ලිංගික දුබලතා නසන ගොඩකදුරු

ජූලි 7, 2023

තරුණ වෛද්‍ය සිසුවෙකු වන රසික ද්‍රව්‍ය ගුණ විෂය කරුණු පාඩම් කරමින් සිටින විට ගොඩකදුරු ඖෂධීය ගුණ පිරි ශාකයක් බවත්, බොහෝ රෝග වලට ගුණ ගෙන දෙන බවත් සදහන් ලිපියක් දිටීය. එහෙත් බොහෝ දෙනා විෂ සහිත ශාකයක් ලෙස හඳුන්වන මෙම ශාකය ඖෂධ සඳහා කෙසේ යොදාගන්නේදැයි නිවැරැදිව දැන ගැනීමට තම ද්‍රව්‍ය ගුණ පිළිබඳ ගුරුතුමා වන පියල් මහතා හමුවිය.

ආයුර්වේද විද්‍යාලයේ ඔසු උයනේ සිසුන් සඳහා ප්‍රායෝගික වැඩ සටහනක් කරමින් සිටි පියල් මහතා තමා ඉදීරියට එන අවසන් වසරේ සිසුවකු වන රසික දුටුවේය. වහා ඔහු දෙසට හැරුණු පියල් මහතා “ඇයි රසික මොකක්ද? ප්‍රශ්නය”යැයි ඇසීය.

සර්, ප්‍රශ්නය ගොඩකදුරු ගැනයි. ගොඩකදුරු විෂ සහිත ශාකයක්ද? යනුවෙන් ඇසීය. ඔව් ගොඩකදුරු විෂ තමා මම ඉගැන්නුවෙ.

ඒත් සර් මේවා බෙහෙත් වලට ගන්නව නේද? විෂ නං ගන්නෙ කොහොමද?” යනුවෙන් රසික ඇසීය.

ඇයි රසික මම උගන්වල ඇති ආයුර්වේදයේ විෂ හා උපවිෂ කියල කොටස් දෙකක්. එයින් උපවිෂ කොටසට ගොඩකදුරු අයිති වෙන්නෙ.

අත්තන, වරා, දළුක්, නියඟලා, කනේරු, ඔලිඳ වගේ ද්‍රව්‍ය කිහිපයක්ම උපවිෂ කොටසට අයිති වෙනවා. මේවා ඖෂධ සඳහා ගැනීමේදි විෂ ඉවත් කරල ගන්නේ. ගොඩකදුරුත් ඒ වගේ විෂ ශෝධනය කරල බෙහෙත්වලට යොදාගන්නෙ යනුවෙන් ගොඩකදුරු ගැන රසිකට පහදාදීමට පියල් සර් උත්සුක විය.

සර් ගොඩකදුරු කොයි පළාතෙද හැදෙන්නෙ යැයි නැවත රසික විමසන විට, පුතා මේ ගස් ශ්‍රී ලංකාවේ උෂ්ණ කලාපයේ වනගතව වැවෙනවා. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමෙන් මිටර් 1500 ක් දක්වා උස ප්‍රදේශවල වැවෙනවා. ඉන්දියාවෙත් උෂ්ණ ප්‍රදේශවල විශේෂයෙන්, මදුරාසි, ට්‍රැවන්කෝර්, කොචින්, මැලබාර්, ඔරිස්සා වගේ ප්‍රදේශ වල තමයි.වැවෙන්නේ.” යනුවෙන් පියල් මහතා පිළිතුරු ලබා දුනි.

