ඉරිදා උදේ විතරක් රාහු නිවාඩුද?

මාර්තු 1, 2024

ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු බිහිවීමේ දී උපකාර වුණේ ගමේ වින්නඹු මාතාව. එදා සිට අද දක්වා ඒක ඉතා යහපත්ව කෙරුණා. සමහර ගැමි පළාත්වල අදත් ඒක සිදුවෙමින් පවතිනවා. කිසියම් තැනක දරු උපතක් සිදු වුණා නම් ගමේ වින්නඹු මාතාව එතැන සිටියා.

කැපුම් කෙටීම් කිසිදෙයක් සිදු වුණේත් නැහැ. දරුවා නිරෝගිව නොලැබුණේත් නැහැ. වෛද්‍ය විද්‍යාව දියුණු වීමත් සමඟම ඒ ක්‍රමය භාවිතයෙන් තොර වුණා. ඒ කියල ඒ ක්‍රමය පාවිච්චියක් නොමැති වුණාට ක්‍රමය නැති වුණේ නැහැ. හුදෙක් ලෙහෙසිය බැලුවා. අලුත් ක්‍රමය ඇති වුණා. පරණ ක්‍රමය යට ගියා. පරණ ක්‍රමය මැරුණෙ නැහැ. එකම මනුෂ්‍යයා වෙනස් වූ එක විතරයි වුණේ. ඡ්‍යොතිෂයටත් වුණේ ඒකමයි. 24 පැයේ ක්‍රමය ආපු නිසා ලෙහෙසිය සිදු වුණ නිසා පරිගණකය උපයෝගි කළ නිසා 60 පැයේ ක්‍රමය බොහෝ සෙයින් පස්සට ගියා. 60 පැයේ ක්‍රමය නිහඬ වුණාට නැති වුණේ නැහැ.

ආදි කාලේ ඡ්‍යොතිෂය ඉගෙන ගත් අය ග්‍රහයන්ට ජීවීන් හැටියට සැලකුවා. එනම් නමින් පවා සූර්ය දිව්‍ය රාජයා, සඳ සාවි, සෙනසුරු දේවතාවා කියලා ඇමතුම් කළා. ගුප්ත ශාස්ත්‍රයෙත් දේව සංකල්පයෙත් එහෙම කළා. ඔවුන් ඔඩ්ඩි මස්සිනා, පත්තිනි අම්මා, කාලි අම්මා කියල ඇමතුවා. පරණ විදියටම ආවතේව කරනවා. හැබැයි නම විතරක් වෙනස්. දැන් ඒවාට ග්‍රහ කිරණ බවට හඳුන්වනවා. මේවා ග්‍රහ බලවේග. ඡ්‍යොතිෂත් දිනෙන් දින දියුණුවීමේදී පරණ දේවල්ම අලුත් ක්‍රම හැටියට ප්‍රදර්ශනය කළා. ගුප්ත ශාස්ත්‍රයත් ඒ වගේමයි. දෙහි කපලා සමහර ශාරීරික දෝස දුරුකළා. අදත් එය පවතිනවා. ඒවා මිථ්‍යා මත කියන බොහෝ අය ඒ අයට වැරදුණාම හොර රහසේ කර ගන්නවා. හොල්මන්වලට බයවෙලා අසනීප වුණාම ඒකටත් බෙහෙත් දෙන සමහර වෛද්‍යවරුන් ගුප්ත ශාස්ත්‍රයට අනුව නූල් මතුරලා දමා ගන්ට උපදෙස් දෙනවා. කර ගන්නවා. හැබැයි නිහඬව, අප්‍රසිද්ධියේ ඒක වගකීමෙන් ලියන්නේ.

අප වටා වේගයෙන් භ්‍රමණය වන ග්‍රහතරු අතර අග්නි, යම, ඉන්ද්‍ර, සවුම කියල දිසා නම් කරනව වගේ ග්‍රහයොත් හිටියා. ඒවා යුරේනස්, නැප්චූන්, ප්ලුටෝ කියල ග්‍රීක දෙවිවරුන්ගේ දේවත්වයෙන් සැලකුවා. පළකළා. එහෙම කරල පසු දිනක දුර වැඩියි ක්‍රියාකාරිත්වය අඩුයි, කියලා සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්කළා. රාහු, කේතාටත් ඕකම කරන්න තමයි සමහර ඡ්‍යොතිෂවේදීන් මාන බැලුවේ. ඡ්‍යොතිෂය ආසියාතික නිසා මේ වගේ විපර්යාස වනවා. ඉන්දියාවේ හා නාසා ආයතනයේ සරල ඡ්‍යොතිෂවේදීන් ඒවා එහෙම නොවන බව ඔප්පු කරල, රාහු කේතාගේ වැඩ පෙන්වාදීලා ඒවා ඡායා ග්‍රහයො හැටියට පෙන්වලා නැවත ක්‍රියාකාරී තත්ත්වයට ඒ දෙපළ පත්කළා. ලංකාවෙත් ඔය ඡ්‍යොතිනැත්තේද නොවේ. ඒ අය වැඩිපුරම මත ගෙනෙන අය.

