බිඳුණු අස්ථි යළි සකසන හීරැස්ස

සැප්තැම්බර් 8, 2023

ප්‍රදේශයේ සිටින දක්ෂ කැඩුම් බිදුම් වෙද මහතකු වන සිරිසේන මහතා තම බෙහෙත් ශාලාවේ සිටින විට එම ප්‍රදේශයේම සිටින ගුරුමහතකු වන පියල් තම පුතා සමඟ එහි පැමිණියේය.

දස හැවිරිදි වියේ පසුවන විශ්ව පියල් මහතා ගේ එකම පුතා වන අතර තරමක් දගකාරයෙකු විය.

හඬමින් සිටි විශ්ව ඇමතූ වෙද මහතා මොකද පුතා අඩන්නෙ. යැයි ඇසීය.

එයට පිළිතුරු දුන් පියල් මහතා “වෙද මහත්තයෝ පුතා බයිසිකලෙන් වැටිලා. අත බිම ඇනිලා. අපිට අල්ලන්නවත් දෙන්නෙ නැහැ. කැඩිලද දන්නෙ නැහැ. යැයි කීය.

දරුවා හඬද්දීම අතින් අල්ලා ගෙන පරීක්ෂා කළ වෙද මහතා කීවේ, අත බිම වැදීම නිසා මැණික් කටුව ළඟ ඇති ඇට කෙටී ඇති බවයි. ඉන්පසු තෙල් ටිකක් අතට ගත් වෙද මහතා විශ්ව හඬද්දීම කෙටුණු ස්ථානයේ ගා හොඳින් පිරිමැද මෙහි බේතක් බැදිය යුතු බව කීය.

පියල් මහත්තයෝ මේ දරුවගෙ අතට බේතක් බඳීන්න ඕන. හීරැස්ස එළකිරෙන් තම්බලා අඹරලා එළඟි තෙල් දමල කලවම් කරල අතේ ඝනට ගාන්න ඕන. දවස් 3ක් විතර උදේ සවස දෙවේලටම කරන්න. එතකොට බොහෝදුරට අඩුවේවි. යනුවෙන් වෙදමහතා කීය.

එවිට පියල් මහතා “හොඳයි වෙද මහත්තයෝ මම දැන්මම ගිහින් ඒ බේත හදල ගාන්නම්. එතකොට හීරැස්ස එච්චරටම ගුණද යනුවෙන් ප්‍රශ්නයක්ද ඇසීය.

ඔව්. දේශීය වෙදකමේ විශේෂයෙන් කැඩුම් බිදුම් වෙදකමේදි නැතිවම බැරි ඖෂධයක්.

වගේම අජීර්ණ රෝග,ඇදුම, වාත රක්ත, කර්ණ රෝග, පාණ්ඩුව, ඉදිමුම්, අර්ශස්, නාසයෙන් ලේ ගැලීම්, පණු රෝග, ප්‍රදර රෝග, අතීසාර, වාත වේදනා, අක්ෂි රෝග වගේ රෝග රාශියකට ප්‍රතිකාර කිරීමට හීරැස්ස දලු, ළපටි දඬු, මුල්, සහ සම්පූර්ණ ශාකයම යොදා ගන්නවා.” යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය.

ඇත්තද?. වෙද මහත්තයෝ හීරැස්ස කියන නම ඇවිල්ල තියෙන්නෙ “සිවුරැස්” කියන වචනයෙන්ද?. යනුවෙන් පියල් මහතා ඇසූවිට වෙදමහතා මෙසේ කීය.

ඔව් මහත්තයො. “චතුරශ්‍රා”කියන සංස්කෘත වචනයෙන් බිදිල ආපු “සිවුරැස්” කියන වචනයෙන් තමයි හීරැස්ස නම හැදිල තියෙන්නෙ. යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය.

ඒ වගේම “ සතරැස් ආකාරපුරුක්” යන්න හෙවත් “ සිවුරැස් පළුව“ යන නම් වී පසුව “ හීරැස්ස පලු” බවට පත් වුණා කියන්නත් පුළුවන් යනුවෙන්ද වෙද මහතා කීය.

