වේලාව 11 : 11 තේරුම දන්නවාද?

මාර්තු 1, 2024

 

අපේ ජීවිතයේ අහඹු සිදුවීම් ඕනෑ තරම්. පාරේ යද්දි වාහනවල අපූරු අංක දකිනවා, නාම පුවරුවල වෙනස් විදියේ අංක පෙනෙනවා, ඔරලෝසු කණුවෙ හෝ ජංගම දුරකථනයේ 11:11 නැත්නම් 12:12 වගේ ඉලක්කම් ඇස ගැටෙනවා. මේ අහම්බයන්වලට තේරුමක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද?

දැන නොසිටියා නම් මින් පසු එවැන්නක් දුටු විට නිකම්ම අතහැර දමන්න එපා. ඒ ඔබට විශ්වයෙන් දෙන පණිවිඩයක් තේරුම් කරන ‘දිව්‍ය අංකයක්’ බව මතක තබාගෙන එයින් ඔබේ ජීවීතයේ හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගන්න.

‘ දිව්‍ය අංක’ බොහොමයක් තිබෙනවා. 111, 222, 333, 999, 11.11, 12.12, 1111, 5555 ආදි වශයෙන් ඒ සංයෝග බොහොමයි. ඒ වගේම ඒවායේ තේරුම් එකිනෙකට වෙනස්.

ඔබ දුටුවේ11:11නැත්නම් 111 හෝ1111 නම්, එහි අරුත ඔබ විශ්වයේ සුබ පණිවිඩයක් ලබා ඇති බවයි.

ඉතින් ඔබ දුටුවේ 111නම්, එය කර්මාණුරූපව ඔබේ නව ඇරඹුමක් පිළිබඳ සංඥා කිරීමට ඔබට දර්ශනය වූ අංකයක් බව අවබෝධ කර ගන්න. දිව්‍ය අංක 111 මඟින් අදහස් වන්නේ සතුට, ආඨ්‍ය බව, බලය, ආධිපත්‍යය සමඟ ඔබේ සිහිනය සැබෑ වන බවයි. ස්වාධීනත්වය සහ අධිෂ්ඨානශීලීත්වය සමඟ අන් අයට කළ නොහැකි දේ ඔබට කළ හැකි වන බව දක්වන දිව්‍ය සංඥාව එයයි.

එයින් ඔබේ වෘත්තිය, ව්‍යාපාර මෙන්ම ආදරය පිළිබඳ ධනාත්මක සලකුණක් ඉදිරිපත් කරනවා. ඔබ යම් කටයුත්තක් පිළිබඳ සිතා සිටින විට111 දැකීමට සලස්වන්නේ ඔබේ චිත්ත ශක්තිය උපරිම බව තහවුරු කිරීමටයි. සිතන දේ කෙලෙස හෝ ඉටු කර ගැනීමට තරම් නායකත්ව ගුණයක් ඔබ තුළ වර්ධනය වනු ඇති. එයින් ජීවීතයේ සියලු අභියෝග කෙසේ හෝ ඔබ ජයගන්නා බව කියැවෙනවා.

අංක විද්‍යානුකූලව ඉතා බලවත් ඉලක්කමක් වන මෙය ඔබට වරින්වර දක්නට ලැබේ නම් එය ඔබේ ඉෂ්ඨ දේවතාවා ඔබට දිව්‍ය පණිවිඩය ගෙන එන ක්‍රමයක් බව අවබෝධ කරගෙන එහි අරුත පැහැදිලි කරගෙන ඔබේ ඉලක්ක ජයගන්න.

ඔබ සාප්පුවෙන් ගත් බිල් පතක හෝ ඔරලෝසුවක දුටුවේ 11:11 නම් ඔබ කරගෙන යන හෝ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කටයුත්ත නිවැරදි මඟට යොමු වී ඇති බව ඔබ අවබෝධ කරගත් යුතුයි.

අංක විද්‍යාවට අනුව දෙවියන්ගේ ඉලක්කම ලෙස හඳුන්වන අංක 1 සිව්වරක් යෙදීමෙන් එහි බලය සිව් ගුණයකින් වැඩි වූවා සේ ඔබේ ගමන සාර්ථක වනු ඇති. එය ඔබේ ජීවිතයේ බලවත් නැවුම් මඟක් වෙත දොරටු විවර කරන බවට සංඥාවක්. ඔබට මුදල් අතින්ද ඉහළම ලැබීමක් පෙන්නුම් කරන සලකුණක්. එනිසා මේ මොහොතේ ඔබට යම් අඩුපාඩුවක් ඇතත් එය මඟහැරී ඔබට හිත පිරෙන්න අතේ මුදල් ගැවසෙන කාලය ලක් ළඟම බව සිහි තබාගෙන නිසි ආයෝජනවලට යොමුවන්න.

රැකියාවේ ද නව ගැම්මක් ශක්තියක් සමඟ දියුණුවක් ඇති වන බැවින් ශක්තිමත්ව සිතන්න පුරුදු වන්න. ඔබ ආදරවන්තයෙක් නම් ඔබේ ආදරය හිමි විය යුතු කෙනා පිළිබඳ සිතන විට 11:11දුරකථනයේ සඳහන්ව තිබෙනු දුටුවේ නම් දෙගිඩියාවකින් තොරව ඇමතුමක් ගන්න. ඔබේ යටි සිතේ සැබැවින්ම ඔහු හෝ ඇය පිළිබඳ ඇති අරමුණ ඉටු වනු ඇති.

