රුචක-සස සහ ධර්ම කර්මාධිපති යෝග බලයෙන් ඉදිරි දෙසතියේ ලග්න අටකට සිතූ පැතූ සම්පත්

පෙබරවාරි 23, 2024

පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න අටකට අතිශය සුබපල ද ලග්න දොළසටම පැතුම් ඉටු කෙරෙන වාසනාවන්ත දින කීපයක් ද ගෙනදෙන පිහිටීමකි.

මේ අතරින් මේෂ, කටක, තුලා, මකර, ලග්න හතරට රුචක යෝගබලයෙන් උත්සාහය, උනන්දුව අසීමිත ලෙස ක්‍රියාත්මක වී බාධක, අවහිර දුර්වලතා, සිඳබිඳ දමා ඉදිරියටම ගමන් කිරීමේ දැඩි හැකියාවක් ලැබෙන අතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න සතරට සස යෝගබලයෙන් වස්තු සම්පත් රැස් කිරීමට මෙන්ම ප්‍රබලත්වයක් ඉසිලීමට ද ආගම දහමට ළැදිවන හා චිරප්‍රසිද්ධියට පාත්‍රවන මෙන්ම දැසි දසුන් ඇතුළු සුවිසල් මන්දිරවල වාසයට භාග්‍යය යෙදෙන කාලයක් උදා වනු ඇත. කුම්භ, සිංහ ලග්න දෙකට ධර්ම කර්මාධිපති යෝගය යෙදීමෙන් උසස් දියුණුව, කීර්තිරාවය, ප්‍රසිද්ධිය, සහජ කුසලතා ඉස්මතුවීමට හේතු සැලසෙන්නේය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට ආලෝක ග්‍රහ බලය යෙදෙමින් පැතුම් ඉටුවන වාසනාවන්ත කාලයක් උදා වන්නේය.

ප්‍රවීණ ලේඛකයනට, ගත්කරුවන්ට, දේශකයන්ට මෙන්ම ජනමාධ්‍යවේදීන්ට ද පුරාවිද්‍යා ගවේෂකයනට, චින්තකයනට, දාර්ශනිකයනට හිතකර ග්‍රහ ගමනක්වන බුධ, කුම්භ රාශිගත වීම නවතම පුවත්පත්, සඟරා, නිර්මාණ බිහි කිරීමට ද හේතු සපයයි. එසේම සත්කලත්‍ර, සස, ගජකේෂරී යෝගබල ක්‍රියාත්මක වීමෙන් දේශපාලන පක්ෂ අතර සමඟි සන්ධාන බිහි වීම, අබිරහස් කුමන්ත්‍රණ බලවේග මර්දනය කෙරෙමින් රාජ්‍ය පරිපාලනමය ක්ෂේත්‍රයට නවමුහුණුවරක් ලැබීමට හේතුයි.

එහෙත් ලෝකය පුරා මෙන්ම මෙරට තුළ විදුලිය ආශ්‍රිතව ගිනි ගැනීම් ආදිය නිසා ජීවිත මෙන්ම දේපළ වස්තු හානි විය හැකිය. අභූත චෝදනා, නෛතික ප්‍රශ්න, ගැටලු අර්බුද කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි වන පසුබිමක් නිර්මාණය වේ.

 

මේෂ ලග්නය

අඟහරු උච්ච ක්ෂේත්‍ර වී කර්මස්ථානගතව ඇත. කුජ ශුක්‍ර රසකාමි යෝගබලය අඟහරු උච්චවීමෙන් රුචක පංච යෝගය කර්මස්ථානගතවීම මෙලොව පෙර පින් ඵලදෙන භාග්‍යමත් කාල පරාසයකි. ගෞතම බුදුපියාණන් වහන්සේට ඇඩොල්ප් හිට්ලර්, මහා අක්බර් රජතුමා, ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් සහ ජෝසප් ස්ටාලින් ප්‍රභූවරුනට මෙකී අඟහරුගේ දැවැන්ත රුචක යෝග බලය ජන්මයෙන්ම උදාවී ඇත. ශ්‍රී ලාංකේය ධර්ම දීපයෙහි මේෂ රාශි හිමි ස්ත්‍රී පුරුෂයනට අතිශය ගුණාත්මකවේ. යෝගබලය මාර්තු 15 සවස් භාගය තෙක් බලපානු ඇත.

