දුටු දුටුවන් වසඟ වන අස්විද නැකතින් උපන්නෝ

පෙබරවාරි 23, 2024

අස්විද නැකතින් උපන්නේනම් ලලිතකලා සෞන්දර්යාත්මක ජීවන රටාවකට යොමු වූවෙකු වේ. නිර්මාණශීලීය. ඒ හරහා මුදල් උපයා ගනී. දක්ෂ මෙන්ම ප්‍රකට කලාකරුවෙක් වීමේ භාග්‍යය හිමි වේ. වරින්වර වෙනස් නොවන ස්ථාවර ධනයකටද හිමිකම් කියැවේ. ආධ්‍යාත්මික පැත්තේ වැඩි නැඹුරුවක්ද රහස් ඔත්තු සේවාවන්හි සුවිශේෂ දස්කම් තිබේ. ගුප්ත ශාස්ත්‍රයට අයත් යන්ත්‍ර මන්ත්‍ර බෙහෙත් හා ඖෂධ ප්‍රතිකාරවලට දක්ෂ වේ. අග්නිස්ථම්භනය, ජලස්ථම්භනය , කෞමාරය මෙන්ම කූප ශාස්ත්‍රයට ද දක්ෂ වේ.

ලෞකික හා ඵෛහි ෙලෞකික යන පැති දෙකම නියෝජනය කරනු ඇත. බුද්ධිය හරහා සියලුම සිය වැඩකටයුතු කරයි. දුරදක්නා සියුම් නුවණක් තිබේ. පරසිත් දන්නා එසේම සිරුරේ භාෂාව ගැන මැනවින් ප්‍රගුණ කරනු ඇත. පවුලේ සියලුම අයට ප්‍රේම කරන අයෙක් වේ. තරමක දුර්වලකමකට ඇත්තේ කේන්ති ඒමයි. සමහර විට කෝපවීම වහාම නැතිවී නැවත සුහදශීලීව කතා බහ කරයි. කිසිම විටෙක කෙනෙකුගෙන් පළිගන්නේ නැත. හරිම ළෙන්ගතුයි. සංචාරයට හරිම කැමති දක්ෂයි. ආරංචි තොරතුරු ගවේෂණය කිරීමට ඉතාම ගිජුවේ. කෙනෙකුගේ සිත් රිදෙන අන්දමට කතා නොකරයි. සමාජයෙන් ගරු බුහුමන් ලබයි. ගෞරවයට පාත්‍රවේ. ප්‍රසිද්ධ නමක් ඇතිවේ. තරමක කාමුකයි. රසවත් තැන් රහසේ බලා උපරිම මානසික වින්දනයක් ලබනු ඇත.

අස්විද නැකතට කේතු බලපානු ඇති තේජෝය. ළමා කාලයේදී සමහරවිට යම් යම් අපහසුකම්වලට මුහුණ පෑමට සිදු වුණත් මැදිවියේ සිට සෑම අංශයකින්ම දියුණුවට පත්වේ. ශබ්ද තරංග විද්‍යාව හරහා කතා කරන සෑම වචනයක් පාසාම අන්‍යයන් වසඟයට පත්වේ. කෙනෙක්ව මෙල්ලකර ගැනීම හෙවත් තමා වෙත වහාම වශී ආකර්ෂණය කර ගැනීමට සමත් වේ. ගුරුවරයෙක් නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඉක්මනින්ම ජනපි‍්‍රය වේ. උගන්වන සෑම වචනයක් පාසාම සිතේ ධාරණය වේ. අස්විද නැකතින් උපන් අය උගත්කමට වඩා අතිශයින්ම බුද්ධි ගෝචරයි. සමහර විට පොත්පත්වලට තදින් ඇලුම් කරන සුලුය. පොත් ගුල්ලෙකි. කොටින්ම කියතොත් ඇවිදින පුස්තකාලයකි. දේශන ඇසීමට අසන්නන්ගේ පැමිණීමද අධික වේ. ජීවිතයේ මැදිවියේ දී සෑහෙන දුරට මූල්‍යමය සම්පත් එක්රැස් කර ගනී.

