටත් ජලය ප්‍රබල සාධකයකි. බඩවැල්වලට අවශ්‍ය පරිදි ජලය නොමැති විට මලබද්ධයට හේතුවනු ඇත.

මොළයට අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් ලෙස ලැබීමට නම් ජලය අවශ්‍ය වේ. ඔබ නිසි පරිදි නිසි වේලාවට ජලය පානය නොකරන්නේ නම් සම වියළිභාවයට පත්වේ. සමහර විට සම තැනින් තැන පැළීම් ඇතිවී දද, කුෂ්ට ආදියද ඇතිවිය හැකි ය.

ඔබට ජලය අවශ්‍ය නම් වෙනත් විකල්ප පාන සඳහා නොයන්න. ජලයට සීනි හෝ වෙනත් දියර එක්කර පානය නොකරන්න. ජලය වෙනුවට බීම වර්ග පානය කරන අයද බොහෝ ය. එසේ වෙනත් පානයකට යන්න සුදුසු නැත. එයින් ශරීරයට වන්නේ අවැඩක්මය. ඔබ උදෑසනම අවදි වූ විට තේ පානයෙන් වැළකී පිරිසුදු වතුර වීදුරුවක් පානය කරන්න. මේ නිසාම ශරීරය සමබර වී ප්‍රසන්නතාව ඇතිවේ. ජලය වෙනුවට වෙනත් පාන භාවිත කරන අයගේ දහදිය නිසි පරිදි පිට නොවේ. දහදිය ලවන ගඳකින් යුක්තවේ. ලෝකයේ ඇති හොඳම පිරිසුදු කාරකය ජලයයි. අප ශරීරය අභ්‍යන්තරව හෝ බාහිරව පිරිසුදු කළ හැක්කේ ජලයට පමණි.

අපට වඩාත් සුදුසු උණුසුම් ජලයද සීතල කරන ලද ජලය ද යන්න සොයා බැලිය යුතු ය. නිතර සීතල ජලය පානය කරන විට රුධිරගත නහර හැකිළේ. අවශ්‍ය ශ්‍රාවය නිසි පරිදි සමානගත නොවේ. උණුසුම් ජලය පානයේ දී හැකිළී ඇති ශිරා, ධමනිද විස්තාරණය වී නිසි පරිදි අවශ්‍ය දෑ ගමන් කරයි. උණුවතුර හෘදරෝග, දියවැඩියාව, මුත්‍රාගත රෝග සෑදීම වැළැක්විය හැකිය. ඒ වගේම සෑදී ඇති රෝග සුවපත් කිරීමට ද උපකාරී වේ. මේ නිසා ඔබට හැකි හැමවිටම උණුසුම් ජල වීදුරුවක් පානය කරන්න. එය දීර්ඝායුෂ විඳීමට හේතු වේ.

 

හිත්තැටිය මැද, මාතර

වෛද්‍ය ඒ. සූරියබණ්ඩාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.