 

වෘෂභ රාශිය

පංච මහා පුරුෂ යෝග අතරින් 10 වැන්න වූ කර්මස්තාන ගත සස යෝගබලයද 01 - 12 අධිපති කුජ ශුක්‍ර යෝගය 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ඇත. මැණික්, මිනිරන්, පතල් ලාභ, නිදන් වස්තු ලාභ, ව්‍යාපාරික උසස් මූල්‍යමය ගනුදෙනු පෙර පින් ඵලදෙන අග්‍ර ගණ්‍යයෙහිලා ගැනෙන රාජ්‍යය හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජන ආනයන අපනයන මෙන්ම කොන්ත්‍රාත් කරණයෙහි ඉහළම වාසිදායක බවකින් අනූනවීම ප්‍රසිද්ධිය. කීර්තිය, උත්සාහය, උනන්දුව. තීව්‍ර වී යාම ප්‍රභූජනයා ආශ්‍රයට ලැබීම හේතු වාසනා යෙදී ඇත.

 

මිථුන රාශිය

පෙර පින් මෙලොවදීම ඵලදෙන දිට්ඨධම්ම වේදනීය පුණ්‍යකර්ම බලය අසීමිතව ළඟා කෙරෙන සමයෙකි.

රාජ්‍යමය හෝ පෞද්ගලික ක්ෂේත්‍රයේ උසස්ම ජීවන ගමන්මඟකට ප්‍රශස්ත බලවේගයෙකි. 01, 05 , 09 ධර්ම කෝණයද 04 , 08, 12 මෝක්ෂ කෝණයද ආලෝකමත් කෙරෙන පිංසාර ආලෝක ග්‍රහයන්ගේ ග්‍රහණයද මිථුන රාශිය පුරා බල පැවැත්වෙයි.

පෙර ආත්මයන්හිදි කෙරුණ පින්දහම් තුළ බලය මාර්තු 15 තෙක් මිථුන රාශි හිමියනට බොහෝදුරට බලපානු ඇත. ධනාත්මක මෙන්ම ගුණාත්මක බවක් මිථුන ජන්මලාභිනට අධිවේගීව ක්‍රියාත්මක වෙයි.

 

කටක රාශිය

කටක රාශිය හිමි ජන්ම ලාභින් හදිසි තීරණ ඉක්මන් කෝපවලින් දුරස්ථව, දූරදර්ශීව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු විජයග්‍රාහී කාල පරාසයකට මාර්තු මැද බල පැවැත් වේ. 07 වැන්නෙහි කුජ උච්චවීමෙන් පංචමහා පුරුෂ යෝග අතරින් රුචක යෝග බලයද ව්‍යාපාරික හෝ පදිංචි ස්ථානයනට ආලෝක ග්‍රහබලයද උපරිමයටම යෙදේ. ධර්මවාදී ආදායම් මාර්ගයන්හිදී රහස්‍ය ක්‍රමවේද අනුගමනය, මූල්‍යමය ආදායම් මාර්ග සාර්ථක වෙන්නෙකි.

භූමි ආශි‍්‍රතව ඉතා ඉවසීමෙන් ක්‍රියාකළ යුතු අතර නීතියට ගරු කරමින් ක්‍රියාත්මකවීම යහපත් වෙයි. හදිසි තීරණ තීන්දුවලින් දුරස්ථ විය යුතුවෙයි.

 

