බුධ-ශනි ගැටුමෙන් දැනුම අභිබවා අත්දැකීම් ජය ගනී

පෙබරවාරි 23, 2024

 

මේ වසරේ සිදුවන තුන්වැනි ග්‍රහ යුද්ධයෙන් බුද්ධිකාරක බුධ පරදවා ශනි ජය ගනී. මේ ගැටුමෙන් බුධ පරාජය වන්නේ බුධගේ බලය වැඩිම පරාසයකදී වීම විශේෂත්වයයි. එනම් බුධ දින, බුධ හෝරාවක බුධ හිමි කන්‍යා රාශිය උදාවූ මොහොත මෙසේ බුධ පරාජය කර සෙනසුරු ජය අත්පත් කර ගනී. තවද ජනවාරි 27 දින තිබූ ග්‍රහ යුද්ධයෙන් ජයගෙන සිටි බුධ මෙසේ පරාජය වීමද සුළුවෙන් තැකිය හැකි නොවේ.

2023 පෙබරවාරි මස 28 වන බුධ දින රාත්‍රී 08.39 ට සිදු වන මේ සිදුවීමෙන් දැනුම හා අත්දැකීම් අතර තරගයක් තැබුවහොත් අත්දැකීම් පාර්ශ්වය ජය අත්කර ගන්නා බවට ඉඟියක් මෙයින් පළ වේ. එබැවින් ඉදිරි කාලයේ දී රැකී රක්ෂා කටයුතුවල නියුතුවන අය මෙන්ම ව්‍යාපාර කටයුතුවල නිරතවන සැම, තම දැනුමට මෙන්ම අත්දැකීම්වලට ද ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව මෙහිලා සිහිපත් කළ යුතුයි. සමාජය තුළ බාල හා නව යෞවන එනම් ඉගෙනගෙන අවසන් වූ වහාම රැකියා වෙළෙඳපොළට එන අය සේවයේ සිටින දැනුම අඩු නමුත් අත්දැකීම් වැඩි අය සමඟ ගැටුම් උදා නොකරගත යුතුයි.

එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන්, ගුරුවරුන් වැඩි අවධානයක් යොමුකළ යුතු කාලයකි. පාසල තුළදී මෙන්ම නිවෙස තුළදී ද දරුවන්ට යම් අශුභ අකරතැබ්බ සිදුවිය හැකිය. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලටද නිතර බාධා විය හැකිය. භාෂාව, සන්නිවේදනය, තැපැල්, මුද්‍රණය වැනි ක්ෂේත්‍රවල කටයුතුවලට ද බාධා ඇති වේ.

මානසික පීඩාවට ලක්ව සිටින, ස්නායු රෝගවලින් පීඩා විඳින එමෙන්ම ඔටිසම් වැනි රෝග තත්ත්ව ඇති අයට ඒ රෝග උත්සන්න විය හැකිය. දක්ෂ කතිකත්වයක්, නිවේදන හැකියාවක්, ඇති දේශකයෙක් හෝ සන්නිවේදකයෙක් වැනි අයකුට මාරක අපල උදාකරයි.

මේෂ- ව්‍යාපාරික කටයුතුවලදී මෙන්ම, නිලධාරී සබඳතාවලදී ප්‍රවේශම් වන්න. වැඩිහිටි ආශිර්වාදය ලැබේ.

වෘෂභ - රැකියාවේ කාර්යබහුල වේ. පළපුරුද්ද වැඩි තරමට ජය පහසු වනු ඇත. පළපුරුදු අය සමඟ උරෙන් උර ගැටී වැඩකිරීමට අවස්ථාව උදාකරයි.

මිථුන - පෙර පින ඉස්මතු කෙරේ. සමාජ සබඳතා වර්ධනය කර ගනී. ඉහළ අධ්‍යාපනික කටයුතු ද සාර්ථක කරයි.

කටක - ස්නායු ගත රෝග උදාවිය හැකිය. මතකය පිළිබඳ ප්‍රශ්න මතුවේ. විවාහ ජීවිතයේ සාමය පවත්වාගෙන යෑමට කල්පනාකාරී වන්න. හොඳින් ජලය පානය කරන්න.

සිංහ - හවුල් ව්‍යාපාරවලදී, මිතුරන්ගේ වචන පිළිබඳ ප්‍රවේශම් විය යුතු කාලයකි. ධනය නැති කරයි. හැකියාව කඩා නොවැටේ.

කන්‍යා - උදරගත රෝග උදාවේ. සතුරු බාධා ඇති කරයි. යහළුවන් සමඟ මතභේද ඇති කරයි. වැඩිහිටි සේවකයන්ට අනුකම්පා කර උදව් කරයි.

තුලා - අධ්‍යාපනික කටයුතුවලට බාධා උදාවේ. තරගකාරී කටයුතු පිළිබඳ ජය ලැබේ. අන් අයගේ ආකර්ෂණය අපේක්ෂා කරයි.

වෘශ්චික - වාසස්ථාන නිවාස අවට පරිසරය නිතර අපිළිවල වන කාලයකි. ගෙදර දොර අඬදබර ද උත්සන්න විය හැකිය. දරුවන්ට අපල කාලයකි.

ධනු - පපුව ආශි‍්‍රත රෝග, සෙම් රෝග උත්සන්න විය හැක. සමාජ සබඳතා ගොඩනැඟේ. වැඩිහිටි උපදෙස් පිළිපදින තරමට තම හැකියා වර්ධනය කරගැනීමට අවස්ථාව උදාවේ.

මකර - වචන භාවිතයේ වැරැදි නිසා පාඩු සිදුවේ. අන්‍ය ආගමික මත ඉවසන්න. ධනය ප්‍රවේශමට භාවිත කරන්න. අපහාස උදාවිය හැකිය.

කුම්භ - හිසේ බර ගති උදා කරයි. සෙම් ආශි‍්‍රත පීඩා නිසා ඔළුවේ කැක්කුම් වැඩිවේ. නිතර අමතක වේ. වයසට වඩා වයස පෙනුමක් දෙයි.

මීන - පාද ආශි‍්‍රත රෝග උදාවෙයි. නහරගත, ස්නායුගත රෝග පීඩා පිළිබඳව සැළකිලිමත් වන්න. මිත්‍රයන්ගෙන් බාධා එයි. තවද මූල්‍යමය ගැටලු උදාකරයි.

කෙසේ වෙතත් මෙම කාලය තුළ ධර්ම දානමය පින්කම් සිදුකිරීම, කුඩා සාමනේර හිමිවරුන්ට පෙළ පොත්, පැන්සල් වැනි දේ දන් දීම. පොඩි දරුවන්ටත් අධ්‍යාපනික කටයුතුවලට හැකි පරිදි සම්මාදන් වී දායකවීම තුළින් මෙම දොස් අවම කරගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.