මුදල්වලට ගැත්තෙක් නොවන්නේ ය. පරිත්‍යාගශීලී වන්නේය. දැනුවත්කම හරහාය. අස්විද නැකැත් කරුවා ලෙහෙසියෙන් අන්දවන්නට බැරිය. ඔහුද කිසිවෙක් අවතක්සේරු නොකරයි. විශ්වාසයෙන් යුක්තව ඇසුරු කළ හැකි චරිතයකි. සමහර විට කුඩාවියේ දී යම් යම් අඩුපාඩුකම් ඇතිමුත් මැදි වයස ළඟාවෙත්ම අඩුපාඩු සපුරාගනු ඇත. සියලුම සෞන්දර්යය අංශයන්හි මනා නිපුණත්වයක් පිරිපුන් බවක් දක්වයි. පරිසරවේදය, ජනශ්‍රැතිය, සත්ව පරිණාමය, තෘණ විද්‍යාව, ස්වභාවික විද්‍යාව මෙන්ම දේහ ලක්ෂණ විද්‍යාව වැනි ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ මනා පරිචයකින් යුක්ත වේ.

මනෝ විද්‍යාඥයෙක් නූවත් මනස හා චරිත කියැවීමේ පුහුණුවත් උපතින්ම ලැබී ඇත. යම් කාන්තාවක් අස්විද නැකතින් උපන්නේ නම් දුටුවන්ගේ මන බඳින තැනට ඇති සුන්දරතම සිරුර දැක්මෙන් වශීවේ. රූප සුන්දරී තරගවලින් ඉහළම තැනක් ලැබීමේ වාසනා ගුණය පිහිටා තිබේ. මිතුරු මිතුරියන් වහා වසඟයට පත්වන්නේ ඇගේ භාෂා විලාසයටය.

ඇය තමා රූප සුන්දරියක් වුවත් සෑම අයෙක් සමඟ සුහද සිතින් ඇසුරු කරන්නීය. තමාට වඩා තරමක් රූමත්කමින් අඩු අය සමඟ වැඩියෙන් මිත්‍රකම් පවත්වන්නේ තමා එවිට කැපී පෙනෙන නිසාවිය හැකියි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයි. විශේෂයෙන්ම අස්විද නැකත් හිමි කාන්තාවන් රූපලාවණ්‍ය ශිල්පීය කටයුතුවල නිරත වන්නේ නම් මූල්‍යමය සම්පත් වහා වැඩියෙන් ලබාගනී.

ඇගේ කතාව හා සිනහව ඇයට මුදල් ගලා එන උල්පතකි. අදහස් අලෙවි කරණයට අතිදක්ෂයි.

අස්විද නැකතේ පළමු පාදය තුළ උපත ලබා ඇත්නම් ලෞකිකමය සැප සම්පත්වල තදබල ලෙස ගිජුකමක් ඇත්තේ ය. තරමක් ලෝභයි. කිසිවෙකුට කිසිවක් දෙනවිට තරමක් පසු බසී. තරමක් ආත්මාර්ථකාමීය. නමුත් එයින් කාටවත් කරදරයක් හිරිහැරයක් නොවේ. ස්ත්‍රී පුරුෂ බැඳීම් වැඩියි. අධික කාමය නිසා ගැටලුද පැන නඟී.

දෙවැනිපාදය සෞන්දර්ය වැදී වේ. රස තැන් සොයයි. සිත අධිකව විරුද්ධ ලිංගිකයා සමඟ බැඳේ. ඕනෑම අයෙක් තමාට වශීවේ. උපකාර කරයි. කාන්තාවක් නම් සමහරවිට බාඳුරා මල් කොපුවක් විය හැක.

තුන්වැනි පාදය ප්‍රසිද්ධ කෙනෙක් වේ. නාට්‍ය සංගීත චිත්‍රවලට දක්ෂයි. ප්‍රකට පත්‍ර කලාවේදීන්ද උපත ලබන්නේ ය. නිතර ජය අත්වේ. මූල්‍ය සම්පත් හිමිවේ. දිළින්දෙක් නොවේ. ජීවිතය ජය ගනී. වරදකට ඇත්තේ කාමය පැත්තට වැඩියෙන් නැඹුරුවීමයි. ඒ අතරම රහස් වැඩවලට ද ගිජුයි.