රාහු, කේතා දෙපළ අපි නොහිතන විපර්යාස ඇති කරනවා. රාහු ග්‍රහයෙක් වශයෙන් පෘථිවියේ සිටින කෙනකුට නරකට පිහිටියහොත් මේ ශ්ලෝකයේ තිබෙන නරක දෙනවා. මේවා පොත්වල සඳහන් නැහැ. එනම් “පඥා විහීන මති වික්‍රම අර්ථහානි - විසුද්ධ ගාත වදබංධන රෝග පීඩා

භන්ද්‍ර ප්‍රවාස ධන හානි මහපපුනාසම් - රාහු දසා භජනි ජීවිත කල්පසහස්‍රම්”

ඒ වගේම රාහු කියන්නෙ සංස්කෘත භාෂාවෙන් සිංහල තේරුම “අත්හල යුතු” යන්නයි. පුරාණ ඡ්‍යොතිෂයේ රාහු කාලයක් විස්තර කළා. ඒවා ඡ්‍යොතිෂය වුණාට විද්‍යාත්මකයි. ගණිත ක්‍රමය මත සැකසූ දේවල් දවසේ රාහු කාලය කිව්වේ දවසේ මරුසිටින දිසාව වගේම අත්හල යුතු වේලාවයි. ගුප්ත ශාස්ත්‍රයෙන් මේ විදියටම පවතිනවා. ඔය යාම කාලය කිව්වේ එනම් යාම දේවතාවා ගමන් යන වේලාව. දැන බොහොමයක් මේවා පාවිච්චියේ නැහැ. තිබුණත් පාවිච්චි කරන්න දන්නෙ නැහැ. සම්මතයක් හැටියට ඕනෑම දෙයක් ඇතිවෙනවා. පවතිනවා. නැත්නම් රකිනවා හා නැතිවනවා. ඡ්‍යොතිෂය අනුව ඕකම මහ බ්‍රහ්මයා මැව්වා, විෂ්ණු ආරක්ෂා කරනවා. ඊශ්වරයා නැති කරනවා. මේ අනුව බලන කොට විෂ්ණු මූර්තිය කියන්නෙ රකින මූර්තියයි. අපරදිග භාවිතය දියුණු වනවිට පහසුකම් ඇතිව, පහසුකම් නැති පෙරදිග භාවිතය නොදියුණු වුණා. මූර්තියකට ඇත්තේ විනාඩි එකයි. නැත්නම් තත්පර 60යි. හෝරාව කිව්වේ පැය 01 නැත්නම් විනාඩි 60 යි. එවගේම දවසේ කාල හෝරාව දැක්වුණේ අර්කඞ ශුක්‍රෝ කියන ශ්ලෝකයට අනුව එවගේම දවසකට රාහු කාලයත් ඡ්‍යොතිෂයේ සඳහන් වනවා.

ඡ්‍යොතිෂයේ කොහොම සඳහන් වුණත් විශ්වාසය මත සමාජය පිළිගෙන ඇති සම්මත කරුණු ලෙහෙසියෙන් වෙනස් කරන්න අමාරුයි. විද්‍යාත්මක සමහර දේවල් පවා සමාජය අත්හරිනවා නම් විද්‍යාත්මක නොවන දේ කෙසේවත් පිළිගන්නෙ නැහැ. දැන් ඔබ අසාවි ඒවා මොනවාද කියලා. අපි නැකතක් දෙනකොට කොච්චර චන්ද්‍රයා බටහිරේ ඉන්නවා වුණාත් ඒ දිශාව බලලා නැකතක් ගන්නෙ නැහැ. බස්නාහිර කියන්නෙත් අනිත් දිශාවන් වගේ එක දිශාවක් විතරයි. බස්නාහිර දිශාවෙන් අනිත් දිශාවන් වගේම සුබවාදි කරුණු තිබෙනවා, මිනිසුන් නොදන්නවට ඒ කොහොම කිව්වත් මිනිස්සු ඒවා පිළිගන්නෙ නැහැ. ඒ වගේම තමයි රාහු කාලයත්.

