මේනියා නසන කුප්පමේනියා

ජුනි 16, 2023

අම්මේ අපේ බළල් පැටියා අසනීපෙන් වගේ ඉඳල කුප්පමේනිය පැලයක් කාලා වමනෙ කළා.ඊට පස්සෙ දැන් හොඳට දඟලලා සෙල්ලම් කරනවා. දැන් කිසිම ලෙඩක් නැහැ.කුප්පමේනිය එතරම් ගුණයිද? යනුවෙන් වෙද මහතාගේ දියණිය සිය මවගෙන් ඇසුවේ මෙතෙක් ලෙඩෙකු මෙන් සිටි බළල් පැටවාගේ හදිසි සුවපත් වීම දැකීමෙන් ඇතිවූ කුතුහලය නිසාවෙනි.

ඔව්.දුවේ. කුප්පමේනියා කියන්නෙ හොද බෙහෙතක්. බළලුන්ට විතරක් නෙවෙයි අපි කාටත් හොඳ බේතක්. ලේ හැදෙන්න වගේම තවත් ලෙඩ ගොඩකට කුප්පමේනිය හොඳයි.ඔය ගැන ගොඩක් විස්තර තාත්තගෙන් අහල දැන ගන්න පුලුවන් “යැයි මව දියණියට පැවසුවාය.

ඒ ඇසූ දියණිය බෙහෙත් ශාලාවේ රෝගීන්ට ප්‍රතිකාර කර නිවසට පැමිණි පියාගෙන් ඒ ගැන විමසුවාය. තාත්තේ කුප්පමේනිය කියන්නේ වටින බේතක්ද? මොනවද ඒවායේ ගුණාගුණ

ඔව් දුවේ. කුප්පමේනිය කියන්නෙ හොද බේතක් තමයි.යනුවෙන් කියමින් වෙද මහතා කුප්පමේනියා ගැන විස්තර කිරීමට පටන් ගත්තේය.

මේ පැලෑටිය බළල්ලුන්ගෙ ආහාරයක් වගේම ඖෂධයක් කියල දුව දන්නවනේ. Isodihydronepetalactone.  සහ Isoiridomyrmecin නැමති කුප්පමේනිය මුල් වල තිබෙන බිළාල ආකර්ෂක රසායනිකයන් දෙකක් හඳුනාගෙන ඇති අතර බළලුන් කුප්පමේනිය සදහා ආකර්ෂණය වීමට හේතුව එයයි. කුප්පමේනිය මුලේ සුවඳ මීටර් 50 ක් ඈතට වුණත් බළල්ලුන්ට දැනෙනවා. ඒ වගේම මේ පැලෑටිය හොඳ සරු පසක නම් මීටර් 1 1/2 ක් 2 ක් විතර උසට වැවෙන කුඩා සෘජු කදකින් යුක්ත වාර්ෂික පැලෑටියක්. මේ පැලෑටියේ පත්‍ර සරලයි. ඒ වගේම ඒකාන්තරයි. ඒ වගේම පත්‍රවල සියුම් බූවක් තියෙනවා. මේවායෙ හැදෙන මල් කොළ පාටයි. කුඩායි. අවුරුද්ද පුරාම මල් හට ගන්නවා. ඒ වගේම දුඹුරු පාට බීජ තියෙන කුඩා ගෙඩි තියෙනවා.

ඒ වගේම දුවේ කුප්පමේනිය අපේ රටේ සුලබව දක්නට ලැබෙනවා. පහතරට වියළි කලාපයේ විශේෂයෙන් දකින්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවෙ උණුසුම් ප්‍රදේශවල දකින්න පුළුවන්. තව මලයාසියාව, මියන්මාරය, පිලිපීනය සහ අප්‍රිකා රටවලත් දකින්න පුළුවන්.

එතකොට තාත්තේ කුප්පමේනියාවල උද්භීද විද්‍යාත්මක නාමය Acalypha  indica කියල අපිට උගන්වල තියෙනවා. ඒ වගේම කුලය EUPHORBIACEAE කුලය නමින් හඳුන්වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් ndian Acalpha  කියන්නේ කුප්පමේනියාවලට.

ඔව්. දුවේ, ඒ විස්තර හරි. ඒ වගේම කුප්පමේනියවලට තව නම් ගොඩක් තියෙනවා. මේනියා කියන්නේ උණ හා සමාන තේරුමකින්නේ. උණ නසන කියන අරුතත් තමයි කුප්පමේනියා නම හැදිලා තිබෙන්නේ.

සිංහල භාෂාවෙන් කමනිය කියන්නෙත් කුප්පමේනියවලට. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් අරිට්ට මංජරී කියනවා. දෙමළ භාෂාවෙන් කුප්පෛමේනි කියල කියනවා. හිංදි භාෂාවෙන් කුප්පි කියනවා “යනුවෙන් වෙද මහතා කුප්පමේනිය ගැන විස්තර කිරීමට පටන් ගත්තේය

ඒ වගේම දුවේ කුප්පමේනිය ලෙඩ රෝග රාශියකට බෙහෙතක් විදියට ගන්නවා. ඒ වුණාට විශේෂයෙන් මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ඉතා කලාතුරකින් සමහර පුද්ගලයන්ගේ ජානගත ප්‍රශ්නයක් නිසා කුප්පමේනිය ආහාරයට ගැනීමෙන් පසු විෂ වීමෙන් ලේ වමනය සහ මුත්‍රා සමග ලේ යෑමෙන් බරපතළ රෝගී තත්ත්වයක් ඇතිවන්නත් පුළුවන්.