නිරන්තරයෙන් ඔබේ ඇස ගැටෙන්නේ 1212 දිව්‍ය අංකය නම් ඔබට විශ්වයෙන් කෙටි වුවත් ප්‍රබල සංඥාවක් නිකුත් කරන බව හඳුනාගත හැකියි. එයට හේතුව 1212 යනු ඉතා ප්‍රබල දිව්‍ය අංකයක් ලෙස සැලකීමයි. එයින් ඔබේ ආදරය, රැකියාව, මූල්‍ය තත්ත්වය මෙන්ම අදහස් ප්‍රකාශනය සහ ආධ්‍යාත්මික ගුණ වගාව වැනි පැතිකඩ පිළිබඳ පැවසෙනවා.

1212 නිතර දකින්නේ නම් ඔබේ ආදරය සහ බැඳීම් සම්බන්ධ කාරණාවලදී ඇතිවන අභියෝගවලට සාර්ථකව මුහුණ දී සාර්ථක වෙනසක් ඇතිකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා ඇති. එය දෙයාකාරයකින් දැකිය හැකියි. එනම් ඔබ පීඩාවට පත්වන සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නම් එයින් මිදීමටත්, කැප වීමෙන් පවත්වාගෙන යා යුතු ආදර සම්බන්ධයක් වෙනුවෙන් නිසි පියවර ගැනීමටත් ඔබට ධෛර්යය ලැබෙන බවයි. ඒ වෙනුවෙන් 1212 ඔබට කියා පාන්නේ හදවතින් ගන්නා තීන්දු තීරණවලදී ඔබට නිසගයෙන් දැනෙන දේ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම ඔබේ හැඟීම්බර ජීවන මගේ ධනාත්මක බලාපොරොත්තු දල්වාගෙන ගමන් කිරීමට විශ්වය මඟින් කරන මඟ පෙන්වීමක් හා ආධ්‍යාත්මික අවධි කිරීමක් මෙයින් ඉඟි කරන බව අවබෝධ කරගන්න පුළුවන්. එයින් ඔබේ සැබෑ ආදරණීය බැඳීම් ශක්තිමත් කර ගැනීමටත් කාලය එළැඹ ඇති බවට ද ඉඟියක් සපයනවා.

මූල්‍යමය ශක්තිය හා රැකියාව සම්බන්ධයෙන් ද 1212 ගෙන එන්නේ ප්‍රබල පණිවිඩයක්. එයින් ඔබේ වෘත්තීය මඟ සහ ආර්ථික ඉලක්කවල සහසම්බන්ධය පිළිබිඹු කෙරෙනවා. වෘත්තිය වෙනුවෙන් ඔබේ කැපවීමේ තරමට ඔබේ ආර්ථිකය ශක්තිමත් වනවා සේම ස්ථාවරත්වයට පත්වන බව ඉන් හඳුනාගත හැකියි. විශ්වය ඔබට පවසන්නේ එහිදී අධිෂ්ඨානශීලීව, නිවැරැදි තීරණ මත පිහිටමින් ඔබේ ලෞකික අපේක්ෂාවන් ඉටු කරගැනීමට අරමුණු කරන ලෙසයි.

ආධ්‍යාත්මික වශයෙන් ගත් කල ද 1212 ඔබට සංකේතවත් කරන්නේ ධනාත්මක කරුණක්. එනම් ඔබේ ඇසට නිතර ඒ අංකය ගැටෙනවා නම් එයින් ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික මඟ පැහැදිලිවම ඉහළට ඔසවා තැබීමට විශ්වය සූදානම් බැවින් ඔබ ඔබේ මනස සහ අවට පරිසරය සමඟ සබැඳියාවකින් යුතුව කටයුතු කළ යුතු බවයි ඉන් අවධාරණය කරන්නේ.

ඔබේ දිව්‍ය අංකය සොයා ගැනීමට හැකි ආකාරය දැන් අපි සොයා බලමු.

පළමුවෙන්ම ඔබේ උපන්දිනයට අදාළ සියලු අංක එකතු කර ලැබෙන අගය සොයා ගන්න. නිදසුනක් ලෙස අද ඉපදෙන කෙනකුගේ දිව්‍ය අංකය වන්නේ

0+1+ 0+3+2+0+2+4 = 12

ඉන්පසු එය තනි ඉලක්කමකට එන තුරු යළි එකතු කරන්න. 1+2 = 3

ඔබේ දිව්‍ය අංකය වන්නේ අංක 3යි.

ඉතින් ඔබට අංක 3 ට සම්බන්ධ දිව්‍ය අංක දිගින් දිගටම දක්නට ලැබේ නම් ඔබට විශ්වයෙන් පණිවිඩ ලැබෙන දොරටු විවර වූ විශ්වීය සබඳතාවක් සහිත වාසනාවන්ත පුද්ගලයකු බව සතුටින් පිළිගන්න.

ඔබ නෙත ගැටිය හැකි අනෙක් දිව්‍ය අංකවලින් කියැවෙන දේ පිළිබඳ ඉදිරියේ දී සොයා බලමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.