නැතුවම බැරි ගුණ පිරි පොල්

සැප්තැම්බර් 15, 2023

දිවා ආහාරය සදහා දේශන නතර කිරීමෙන් පසු ආහාර ගනිමින් සිටි ආයුර්වේද වෛද්‍ය සිසුන් දෙදෙනකු වූ අසේල සහ සාලිය කතා කරමින් “අදත් පොල් සම්බෝල තියෙනවා. හැමදාම පොල් සම්බෝල කාලා ඇතිවෙලා“ යනුවෙන් කීය. එවිට ඒ අසලින් යමින් සිටි ඔවුන්ගේ ද්‍රව්‍ය පිළිබඳ ගුරුවරයා වූ සේනක මහතාට එය ඇසී ඒ ගැන විමසීය.

ඇයි අසේල පොල් සම්බෝලය කියන්නේ ඉතාමත් පෝෂ්‍යදායක ආහාරයක්නේ. ඉතිං හැමදාම කෑවම හුඟක් ගුණයි නේ.යනුවෙන් සේනක මහතා කී විට ඒ වුණාට හැමදාමත් කන්න අමාරුයි නේ සර්” යනුවෙන් සාලිය පිළිතුරු දුන්නේය.

අමාරුවෙන් හරි හැමදාම කෑවත් කමක් නැහැ. ඔයගොල්ලො තරුණ ළමයි. ඔය ගොල්ලන්ට පෝෂණය අවශ්‍යයි. යනුවෙන් නැවත සේනක මහතා කී විට අසේල ඇසුවේ පොල් සහ පොල්කිරි සැම විටම ආහාර සඳහා යොදන නිසා පොල් සම්බෝලත් නිතර කෑ යුතුද “කියායි.

එවිට සේනක මහතා.” පුතා පොල් කියන්නෙ අපේ කප්රුක. පොල් ආහාරමය වශයෙන් වගේම ඖෂධීය වශයෙනුත් ඉතා වැදගත්. ඒ වගේම පොල්ගසේ සියලුම කොටස් අපිට ප්‍රයෝජනවත් වෙනවා යැයි කීය.

එතකොට සේනක සර් පොල් අපේ රටේ ද වැඩිපුර හැදෙන්නෙ. මම එහෙම ඇහුවෙ. අපේ රටේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් වශයෙනුත් සලකන නිසා” යනුවෙන් සාලිය ඇසීය.

එවිට සේනක මහතා “දැන් නම් පොල් අපනයනය කරන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව පොල් වතු ගොඩක් ගෙවල් හදන්න කැබලි කරල විකුණපු නිසා. පොල් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශවල වැඩිපුර වැවෙනවා ඒ වගේම උෂ්ණ ප්‍රදේශවල හොඳින් වැවෙනවා. ඒ වගේම ලුණු මිශ්‍ර වැලි සහිත පොළොවේ සරුවට වැවෙනවා.

ඒ වගේම මියැන්මාරය, නේපාලය ආදී රටවලත් ඉන්දියාවේ බෙංගාලය, මදුරාසිය, කේරළය ආදී ප්‍රදේශවලත් සාර්ථකව වැවෙනවා. එසේම ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය වශයෙන් නම් කරපු ප්‍රදේශයේ ඉතා විශාල වශයෙන් පැතිර පවතිනවා යනුවෙන් සේනක මහතා විස්තර කළේය.

එවිට නැවතත් අසේල ඇසුවේ එතකොට පොල් වලට නම් ගොඩක් තියෙනව නේද. සර් කියායි.

ඔව් පොල් වලට සංස්කෘත භාෂාවෙන් නාරිකේල, නාරිකේර කේර කේල, තෘණරාජ, රසඵල, ස්කන්ධ් ඵල, මංගල්‍ය, ශ්‍රී ඵල තාල වෘක්ෂ ආදී නම් යෙදෙනවා.ඉන්දියාවේ කේරළය කියන නම හැදිල තියෙන්නෙ. ඔය කේර කියන නමෙන්. ඒ ප්‍රදේශයේ පොල් බහුල නිසා එතකොට හිංදි භාෂාවෙන් නාරියල, කියනවා. දෙමළ භාෂාවෙන් තෙන්නායි, සහ තෙන්නාමරම් කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Coconut palm  කියනවා. උද්භීද විද්‍යාත්මක නාමය Cocos nucifere Linn   වෙනවා.