කොයි පළාත්වලද හීරැස්ස හැදෙන්නෙ. යනුවෙන් පියල් මහතා නැවත ඇසූවිට හීරැස්ස ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ විශේෂයෙන්, වෙරළ තීරය ආසන්නයේ ස්වාභාවික වනාන්තරවල සුලභ වශයෙන් දක්නට ලැබෙන බව පැවසූ වෙදමහතා ඉන්දියාවේ උෂ්ණ ප්‍රදේශ, බෙංගාලය, නිවර්තන අප්‍රිකාව, අරාබිය, මැඩගස්කරය, තායිලන්තය, ජාවා, පිලිපීනය ආදී රටවලද දක්නට ලැබෙන බව කීය.

ඒ වගේම මෙය මාංශල ඝන සිනිඳු මතුපිටක් සහිත මීටර් 8ක් පමණ දිග පතනශීලී කාෂ්ඨීය වැලක් බවත් හරස් කඩ හතරැස් වන අතර පුරුක් සහිත වැලක් බවත් පුරුක්වලින් කොළ හටගන්නා බවත් කීය.

මෙහි මල් හටගන්නේ ජුනි සිට අගොස්තු අතර කාලයේ බවත් වෙද මහතා නැවතත් කීය.

එතකොට හීරැස්සවලට කියන තවත් නම් මොනවද? වෙද මහත්තයෝ යනුවෙන් පියල් නැවත ඇසීය.

එවිට වෙද මහතා කීවේ, හීරැස්සවලට සිංහල භාෂාවෙන් හීරැස්ස, හීරැස්ස පලු, හීරැස්පලු යන නම් යෙදෙන බවයි.

එසේම සංස්කෘත භාෂාවෙන්- වජ්‍රවල්ලී, අස්ථි සංහාර, චතුර්ධාරා, කාණ්ඩවල්ලී ආදී නම් යෙදෙන බවත් දෙමළ බසින්- පිරන්ඩාල්, පෙරැන්ඩිකෝඩ් යන නම් යෙදෙන බවත් කීය.

ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් Adamant Creeper, සහ Bone Setter  යන නම් යෙදෙන බවත් හීරැස්සවල උද්භීද විද්‍යාත්මක නාමය: ඛ්ඪඵඵභඵ ඳභචඤපචදඨභතචපඪඵ ඹ් බවද කීය.

ඒ වගේම හීරැස්ස  VITACEAE කුලයට අයිති වන බව ඔහු පැවසීය. හීරැස්සවල ගොඩක් විස්තර වෙද මහත්තයගෙන් අපි දැනගත්තා. තව ටිකක් විස්තර දැනගත්තොත් හොඳයි. හීරැස්ස වල ගුණ ගැනත් ටිකක් කියල දෙන්න පුළුවන්ද වෙදමහත්තයෝ යනුවෙන් පියල් මහතා ඇසීය.

ඔව්. මම කියල දෙන්නම්. යැයි කියූ වෙද මහතා, හීරැස්ස කියන්නෙ සෙම් හා වාතය සමනය කරන පිත් වඩන ගුණ ඇති ද්‍රව්‍යයක්. මේ නිසා සෙම් වාතජ රෝග වලදි ප්‍රයෝජනයට ගනු ලබනවා. යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය.

ඒ වගේම හීරැස්ස අඩංගු ඖෂධ යෝග රාශියක් තියෙනවා. රෝගාබාධ රාශියක් සඳහා එයිනුත් ප්‍රධාන වෙන්නෙ කැඩුම් බිදුම් වෙදකමේදි යොදාගන්නා ඖෂධ යෝගයන් යනුවෙන් කී වෙද මහතා බිඳුණු අස්ථි යළි සකස් වීමට හීරැස්ස එළකිරෙන් තම්බා අඹරා ගිතෙල් මිශ්‍රකර ඝනව සිටිනසේ ආලේපකර ඔතා තැබීම.

හීනටිහාල්, හීරැස්ස පලු යුෂයෙන් දින භාගයක් පෙඟෙන්න තබා ඒ යුෂයෙන්ම පාප්ප මෙන් අඹරා එම ස්ථානය ඝනව සිටිනසේ ආලේපකර ඔතා තැබීම ආදිය කරනු ලබයි.