මෙය ඇති වන්නේ ඉතා කලාතුරකින්. එවන් ජාන ඇති පුද්ගලයෙක් කුප්පමේනිය ගත්තොත් පමණයි. විවිධ බේත් වර්ග විෂ වන පුද්ගලයන් මේ ගැන සැලකිලිමත්වීම වැදගත්.

කුප්පමේනියවල ඖෂධීය වටිනාකම ගැන සලකන කොට චර්ම රෝග, මල බද්ධය, ස්නායු රෝග, කැස්ස, ඇදුම, ශ්වාස නාල ප්‍රදාහය, උණ, දත් කැක්කුම, කන් කැක්කුම, ඉරුවාරදය, සන්ධි ඉදිමුම්, සෙම් ගෙඩි, පණුරෝග, වාත රෝග, ළදරුවන්ගේ සෙම් රෝග. ශරීරයේ දැවිලි, නින්ද නොයෑම. වගේ රෝග රැසකට කුප්පමේනිය කොළ, මුල් වගේම සම්පූර්ණ ශාකයම ඖෂධ ලෙස ගන්නවා“ යැයි වෙද මහතා කුප්පමේනිය ගුණ කියන්නට විය.

ඉතිං තාත්තෙ බේත් වලට කුප්පමේනිය දෙන්නෙ කොහොමද කියල කියන්නකො“ යැයි වෙද මහතාගේ දියණිය ආයාචනාත්මකව කීය.

දුවේ කුප්පමේනිය යෙදෙන බේත් ගොඩක් තියෙනවා.කුප්පමේනිය කොල ඇල්වතුරෙන් අඹරල යටි බඩේ ආලේප කලාම මුත්‍ර අඩස්සිය නැතිවෙනවා.

ඒ වගේම කුඩා ළමයින්ගෙ ශ්වාස නාල ප්‍රදාහයේදි කුප්පමේනිය කොළ සහ මුල් කෂාය දෙනවා. වටපණු දද රෝගයට කුප්පමේනිය කොල ප්‍රලේපය දෙහි ඇඹුලින් ගෑම හොදයි. ඒ වගේම ළමයින්ගෙ මළ බද්ධයට කුප්පමේනිය කොළ තලා ගෙන ගුද මාර්ගයට ඇතුල් කිරීමෙන් මළ පිටකිරීම පහසු කරනවා. ඒවගේම සන්ධි ඉදිමුමට කුප්පමේනිය කොළ යුෂ, දෙහි යුෂ, තල තෙල්, ලුණු සමග ආලේප කරනු ලබනවා. කල්ගත වුණු ඇදුම රෝගයට කුප්පමේනිය දලු, රතුලූනු, මිට බැගින් ගෙන කොටා මිරිකා ගත් යුෂ පත භාගයක් ගෙන මී පැණි අවුන්සයක් දමා උදේ හිස් බඩ බීම ඉතා හොඳයි.

ඒ වගේම සෙම්ගෙඩිවලට මී අරටු. කුප්පමේනිය කොළ ඉස්මෙන් ගල ගාල පුෂ්කර අලු ටිකක් දියකරල උගුරේ ගෑවම හොඳයි” යනුවෙන් වෙද මහතා කුප්පමේනිය ගැන තව තවත් විස්තර කීය. ඉතිං තාත්තේ කුප්පමේනිය කෑමට හොද නැද්ද? යනුවෙන් දියණිය ඇසූවිට වෙද මහතා මෙසේ පැවසීය.

කුප්පමේනිය කොළ, රතුලූනු, අබ සහ අනෙකුත් තුනපහ වර්ග යොදා මුලින්ම තලතෙලින් තෙම්පරාදු කරගෙන පසුව මිටිකිරි ටිකක් දමා සාදාගත් ව්‍යංජනය ඇදුම රෝගින්ට හිතකරයි. ඒ වාගේම කුප්පමේනියා කොළ කැඳ සර්ප විෂට යෝග්‍යයි. ඒත් කුප්පමේනියා කොළ කැඳ සහ මැල්ලුම් ආදිය ගැන විවිධ මත පවතින නිසා වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේවි.”

ඒසේම බළලුන් සපා කෑ විට කුප්පමේනිය මුල් ඇල්වතුරෙන් අඹරා තුවාලයට තබා වරින් වර ඇල්වතුරෙන් තෙමීම හොද බව වෙද පොතේ තිබෙනවා.

ඒ වාගේම බළල් විෂට කුප්පමේනියා මුල් දෙහි ඇඹුලින් අඹරා ගෑමත් හොඳ යැයි පවසමින් වෙද මහතා දියණියට කුප්පමේනියාවල වග තුග හොදින් ගෙන හැර දැක්වීය.

ඇත්තටම තාත්තේ කුප්පමේනියා කියන්නේ හොඳ ඖෂධයක් වග තාත්තාගෙ කතාව ඇහුවාම මට තේරුම් ගියා.

ඒ වගේම කුප්පමේනිය ආයුර්වේදයේ දලු අනුපානවලට ගන්න එක් ඖෂධයක්. වමනකාරක, නිද්‍රාකාරක, විරේචක සහ මූත්‍රාකාරක ගුණ විශේෂ වශයෙන් කුප්පමේනිය වල තිබෙන බව යැයි පවසමින් කුප්පමේනිය පිළිබඳ තවත් තොරතුරු වෙද මහතා විසින් දියණිය වෙත ගෙන හැර පෑවේය.

එහෙම බලන කොට තාත්තේ කුප්පමේනිය කියන්නෙ හොද ඖෂධාහාරයනේ. හැබැයි වෛද්‍ය උපදෙස් අනුව ගැනීම තමයි වඩා හොඳ “ යනුවෙන් පවසමින් කුප්පමේනිය පිළිබඳ විවරණය නිමාකරන ලදි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.