ඔබේ නිවෙසට ප්‍රේතයන්ට ඇතුළු වීමට ඉඩ තබන්න එපා

මාර්තු 15, 2024

ඔබත් මාත් පියවි ඇසින් දකින මේ පෘථිවිය හා මෙහි වෙසෙන මිනිසුන් ඇතුළු ජීවී කොට්ඨාස වලට වඩා අපට නොපෙනෙන තවත් බොහෝ ජීවී කොට්ඨාස ඇති බව බොහෝ ආගම්වල ඇති ඉගැන්වීම් අනුව පැහැදිළි වේ. මේ පෘථිවි තලය තුළ වුවද අපට පියවි ඇසට නොපෙනෙන විවිධ ජීවී කොට්ඨාස සිටින අතර ඔවුන් “ක්ෂුද්‍ර ජීවීන්” යනුවෙන් හැඳීන්වේ. ආගමානුකූලව අපට නොපෙනන ජීවින්ට අමනුෂ්‍ය කොටස් යන නම භාවිතා කරන අතර මිනිසාට යහපත සලසන අමනුෂ්‍ය කොටස් මෙන්ම මිනිසාට විවිධ අයහපත් දේ සිදු කරන අමනුෂ්‍ය කොටස්ද සිටිති.

යක්ෂ, ප්‍රේත, පිසාච කුම්භාණ්ඩ වැනි නම්වලින් හඳුන්වන විවිධ කොටස් මිනිසුන් විවිධ විපත් සිදු කරන බවද පිළිගැනේ. ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවෙන් එකක් වන පේත වත්ථුවේ ප්‍රේතයන් වර්ග හතරක් ගැන සඳහන් වේ. එහි ගිජ්ක්ධාම තන්හිතා යනුවෙන් හඳුන්වන ප්‍රේත කොටසක් ගැන දැක්වෙන අතර ඔවුන් මහත් කුසගින්නකින් හා ශරීරයේ ඇතුළතින් මහා ගිනි කන්දකින් දැවී දැවී සිටී. පංච මහා ගංගා එක දිය පහරක්ව ඔවුන්ගේ ගේ මුඛයට හැරෙව්වත් එක දිය බිඳක් වත් යා නොදී දැවී යයි. බුප්පි පාසිකා යනුවෙන් හැඳීන්වෙන ප්‍රේතයන් සෙම, සොටු ආදී දෙයක් වත් කල්ප ගණනක් යනතුරු නොලැබී කුසගින්නේම සිටියි. පාංසු පිසාචිකා යන ප්‍රේත කොටස ඉඳුල් වතුර, කුණු කසළ ආදිය ඇති තැන්වල ආහාර සොයමින් සිටියි. පරදත්ථූප ජීවී යනුවෙන් හැඳීන්වෙන ප්‍රේත කොටසට අනුන් දෙන පින් ලබාගෙන සැපවත් භාවයකට පිවිසීමේ හැකියාව ඇත. ප්‍රේත ලෝකය යනුවෙන් වෙනම ග්‍රහලෝකයක් නැති අතර එය අපේ ලෝකය තුළම පැවතියත් අපේ ඇසට නොපෙනේ. අපගේ මිය යන ඥාතීන් ප්‍රේත භවයේ උපත ලදහොත් නැවත අපගේ නිවෙසටම පැමිණ නිවෙස ආසන්නයේ වාසය කරන බව බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට දේශනා කළ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව අනුව පැහැදිලි වේ.

මේ ප්‍රේතයන්ට ක්‍රම දෙකකට නිවෙස් තුළට රිංගා ගෙන එහි නිවැසියන්ට විවිධ අයුරින් හානි සිදු කළ හැකිය. කිසියම් අයෙකු විසින් බන්ධනයක් කොට ප්‍රේතයෙකු නිවෙසට ගෙනැවිත් දැමීම ඉන් එක් ක්‍රමයකි. එබඳු ප්‍රේත දෝෂයක් පවතී නම් නිවෙසේ කෙනෙකු ඇවිදින හඬ, කහින හඬ, දොර ජනෙල් අරින වහන හඬ, වතුර කරාම අරින හඬ, වළං පිඟන් පෙරළෙන හඬ ආදිය ඇසීම, මීයන්, ගෙම්බන්, කැරපොත්තන් වැනි සතුන් නිවෙසේ සිටීම, දුර්ගන්ධ පැවතිම,නිවෙස තුළ එකිනෙකා අතර නුරුස්සනා ගති ඇති වීම, කතාබස් නොකිරීම, නිවෙසින් පිට වූ විට සියළු දෙනා සතුටින් සිටීම වැනි ලක්ෂණ පහළ වේ.

ඒ හැරෙන්නට අහඹු ලෙස කිසියම් ප්‍රේතයෙකු ඔබගේ නිවෙසට පැමිණ ලැගුම් ගත හැකිය. එසේ වන්නේ ඊට සුදුසු පරිසරයක් නිවෙස තුළ තිබේ නම් පමණි. නිවෙසේ අහුමුළු අඳුරුව සහ අපිරිසිදුව තිබීම, ඉඳුල් ආහාර,ඉඳුල් පිඟන් තැන තැන තැබීම, ආහාර උයන භාජන අපිරිසිදුව ළිප අසල තැබීම, දවසේ වැඩි කාලයක් දොර ජනෙල් වසා තැබීම, නිවසේ කුණු කසළ තැන තැන ගොඩ ගසා තැබීම, නොසේදූ රෙදි ගොඩවල් තිබීම, නිවෙසේ හෝ මිදුල පුරා රෙදි වැල් ගැට ගසා තිබීම, නිවෙස අවට කෙළ ගැසීම, කුඩා දරුවන් මුත්‍රා කිරීම, වැසිකිළිය අපිරිසිදුව තැබීම, බල්ලන් බළලූන් ගේ පුරා ඇවිදීම ආදිය ඊට බලපාන කරුණු වේ.

මෙබඳු ප්‍රේත දෝෂ ඔබේ නිවස තුළ පවතී නම් ඒවා පහසුවෙන් ඉවත් කර ගැනීමටද පුළුවන. ඒ සඳහා පළමුව නිවෙස හොඳීන් පිරිසිදු කර, කහ වතුර ඉසිය යුතුය. පිරිත් පැන් ඉසීම වඩාත් සුදුසුයි. තැන තැන ගොඩ ගැසි ඇති කුණු කසළ ආදිය ටික ටික නිවෙසින් ඈතට ගෙන ගොස් බැහැර කළ යුතුය. අඳුරු අහුමුලුද ඇතුළුව නිවෙස පුරා සුවඳ දුම් අල්ලා දොර ජනෙල් හැකි තරම් වේලාවක් විවෘත කර තැබිය යුතුය. ආහාර ගත් විගස ඉඳුල් භාජන සෝදා පිරිසිදු කිරීම, රෙදි වැල් හැකි තරම් අඩු කිරීම හා දිනපතා හඬනගා තුන් සූත්‍රය නිවසේ භාවිතා කිරීම මේ සඳහා ඉතාමත් සුදුසුය.

 

ඡ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යා උපදේශක,

ආචාර්ය දැරණියගල කපිල ඉන්දික ගුණදාස

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.