ඒ වගේම මේ ගස් මීටර් 8 ක් 10 ක් විතර උසට වැවෙනවා. ගසේ පොත්ත මෘදුයි. මේවායේ කොළ සෙන්ටි මීටර් 5ක් 7ක් පමණ දිගයි. පළලින් සෙන්ටි මීටර් 2ක් 5ක් වෙනවා. මේ කොළ තුනියි. තද කොළ පාටයි. අගෝස්තු සැප්තැම්බර් මාස වලදී කොළ හැලීම සිදුවෙනවා. මේවායේ මල් රාශියක් හට ගන්නවා. මල් කොළ පාටයි. මේවායෙ හටගන්න ගෙඩි කුඩායි. ගෝලාකාරයි. සෙන්ටි මීටර් 3.5 සිට සෙන්ටි මීටර් 5.5 විශ්කම්භයකින් යුතුයි. කහ තැඹිලි පාට තුනී ඵල ආවරණයකින් යුතුයි. එක් ඵලයක් තුළ බීජ 1 සිට 6 දක්වා තියෙනවා. ඒවායේ හැඩය ඕවලාකාරයි. පිට පොත්ත රිදී අළු පාටයි. දිලිසෙන සුළුයි.බීජ මදය රෝස පාටයි. ඖෂධ සඳහා බෙහෙවින් යොදාගනු ලබන්නේ බීජයි. ඒ වගේම ඉන්දියාවේ වැවෙන ගොඩකදුරු ගස් ලංකාවේ වැවෙන ගොඩකදුරු ගස් අතරෙ සුළු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ගොඩකදුරු ගස්වල කොළ ඉන්දියාවේ තියෙන ගොඩකදුරු ගස්වල කොළවලට වඩා කුඩයි යනුවෙන් පියල් මහතා ගොඩකදුරු ගැන තවත් විස්තර පැවසීය.

එතකොට සර් මේවායේ බීජ බෙහෙත්වලට ගන්නකොට ඒවායෙ විෂ ඉවත් කරන්නේ කොහොමද? යනුවෙන් රසික විමසූ විට පියල් මහතා බීජවලට අමතරව මුල් හා කොළත් බේත් වලට ගන්නවා. එයින් ප්‍රධාන වෙන්නේ බීජ තමයි මේව විෂ ඉවත් කරන්න ශෝධනය කරන්න ඕන. ඒ සදහා ක්‍රම කීපයක් ම තියෙනවා. ගොඩකදුරු බීජවල තියෙන අංකුරය ඉවත් කරල පිටපොත්ත කරවෙනකම් ගිතෙලින් බැඳල ගැනීම. ගොඩකදුරු ඇට කැබලිවලට කපලා ගිතෙලින් මඳක් බැද ගැනීම ආදී වශයෙන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. මේ විදියට ශෝධනය කරල බෙත් වලට ගන්නවා යනුවෙන් පියල් මහතා ගොඩකදුරු ශෝධනය පැහැදලි කළේය.

ඉතිං සර් ගොඩකදුරු මොනවටද ගුණ ඒවගේම මොන ලෙඩවලටද යොදාගන්නේ.” යනුවෙන් රසික විමසූ විට පියල් මහතා කීවේ වාත රෝග ඇතුළු රෝග රැසකට මෙය යොදා ගන්නා බවයි. සර් මට තවත් දෙයක් අමතක වුණා. ගොඩකදුරු වෙන භාෂාවලින් කොහොමද ඳුන්වන්නෙ යනුවෙන් ඇසූ කල “පුතා ගොඩකදුරු සංස්කෘත භාෂාවෙන් විෂ තින්දුක, කුපීලු කුචිලා, කාක තින්දුක, කාරස්කර ආදී නම්වලින් හඳුන්වන්වා. ඒ වගේම දෙමළ භාෂාවෙන් යෙට්ටි කොට්ටායි කියනවා. හින්දි භාෂාවෙන් කුචලා කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Nux Vomica  කියනවා. ගොඩකදුරුවල උද්භීද විද්‍යාත්මක නාමය.: Strychnos nux vomika  වෙනවා. කුලය : LOGANIACEAE හෙවත් කාරස්කර කුලය යනුවෙන් පියල් මහතා හොඳ විස්තරයක් කළේය.

නැවත විස්තර කිරීම ඇරඹූ පියල් මහතා ගොඩකදුරු වඩාත්ම ගුණදෙන්නේ වාතරෝගවලට. ඊට අමතරව නින්ද අඩුකම හෝ නින්ද නොමැති බව. ලිංගික බෙලහීනතා. ස්නායු දුබලතා බඩගිනි අඩුකම. ග්‍රහණි. අතීසාර ආදී රෝග රැසකටම යෙදිය හැකි අගනා ඔසුවක් යනුවෙන් පැවසීය.