කුලය. PALMACEAE  හෙවත් නාරිකේල කුලයයි යනුවෙන් සේනක මහතා විස්තර කළේය. ඒ වගේම පුතාල දන්නවද? පොල් වල ප්‍රභේද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතුරින් පොල්. කුන්දිරා පොල්, නවසි, තැඹිලි, රන් තැඹිලි, සියම් පොල්, දීකිරි පොල් ආදිය ප්‍රධාන වෙනවා යනුවෙන් සේනක මහතා තවත් විස්තර ඉදිරිපත් කළේය.

එතකොට සේනක සර්. පොල් වල ආහාරමය ප්‍රයෝජන ගොඩක් තියෙනවා නේද? යනුවෙන් සාලිය ඇසීය.

ඔව්. කුරුම්බා වතුර තැඹිලි වතුර ඉතා ගුණදායක පාන. මේවාට විදේශීය රටවල හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම පොල්කිරි ආහාර සකස් කිරීමේදි අත්‍යවශ්‍යයි. ඒ වගේම පොල් සම්බල්, පොල් මැල්ලුම්, පොල්කිරි හොද ඉතාම පෝෂ්‍යදායී ආහාර, ඒ වගේම පොල්තෙල්, පොල්පැණි, පොල්හකුරු ආදිය පොල්වලින් ගනු ලබන අත්‍යාවශ්‍යම දේ. එසේම, පොල් විනාකිරි, පොල් රා, පොල් අරක්කු ආදියත් පොල්වල සංස්කරණයි. තව ලනු, පාපිසි ආදිය පොල්කොහු වලින් කරනු ලබනවා. ඒ වගේම පොල්ගසේ කඳ ලී, පරාල ආදිය සැකසීමට යොදා ගන්නවා. මේ විදියට පොල් කියන්නෙ කප් රුකක් ම තමයි යනුවෙන් සේනක සර් පිළිතුරු දුන්නේය.

ඒ වගේම රසකැවිලි දොදොල්, වටලප්පම්, ආදිය සකස් කිරීම සඳහාත් පොල් බෙහෙවින්ම අවශ්‍ය දෙයක්‍ යැයි සේනක සර් නැවත කීය. කොටින්ම කිව්වොත් පොල් නැතුව කිසිම දෙයක් කිරීම අපහසුයි සේනක සර් කීය.

එතකොට ඖෂධීය වශයෙනුත් පොල් අත්‍යවශ්‍ය දෙයක් නේද සර් යනුවෙන් අසේල තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

ඔව්, අසේල ඖෂධීය වශයෙන් පොල් පොල්තෙල් හකුරු, පැණි, විනාකිරි ආදී කොට ඇති සියලුම පොල් වල සංස්කරණ විශිෂ්ඨ ගුණ ගෙනදෙනු ලබනවා.

මධුර රසයෙන් සහ ගුරු හා ස්නිග්ධ ගුණ යුතු පොල්, මධුර විපාක සහ ශීත වීර්‍යයි. ඒ නිසා.වාතය සහ පිත සමනය වෙන බැවින්. වාත පිත්තජ රෝග වලට පොල් ඉතා යෝග්‍යයි යනුවෙන් සේනක මහතා කීය.

පොල් අඩංගු ඖෂධ යෝග මොනවද සර් යනුවෙන් සාලිය ඇසූවිට ඖෂධ යෝග නම් ගොඩක් තියෙනවා එයින් ටිකක් කියන්නම් යැයි කියූ සේනක සර්.

කාන්තා රෝග වලට දෙන කෂාය කීපයක් තියෙනවා.

1 මානෙල් අල, වැල්මී, කලාදුරු අල, ලාපොල් මල් කෂාය.

2 අලුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, තැඹිලිපොල් මල් කෂාය ඒ අතරින් ප්‍රධනයි.