සිංහ රාශිය

07 වැන්නෙහි සස යෝග බලයද ධර්ම කර්මාධිපති යෝගය 06 වැන්නෙහි ද බලපානු ඇත. එසේම රසකාමී හැඟීම් මතු කෙරෙණ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම සැප සම්පත් ගලා එන සිංහ රාශි ජන්ම ලාභින්ටද ශ්‍රී ධර්මද්වීපයවූ ශ්‍රී ලංකා ජනරජයටද සමස්ත ජනතාවටද අතිශය ප්‍රශංසනීය කලාපරාසයකි. තිරසාර දැවැන්ත මූල්‍යමය ක්‍රියාකාරකම් අතිශය සාර්ථක බවට පාත්‍ර කෙරෙයි. උසස් අධ්‍යාපනයට සුබවාදී විවාහ මංගල කටයුතුවලටද ඉතා යහපත් වෙයි. සමාරම්භක ක්‍රියාකාරකම් සුබවාදීව නිමාකොට ගැනීමේ භාග්‍ය උදාකෙරුණු ඇත. දැනුම, අවබෝධය, තීරණ තීන්දු කර උත්සාහය, උනන්දුව ක්‍රමවත් හරවත් බව මතු විය යුතු යහපත් කාලයෙකි. සිංහ රාශි ජනරජයට මෙන්ම සිංහ රාශි පුරවැසියනට ද ඉතාම සුබවාදී කාල පරාසයකි.

 

කන්‍යා රාශිය

08 -09 ස්ථාන දෙකට අධිපති අඟහරු සිකුරු 05 වැන්නේය. ආලෝක ග්‍රහතාරකා දෙකකින්ම 01 , 05, 09 ධර්ම කෝණයද 02, 06, 10 අර්ථ කෝණයද අතිශය ප්‍රශස්ත වෙයි. මිථුන, කන්‍යා අධිපති ඤාණකාරක, බුධ 06 වැන්නේය. නිර්ණාමික නාමික සොර සතුරු බලවේග මර්දනය වෙයි. රෝගාබාධ, මාරක අවහිර දුරස්ථ වෙයි. බොහෝදුරට 02,06,10 අර්ථමය කෝණය සතුටුදායක බවක් ගනු ලබයි. සමාරම්භක ක්‍රියාකාරම් හිතවාදි සැමගෙන් අනුග්‍රහයද ලබා සතුටුදායක බවට නැඹුරකර ගැනීමෙහි ශක්තිය, ධෛර්යය උපතින්ම යෙදී ඇත. උසස් ජීවන ගමනකට වාසනාව ඇත. බොහෝදුරට දැනුම අවබෝධය ජීවන ගමන් මගට හිතකර වෙයි.

 

තුලා රාශිය

සිකුරු හිමි තුලා රාශිය රුචක යෝග බලය 04 වැන්නේද කුජ, ශුක්‍ර 01 - 02 අධිපති දෙදෙනාගෙන් සංයෝගය මතුවී රසකාමී යෝගබලයද යෙදී ඇත. උත්සාහය, උනන්දුව මත සමාරම්භක කාර්යභාරයන් සතුටුදායක වෙයි. රැකියා ආදායම් මාර්ග, දෙස් විදෙස් ගමන් බිමන් සබඳතා විවාහ මංගල ප්‍රමාදදෝෂ ගැටලු බොහෝදුරට අප්‍රමාදව විසඳෙයි. පෙර පින් ඵලදෙන යුගකාලීන භාග්‍යමත් කාල පරාසයකි. ප්‍රභූ ජනයාට ඇසුරට ලැබෙනු ඇත. නිර්මාණනීය කාර්යභාරයක් බොහෝදුරට සතුටුදායක වෙයි. දෙස්විදෙස් මූල්‍යමය සේවා සාර්ථකත්වය දක්වා යෙදෙයි. අභියෝග සැම අභිභවමින් ඉදිරියටම යයි. ජයෙන් ජය ළඟාවෙයි.

 

වෘශ්චික රාශිය

පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය මෙන්ම රසකාමි බලය 04 වැන්නෙන් මතුවෙයි. පදිංචි ස්ථානභූමි ගමන් බිමන් සතුටුදායක වෙයි. බාධක අවහිර දුරුවෙයි. 1 - 12 අධිපති කුජ සිකුරු සංයෝගයද 03 වැන්නවූ වික්‍රමස්ථානගතව ඇත. එසේම ගරුක කර්මය විවරණය කෙරෙන 04 වැන්නෙහි බලයද පදිංචි නිවාසය, භූමිය, රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතවූ ක්‍රියාකාරකම් තෘප්තිමත් කෙරෙනු ඇත. දැනුම මෙන්ම අවබෝධයෙන් දුරස්ථ පිරිස් ඇසුරු කිරීමද විවිධතම ක්‍රියාකාරිකම්හි අවහිර බාධක ඉස්මතුවෙන කාල පරසායකි. හදිසි තීරණ තීන්දු අසතුට අලාභ හානි ගෙනදීමටද හේතුවිය හැකිය. උත්සහය, උනන්දුව, බොහෝදුරට සාර්ථක බවක් පෙන්නුම් කරයි.