ඒ වගේම ඉදිමුම්, තුවාල, කුෂ්ඨ, හෘද රෝග, ගර්භාෂගත රෝග, අපස්මාර, ආමවත ආදියටත් යොදාගන්නවා. යනුවෙන්ද කීය. සන්ධි වාත, ආමවාත ආදියේදී ගොඩකදුරු ඇට අඹරා ආලේපයෙන් වේදනා සමනය වෙනවා. එසේම තුවාල වලදි ගොඩකදුරු කොළ අඹරා ආලේප කරනු ලබනවා.

ලිංගික දුබලතාවලදී මෘංගමද තෛලය ආලේප කරනු ලබනවා. මෙය සකස් කරන්නේ ගොඩකදුරු ඇට, වියළි දළුක් කිරි. කස්තුරි සමව ගෙන මිශ්‍ර කර තලතෙල් යොදා සාදාගනු ලබනවා.

ඒ වගේම ගොඩකදුරු තරල සාරය බිංදු 5 සිට 10 දක්වා යොදාගනු ලබන්නෙ වාත රෝග, ස්නායු රෝග සහ අපස්මාර ආදී රෝගවලටයි.

ඒ වගේම ගොඩකදුරු මිශ්‍ර ත්‍රිපලා වටිය ආක්ෂේප සහිත වාතරෝග, නින්ද අඩුකම හෝ නොමැති වීම, ස්නායු රෝග, නින්දෙන් ධාතු පහවීම ආදියට යොදනු ලබනවා.

ශූලහරණ වටිය, ගුල්ම, අතීසාර, ග්‍රහණි ආදියේදී වේදනා සමනයට යොදාගනු ලබනවා.

අග්නිතුණ්ඩී වටිය, බඩගිනි අඩුකමට යොදාගනු ලබනවා.කෘමිමුද්ග රස පණු රෝග සඳහා යොදනවා. කුචිලාමූලත්වක් වටිකාව, කොළරා රෝගයේදී දෙහි ඇඹුල් සහිතව යොදනු ලබනවා. ඒ වගේම ගොඩකදුරු අඩංගු විශේෂ ඖෂධයක් කුචිල වටිය. මෙය ලිංගික දුබලතා සඳහා විශේෂ වට්ටෝරුවක්.

තවත් කුචිලා වටියක් තියනවා. එය යොදන්නේ නින්ද අඩුකමට සහ වාත රෝග සදහා. මෙයට අමතරව ලක්ෂ්මි විලාස රස, විෂමුෂ්ටි රස, නව ජීවන රස, ගොඩකදුරු තෙල ආදී ගොඩකදුරු අඩංගු යෝග කිහිපයක්ම තියෙනවා.

ඒ වගේම මේ බේත් යෙදීමේදී නියමිත මාත්‍රාවෙන් පමණක් යෙදීම වැදගත්. එයට හේතුව මාත්‍රාවට වඩා වැඩියෙන් යෙදුවොත් වෙනත් රෝගා බාධයන්ට ගොදුරු විය හැකි නිසයි. යනුවෙන් ගොඩකදුරු ගැන ඉතා වටිනා විස්තරයක් පියල් මහතා විසින් තම ශිෂ්‍යයා වන රසිකට ඉදිරිපත් කලේය

පියල් සර් ගේ කරුණු දැක්වීම හොදින් අසා සිටි රසික “ ගොඩක් ස්තූතීයි සර්ට. ගොඩකදුරු ගැන හොද විස්තරයක් මට ලැබුණා.අපි ඉදිරි කාලෙදි වෙදකම් කරන කොට සර් කියපු කරුණු මට හුඟක් ප්‍රයෝජනවත් වේවි.යනුවෙන් පවසා සාකච්ඡාව නිමා කළේය.

 

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.