හතරවැනි පාදය දැහැමි අයෙක් වේ. සමහරවිට ආගම පැත්තට වැඩියෙන් නැඹුරුවීම හරහා පාඩු ලබන තැනට පත්වේ. රැවටිලිසහගත වැඩවලට හසුවේ. සංවේදීකම වැඩි නිසා අස්විද නැකතින් යම් කාන්තාවක් දැරියක් මල්වර වූයේ නම් ඇය ඉතාම වාසනාවන්තවේ. සැපසම්පත් ලැබේ. වාසනාවන්තයි. උසස් අධ්‍යාපනයක් ලබන්නීය. රාජ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරනු ඇත. ව්‍යාපාරික කටයුතුවලින් විශාල දියුණුවක් ලැබේ. දාරක සම්පත් හිමිවේ. වාසනාවන්ත විවාහයක් කලට වේලාවට සිදුවේ. අස්විද නැකතින් උපන් කාන්තාවකට යුගදිවියට බෙරණ, රෙහෙණ, අද, පුෂ, දෙට යන නැකත් හිමියන්ගේ ගැළපීම් තිබේ. ලග්නයත්, නැකතත් එයට පාදක වන පාදවලත් සීහුම් ගැළපීම් කෙරෙහි වැඩි අවධානයක් සිදුකිරීම මැනවි. හිරුගෙන් නිකුත්වන දහස් සංඛ්‍යාත වර්ණ රටා වියමන ග්‍රහයින් උරාගෙන ඒවා අවකාශයට මුදා හැරීමත් නැකත්වලින් විශේෂයෙන්ම සඳුගේ සෘජු බලපෑමනිසාත් පුද්ගල ජීවිතයේ විවිධ වෙනස්කම් වහා වෙනස්විය හැකිය. පෙර කරන ලද කුසලාකුසල කර්ම බලවේගයන් මෙලොව ජනිත වූ විට මුළු ජීවිතය පුරාම කැටි වී ඇත්තේ ය. මෙතෙක් අපි කතා බහ කරන්නට සිදුවූයේ ජන්ම ලාභය අත් වූ මොහොතේ දී සඳුගේ බලපෑම හරහා ජන්මියාට දායාද වූ නැකතින් ජීවන තොරතුරු සොයා ගැනීමයි. ලොව සියල්ලම වහා වෙනස්වන සුලුය. ස්ථාවර කිසිවක් මෙලොව නැත. උපන් නිමේෂයේ සිටම ක්‍රම ක්‍රමයෙන් මියයන සුලුය. අප ජීවත්වන කාල පරාසය තුළ ජීවියා ගෙවන ආකාරය ගැන ගැඹුරින් සොයා බැලීමේ දී ලග්නය මෙන්ම උපන් නැකතද සුවිශේෂි වන්නේ ය. මෙලොව උපදින කිසිවෙක්ම ඉතාම හොඳත් නැත, නරකත් නැත. පැතිදෙකම සමයි. අපි වඩාත් යත්න දැරිය යුත්තේ උපතින්ම පිහිටි යම් යම් දුර්වලකම් අත්හැර ධනාත්මක පැත්තේ වැඩකටයුතු කිරීමට පෙලඹීමටයි. අවසන් වශයෙන් කිව හැක්කේ කරත්තයක ගොනා ලග්නය වන අතර කඩ ඇණය නැකත වනු ඇතැයි කියාය.

**********************

විශ්ව ශක්තිය සමඟ ගනුදෙනු කර දිනපතා මුදල් ලැබෙන ගුප්ත ක්‍රමය

අඟල් 1 1/2 ප්‍රමාණයේ තඹ පත්‍රයකින් ත්‍රිකෝණයක් කපාගෙන ඒතුළ මෙම අකුරු ඇඳ ගත යුත්තේ සිකුරාදා දිනයක උදේ 06.03ට උතුරුදිසාව බලාය.

ඊට පසු ත්‍රිකෝණ බුලත්කොළයක් මත තබාගෙන මෙම අකුරු 21ක් වාරයක් කියන්න. (ඕං තාතු තූසෝ හාම්) මෙම අකුරු කියවන සෑම විටකම වැඩිම මුදල් සංඛ්‍යාව රු. 5000 හිතෙන් මවන්න. මෙය (චිත්තරූප දර්ශන විද්‍යාවය) දිනපතාම ඉහත අකුරු (7) කියැවීමෙන් ඔබේ ව්‍යාපාරික කටයුතු දියුණුවේ. අතට මුදල් ලැබේ. සිතෙන් මුදල් මවා අතට මුදල් ලැබෙන ගුප්ත ජීව ගුරුකමකි. පිරිසුදු සිතින් සැකයෙන් නොව අධිෂ්ඨානශීලීව කළයුතු අභ්‍යාසය ක්‍රමයකි. දිනපතාම මිල මුදල් අතට ලැබෙන ක්‍රමය ඔබත් අත්හදා බලන්න. තමා කරන සියලුම වැඩකටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්වේ. මෙය විශ්ව ශක්තිය සමඟ කරන ගනුදෙනුවකි.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.