 

ධනු රාශිය

දෙවැන්නා වූ ධනස්ථානය ආශි‍්‍රතව කුජ ශුක්‍ර සංයෝගය ද 03 වැන්නෙහි බුධ ශනි ප්‍රබලව යෙදීමද යහපත් වෙයි. 02 - 07 ආලෝක ග්‍රහයන් යෙදීම ධනාත්මක පසුබිමක් දර්ශනය වෙන්නෙකි. 08 අධිපති 07 වැන්නෙහි යෙදී ඇත. මේ අනුව ඉදිරි අනාගත කාර්යාභාර්යන් බොහෝදුරට සාර්ථක කෙරෙනු ඇත. හදිසි තීරණ තීන්දු අවැඩදායක බවක් දෘශ්‍යමාන කෙරෙයි. සිතැඟියාවන් බොහෝදුරට සාර්ථකත්වය පෙන්වන සුබවාදී කාල වකවානුවකි.

 

මකර රාශිය

04 - 05 අධිපති කුජ සිකුරු ලග්නගතව යෙදී ඇත. එසේම 04 -11 අධිපති සෙන්පති භූමිපුත්‍ර අඟහරු මකරයෙහි උච්චවීමෙන් රුචක යෝග උදාව පෙන්වයි. මේ අනුව රසකාමි බවක් පෙබරවාරි 20 මාර්තු 07 දක්වා ප්‍රබලව බලපානු ඇත. සබඳතා විවාහ මංගල කටයුතු සාර්ථක වෙයි. පදිංචි ස්තානය, භූමිය, ආශි‍්‍රත ක්‍රියාකාරකම් සතුටුදායක වෙයි. මූල්‍යමය කටයුතු සමඟ රැකි රක්ෂා ආදායම් මාර්ග තෘප්තිමත් බවට තුඩුදෙනු ඇත. විජය ග්‍රහණය ළඟාවෙයි.

 

කුම්භ රාශිය

ධර්ම කර්මාධිපති යෝගය 12 වැන්නෙහි මෙන්ම පංච මහා පරුෂ යෝග අතරින් සසයෝග බලය ලග්න ගතවද යෙදීමෙන් සංසාරික පුණ්‍ය සම්භාරයෙන් මෙකී ආත්මය තුළදීම පලදෙනු පෙනී යයි. මැණික්, නිදන්වස්තු, නිවාස භූමි දේපළ වස්තු ළඟා කෙරෙන පුණ්‍යවන්ත කාල පරාසයකි. 12 වැන්නෙහි රසකාමි කුජ ශුක්‍ර යෝගබලයද උදාවෙමින් පවතිනු ඇත. සබඳතා, විවාහ කටයුතු සතුටුදායක වෙයි. සමාරම්භක සියලුම කටයුතු සාර්ථක වෙනු ඇත.

 

මීන රාශිය

08 - 09 ස්ථාන අධිපතින් වන සිකුරු කුජ අයස්ථාන වූ 11 වැන්නේ ද බුධ ශනි සංයෝගය 12 වැන්නේද 04 -11 ස්ථාන ආශි‍්‍රතව ආලෝක ග්‍රහ බලයද 02 වැන්න වූ ධන ස්ථානය මෙන්ම සෞරග්‍රහ මණ්ඩලීය ග්‍රහ රටාව ඉතාම ප්‍රශංසනීය බවක් දරනු ඇත. ආර්ථිකය, රැකියා ආදායම් මාර්ග ඉතාම සතුටුදායක බවක් ගනු ලබයි. රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම වර්තමාන ක්‍රියාකාරකම්හි නවතම ජවයක් ප්‍රවණතාවයක් මතු කෙරෙනු ඇත. දිගුකාලීනව ආ ගමන්මග නවිකරණය වීමෙන් ආර්ථික ප්‍රතිලාභයන්ද සතුටුදායක වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.