ඒ වගේම මාංශ පේශි වේදනාවට, හීරැස්ස අඹරා ආලේප කරනු ලබනවා.

මූත්‍ර අඩස්සියට හීරැස්ස පලු රත්කර තලතෙලින් අනා අඹරා නාභි ප්‍රදේශයේ ආලේපයෙන් ගුණ ලැබෙනවා. යනුවෙන් වෙද මහතා ඖෂධ යෝග විස්තර කළේය.

ඒ වගේම ශරීර ශක්තිය ලබාගැනීමට. හීරැස්ස කොළ සහ ළපටි දඩු යුෂ දෙනු ලබනවා.බරවා රෝගයට ඇහැළ මුල්, කරපිංචා, හීරැස්ස, සාරණ ආදී කෂාය දෙනු ලබනවා.

එසේම තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ අවිධිමත් ආර්තවයේදී, හීරැස්ස යුෂ, වෙනිවැල්ගැට, සූකිරි, ගිතෙල් සංයෝග කර යොදනු ලබනවා.

ඒ වගේම අජීර්ණ සහ අන්ත්‍ර ගත රෝග සඳහා : හීරැස්ස චූර්ණය යොදනු ලබනවා යනුවෙන් වෙද මහතා විස්තර කෙරූ විට පියල් මහතා ඇසූවේ අර්ශස් රෝගයට හීරැස්ස සුදුසුදැයි කියායි.

එයට පිළිතුරු දුන් වෙද මහතා කීවේ අර්ශස් සඳහා සුදුසු වන්නේ හීරැස්ස ක්වාතය හෝ පැණිය බවයි

ඒවගේම, විදුරුමස් දියවන අවස්ථා වලදී හීරැස්ස දඩු යුෂ බීමට දීමත් ඉතා හොඳයි.

එසේම කන් කැක්කුමේදී. හීරැස්ස යුෂ මඳක් රත්කර රෙදි කැබැල්ලකින් පෙරා බිංදු කීපයක් කනට දැමීමත් හොඳයි.

ඒ වගේම ඇදුම රෝගයට හීරැස්ස පලු සහ කොළ චූර්ණය මී පැණි සමඟ ගැනීමත් ඉතා හොඳයි.

එසේම නරක්වූ මාලු කෑම නිසා ඇතිවන විෂ නැසීමට හීරැස්ස යුෂ හෝ කෂාය සුදුසුයි.

ඉතිං මේ වගේ ඖෂධ බොහෝමයක් තියෙනවා. හීරැස්ස අඩංගු යනුවෙන් හොද විස්තරයක් වෙද මහතා ඉදිරිපත් කලේය.

ගොඩක් දේවල් හීරැස්ස ගැන වෙද මහත්තයගෙන් දැන ගන්න ලැබුණ. එතකොට හීරැස්ස අඩංගු නිෂ්පාදිත ඖෂධත් තියෙනවද වෙද මහත්තයෝ. යනුවෙන් පියල් ඇසූකල

ඔව්. අස්ථි සංහාර තෛලය.....වජ්‍ර වල්ලී ක්ෂාරය පින්ඩ කායම ආදිය ඒවගේ නිෂ්පාදිත ඖෂධ තමයි .යනුවෙන් වෙද මහතා පිළිතුරු ලබාදුන්නේය.

ඒවගේම හීරැස්ස දලු පලාව හොඳ ඖෂධාහාරයක් මේක බඩගිනි අඩු අයට ඉතා හොඳයි.

එතකොට යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලටත් හීරස්ස යොදා ගන්නවා. යනුවෙන් ඉතා හොඳ විස්තරයක් වෙද මහතා පියල් මහතාට ඉදිරිපත් කළේය.

අනේ. වෙද මහත්තයට ගොඩක් පිං..අපිව දැනුවත් කළාට යනුවෙන් පැවසූ පියල් මහතා පුතාද කැටුව නිවෙසට ගියේ ඉක්මනින් ම බෙහෙත් සාදා පුතාගේ අතේ ආලේප කිරිමටයි.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.