ඒ වගේම පොල් මුල, ඉඟුරු සහිඳ ලුනු කෂාය. උණ රෝග සඳහා ඉතා ගුණයි යනුවෙන් කී සේනක මහතා, කුරුම්බා වතුර ශීත කෂාය මුත්‍රා රෝගවලට ඉතා ගණ බව කීය.

එසේම තැඹිලි මල් පුටපාකය රක්ත ප්‍රදර සඳහා ගුණදායක බවත, පොල් මුල් කෂාය මුත්‍ර රෝග, ගර්භාෂ රෝග, සහ දන්ත රෝග සඳහා යොදන බවත් කීය.

එසේම නාරිකේල ලවණ අම්ල පිත්ත සඳහා සුදුසු බවත්, කොට්ට පොල් කල්කය ග්‍රහණි රෝග සඳහා යෝග්‍ය බවත්, අග්‍රරාජ කෂාය වාත රෝග, සන්නි, ගුල්ම, භගන්දරා, අර්ශස සඳහා ගුණ බවත් සේනක මහතා කීය.

එතකොට සර් කැඩුම් බිදුම් වෙදකමේදිත් පොල් ගන්නව නේද යනුවෙන් අසේල විමසූ අතර

ඔව්. කැඩුම් බිඳුම් වෙදකමේදි නැතිවම බැරි දෙයක් පොල් කියන්නෙ යනුවෙන් පැවසූ සේනක මහතා, කැඩීම්, බිදීම් සහ තැලීම් වලදි බඳීන මැල්ලුම්වලදි කොට්ට පොල් වේළුණුපොල්, හෝ පොල් යොදා ගන්නවා. උදාහරණයක් විදියට. බැල තණ. අමුකහ, ලුණ, කොට්ටපොල් සමව අරන් කොටල මලවලා බඳීනවා.

ඒ වගේම තැවිලි පොට්ටනි වලටත් කොට්ට පොල්, හෝ පොල් යොදාගන්නවා.

සමහර තැවිලි පොට්ටනි වලට පොල් ගන්නව වගේම පොල් විනාකිරිත් එකතු කරනවා.

ඒ වගේම ගාන පත්තු හෝ පැණි පත්තුවලට පොල් පැණි යොදා ගන්නවා. කැඩුම් බිදුම් වලදි වගේම අනෙකුත් බෙහෙත් තෙල්වලටත් පොල්තෙල් ගනු ලබනවා.

විශේෂයෙන් මහා නීල්‍යාදි තෙල සෑදීමේදි පොල් තෙල් යොදනවා. ඒ වගේම එම තෙලට පොල් එකතු කරනවා යනුවෙන් සේනක මහතා හොද විස්තරයක් ඉදිරිපත් කළේය.

ඒ වගේම අමු පොල්කොළ දුම පලු දාපු වෙලාවට. කරප්පන් වලට අල්ලනු ලබනවා.ඒ වගේම පොල්කොල පුච්චල ගත් අලු පොල් තෙලින් අනල පලු වල සහ කරප්පන්වල ගානු ලබනවා යනුවෙන් සේනක මහතා විස්තර කළේය.

මේ වගේ ගොඩක් ආබාධවලදි පොල් කියන්නෙ අගනා ඔසුවක් යනුවෙන් සේනක මහතා නැවත විස්තර කළේය.

එතකොට පොල් කියන්නෙ නැතුවම බැරි අගනා ඖෂධාහාරයක් නේද සර් යනුවෙන් සාලිය ඇසූ විට ඔව් පුතා පොල් කියන්නෙ හැම තැනදිම හැම දේකටම නැතුවම බැරි දෙයක් පොල්වල නොගන්න දෙයක් නැහැනේ. ඒ නිසානේ කප්‍ රුක කියල කියන්නෙත් යනුවෙන් සේනක මහතා පිළිතුරු දුන්නේය

හොඳයි. බොහොම ස්තූතියි. සර්. අපි ගොඩක් දේවල් පොල් ගැන දැනගත්තා යනුවෙන් පවසා සිසුහු සේනක මහතාට ස්තූති කර නැවත දේශන ශාලාව කරා ගියහ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.