බ්‍රහ්ම මූර්තය ආරම්භ වන්නෙ එකම නියමයක් උඩ. එනම් සූර්යය උදාවට පැයකට කලින් ඉරිදා දිනයට පමණක් බ්‍රහ්ම මූර්තියෙන් නැකැත් දෙන්ට බැරිවනවා. ඒක හරියට “අභිජිත්” නැකත වගේ හොඳ වුණාට ගන්ට අමාරුයි. ඒක නිසා උගත් ඡ්‍යොතිර්වේදීන් ඒ නැකත හැර ඉතිරි නැකැත් 27න් එකකට දෙනවා. ඒක තමයි ඡ්‍යොතිෂයේ සිරිත.

ඒ වගේ ඉරිදා දිනයට බ්‍රහ්ම මූර්තයෙන් නැකැත් නොදි පංච පක්ෂි ක්‍රමයෙන් හෝ දුන්නාම ප්‍රශ්න නැහැ. අනික පංච පක්ෂි ක්‍රමය මීට වඩා බලවත්. රකිනවට වඩා අත්හළ යුතු ඒක වටින නිසා බ්‍රහ්ම මූර්තිය පමණක් උපයෝගි කර නොගත්තාම ඉවරයි.

ඊළඟ ප්‍රශ්නය රාහු කාලයට පැය 1 1/2 ක කාලය වුණේ ඇයි කියලා. එනම් ගණිත ක්‍රමය අනුව වසරක කාලය, පොළොව ඇලවි ගමන් කරන ගණන = 360/ 23.5 = 15.32 = 15 = පැය 1.30 . මේ එක මතයක්.

රාහු කාලය කියන්නෙ ‘අත්හල යුතු කාලයක්’ කියල සඳහන් කලානේ. රාහු කාලය විශේෂයෙන් බලපවත්වන්නෙ සූර්යය කිරණ සමඟ ඇති සාපේක්ෂතාවයක් කියලත් දන්නවනේ.

මේ රාහු කාලය කිසිම දිනකට විශේෂතාවයක් නැතිව මධ්‍යස්ථව ක්‍රියා කරනවා. දවසේ රාහු කාලය තුළ බ්‍රහ්ම මූර්තිය, සූර්යෝදය, යම කාලය, ගොම්මන් සමය, (කාලය) සුනියං මූර්තිය වැනි තව තව මූර්ති යෙදෙනවා. සමහර විට මේවා විනාඩි 60, පැය 2 1/2 වැනි, සංකීර්ණ කාලවලින් යෙදෙනවා. මේ එක කාලයකටත් වඩා සූර්යෝදය ඉතා වටිනවා. මේ වෙලාවට සමහර රෝග පවා නිවාරණය වනවා කියලා වෛද්‍ය විද්‍යාවේ සඳහන් වනවා. සමහර යෝගින් වහන්සේලා සූර්යය වන්දනාව කරනවා. එම නිසා සූර්යය අස්ත වීමෙන් පසු යළි යූර්යය උදාවනතෙක් කාලයට සූර්යය බලපෑම ඉතා අල්පයි නැත්නම් ශූන්‍යයි.

සාමන්‍යයෙන් රාහු කාලය සඳුදාට 7.30-9.00 , අඟහරවාදාට 3.00-4.30 , බදාදාට 12.00-1.30, බ්‍රහස්පතින්දාට 1.30-3.00, සිකුරාදාට 10.30-12.30, සෙනසුරාදාට 9.00-10.30, ඉරිදාට 4.30-6.00 ලෙස ගැනෙනවා. ඒ අනුව අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල උදේ වරුවේ රාහු කාලය යෙදෙන්නේ මධ්‍යම රාත්‍රි 12 සිට 6 දක්වායි. එවිට සූර්යයා අපට අස්තව සිටින නිසා සමහරු රාහු කාලයක් ඉරිදාට නැතැයි කියනවා. එහෙත් එය තර්කානුකූල නැහැ. ලංකාව වැනි රටකට, රාහු කාලය ඉතාම මධ්‍යස්ථවයි ක්‍රියා කරන්නෙ. එක දවසකට විතරක් කිසියම් කරුණකට රාහු කාලය හෝ මූර්තින් වෙනස් කරනවා නම් හෝ නොසලකනවා නම් තවත් කරුණුවලට තවත් දවස්වලට මේ රාහුකාලය ඉවත්විය යුතු වනවා. එම නිසා රාහු කාලය ඉවත් කිරීමට කිසිදු ස්ථිර සම්මතයක් නොමැති නිසා කිසිදු දිනක වත් රාහු කාලය ඉවත් නොවිය යුතු වනවා.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.