555 නිතර දකිනවාද? වෙනස්කම් රැසකට සූදානම් වන්න

මාර්තු 22, 2024

 

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ආන්දෝලනාත්මක නමක් සහ අංකයක් සම්බන්ධ කතා බහට ලක් වූ නැඟී එන ඉන්දීය ක්‍රීඩකයකු ඔබට මතකද? ඔහු ඉන්දියානු රුපියල් කෝටි 3.2කට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වෙන්දේසියට ගැනුණා. ඒ ලීගයෙන් ඉවත් වී සිටි රවිචන්ද්‍රන් අෂ්වින් වෙනුවට.

ඔහුගේ නම වොෂිංටන් සුන්දර්. ඒ නම වගේම ඔහුගේ ජර්සි අංකය ක්‍රිකට් ලෝකයේම කතා බහට ලක් වුණා. අවසානයේ ඔහු ඒ අංකය පිළිබඳ රහස මාධ්‍යයට හෙළි කළා.

“මම ඉපදුණේ ඔක්තෝබර් 05 වැනිදා උදේ 5.05ට. එනිසා මම මගේ නිල ඇඳුමේ අංකය 555 හැටියට ගන්න තීරණය කළා.“

මෑත කාලය වන විට අන්තර්ජාතික කණ්ඩායමට පවා පිවිසි සුන්දර් සිය සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගන්නා මේ 555 අංකය ඔබත් යම් මොහොතක දැක ඇති.

අංක විද්‍යාව ලෙස සලකන්නේ අංක පිළිබඳ හදාරමින් ඒවා පුද්ගලයන්ගේ ජීවිතවලට ඇති කළ හැකි විශේෂත්වයන් පිළිබඳ මෙන්ම අනාගතය පිළිබඳ පෙර නිමිති සොයා ගන්නා ක්‍රමයක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ගත් විට අංක 5 නියෝජනය කරන්නේ ත්‍රාසජනකත්වය, කුතුහලය, ආවේගය, සමාජශීලීත්වය, ජවය වැනි ලක්ෂණ. එනිසා 555 නිතර ඇස ගැටෙන ඔබ ධනාත්මක වෙනසක්, නිදහසක්, හෙළිදරවු කරගැනීමක් මෙන්ම වර්ධනයක් පිළිබඳ පෙරනිමිත්තක් ලෙස එය අවබෝධ කරගත යුතු වනවා. 555 යනුවෙන් හඳුන්වන්නේ අංක 5 වැඩිදියුණු කරන ලද ලක්ෂණයි. එනිසා අංක විද්‍යාවට අනුව 555 මඟින් විශ්වය ඔබට දෙන පණිවිඩය වන්නේ සුබවාදී වෙනසකට සුබපැතුමක් බඳු වූවක් බව වටහා ගැනීම අත්‍යවශ්‍යයි.

දිව්‍ය අංක ඔබට ඉබේ පෙනෙන දසුනක් නොවන බවද මෙහිදී ඔබ වටහාගත යුතුයි. එකම අංකය දිගින් දිගට පෙන්නුම් කරන්නේ ඔබේ ඉෂ්ඨ දේවතාවා විසින් බව බටහිර මෙන්ම පෙරදිග විශ්වාසයයි.

මේ දෙකොටසටම අනුව 555 යනු විවෘත මනසකින් යුතු වීම අවශ්‍යම කාලයක් ඔබට ඉදිරියේදී යෙදෙනු නියතයි. මෙය රැකියාව, විවාහය, අධ්‍යාපනය පමණක් කියා පටු ලෙස සිතීමෙන් පලක් නෑ. සමහර විට මෙය කඳු නැඟීමේ අත්දැකීමක් වැනි ඔබ නොසිතන කටයුත්තක් වෙනුවෙන් විය හැකියි. ඒ කුමන දෙයකදී වුවත් ඔබට ආරක්ෂාව සැපයෙන බව නම් 555 පැහැදිලිවම තහවුරු කරනවා.

විශේෂයෙන් එවැනි දෙයක් සිදු වන්නේ මේ අංකය ඔබේ අධ්‍යාත්මය සමඟ බැඳී පවතින නිසා. ඔබට ඔබ අවට සිදුවන ඇතැම් දේ වෙනස් කළ හැකි වන්නේ ඔබ ආධ්‍යාත්මිකව බලසම්පන්න නම් පමණයි. ඉෂ්ඨ දේවතාවන්ට අවශ්‍ය වන්නේ ඔබේ ජීවිතයේ අරමුණ කුමක් ද සහ ඒ අරමුණ වෙනුවෙන් ඔබ නිවැරැදි පියවර තබන්නේ ද යන්න තහවුරු කර ගැනීමටයි. 555 ඔබට යෝජනා කරන්නේ ඔබේ දියුණුව වෙනුවෙන් නොනැවතී ඉදිරියට යන ලෙස මෙන්ම ඔබේ දැනුම පිළිබඳ විශ්වාසයෙන් අරමුණුගත වීමට කටයුතු කරන ලෙසයි. මේ අංකය නිතර දකින ඔබ පෞද්ගලික දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු අතර ඒ සඳහා ඔබට විශ්වයේ ශක්තිය ඇති තරම් ලැබෙනු ඇති. එමෙන්ම ඔබ ඔබේ හෘද සාක්ෂිය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරමින් ඉවසිලිවන්ත වන්නේ නම් සුබවාදී ප්‍රතිපල ලැබෙන බව කිව හැක්කේ දෙවියන් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක ව ඇති බව මේ අංකයෙන් ඔබට කියා ඇති බැවිනි.

ආදරය පිළිබඳ කටයුතුවලදී 555න් පැවසෙන්නේ ඔබේ අන්තර් පුද්ගල සබඳතා පිළිබඳවයි. ඔබ ඉතා තෘප්තිමත් ආදර සම්බන්ධයක් සහිත අයකු ලෙස මෙය ඉඟි කරනවා මෙන්ම තවමත් ඔබ ආදර බැඳීමක් ඇති කර නොගත්තකු නම් ඔබේ කැමැත්තට හරියටම හරියන පුද්ගලයා ඔබට හමුවන බව මින් කියැවෙනවා. ඔබ නිතර මේ අංකය දකින්නේ නම් ඔබට ඔබේ සත්‍ය ප්‍රේමය මුණ ගැසෙනවා නියතයි. එසේම ඒ පුද්ගලයා නිසා ඔබේ ජීවිතයේ විශාල වෙනසක් ඇති වීමටත් නියමිතයි. එසේ නොමැති නම් ඔබ ඒ වෙනුවෙන් සටනට වුවත් සූදානම් කාලයක් එළැඹ තිබෙන්නේ. ඔබට ඔබේ අනාගතය පිළිබඳ සුබවාදී චින්තනයක් පවත්වා ගැනීම සුදුසුම කාලය මෙයයි. ඔබේ ජවය, ශක්තිය උපරිමයෙන් ධනාත්මක තත්ත්වයක පවතින බැවින් ඔබට මුළු හදවතින්ම ඔබේ ප්‍රේමය පිළිගැනීමට හැකි වනු ඇති. එමෙන්ම ඔබ විවාහක නම් ඔබට ඉතා වාසනාවන්ත දරු පැටියකු ලැබී නිවෙස ආලෝකයෙන් බබළන කාලයක් වන බව දැනගන්නත් මෙයින් හැකියාව තිබෙනවා.

වෘත්තීය වශයෙන් ගත්තද ඔබ 555 නිතර ඇස ගැටීමෙන් අවබෝධ කරගත යුත්තේ ඔබේ රැකියාවේ හොඳම අවස්ථාව එළැඹ ඇති බවයි. ඔබේ ඉටුදෙවියන් ඔබ වඩාත් සුදුසු මඟට යොමු කරනවා ඇති. ඇතැම් විට ඔබේ කරදරකාරී රැකියාවෙන් ඉවත්ව ඔබට ගැළපෙන සුදුසුම රැකියාවට ඔබට අවස්ථාව සැලසෙනවා විය හැකියි. ඔබට ඉහළ නිලධාරීන් සමඟ උරෙනුර ගැටී ඔබේ අදහස් දක්වමින් ඔබේ දක්ෂතාවන් ප්‍රදර්ශනයට අවස්ථාව ලැබෙනු ඇත. ඔබේ නිර්මාණාත්මක හැකියාවන් මඟින් වැඩි ලාභදායී තත්ත්වයක් උදාකරගත හැකි වන අතර ඒවා වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීම සුදුසු බවට මෙය සංකේතයකි. වෙනත් විදිහකින් ගත හොත් ඔබේ සේවය නිවැරැදි ලෙස ඇගයෙන්නේ නැති නම් ඔබට ඔබේ රැකියාව වෙනස් කිරීමට කාලය එළැඹ ඇති බවට මෙයින් විශ්වය ඔබට දැනුම් දෙනවා.

පසුගිය සතියේ කතා බහට ලක් කළ 444 මෙන්ම 555 ද ඉතා වැදගත් වෙනස්කම්වලට මුල පුරන අංක ලෙස සනිටුහන් කරන්න පුළුවන්. කවුරුන් හෝ තමන්ගේ වෙනසක් වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් ඒ පුද්ගලයා අවට පරිසරය ඒ සඳහා ඔහුට හෝ ඇයට බල කරනවා විය හැකියි. අංක 555 පවසන්නේ ඒ වෙනස පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන ලෙසයි. විශ්වයේ බලය පිළිබඳ ඉගෙනීමට සහ විශ්වාස කිරීමටත් පමණක් හැකියාව ඇත්නම් ඔබට ඒ බලයේ අනුග්‍රහය ලැබෙනවා නියතයි. එහදී ඔබට ඔබේ වෙනස සමඟ වෙනස් වෙමින් ඔබේ අරමුණු ඉටු කරගෙන අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

බටහිර දිව්‍ය අංක විද්‍යා ක්‍රමයට අනුව අංක 5 අයත් වන්නේ මේෂ ලග්නයටයි. එයින් නියෝජනය වන කලබලකාරී ගතිය සහ වැරැදි තීරණ ගත හැකි ස්වභාවයට ඉඩ නොදී මොහොතක් ඉවසා ඔබේ තීරණය ගැනීමෙන් ඔබට මේ අභියෝග ජයගන්නට පුළුවන්. එනිසා ඔබ දිගින් දිගටම 5, 55හෝ 555 දකින්නට වුණ හොත් නොපසුබට බව මෙන්ම කල්පනාකාරීබව එක්තැන් කොට සුදුසුම තීරණය ගැනීමට වගබලා ගන්න. අත්‍යාවශ්‍ය වෙනස්කම්වලට මුහුණ දෙන්න. එවිට නුදුරේදීම ඔබට ඔබ ගැනම සිතා සතුටු විය හැකි වනු ඇති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.