රන් තැඹිලි කරටිය බිමට නැවූ කොණ්ඩදෙණියේ මන්තරය

පෙබරවාරි 9, 2024

හිමිදිරි පාන්දර කොණ්ඩදෙණිය පන්සලේ ගේට්ටුව අභියස සුඛෝපභෝගී බෙන්ස් කාරයක් නතර විය. අපේ හාමුදුරුවන් වහන්සේ බෝමළුව ඇමද අහවර වූවා පමණි. මේ කවුරුන්’දැයි දැන ගැනීමට උන්වහන්සේ ගේට්ටුව අසලට වැඩම කළේය.

“අවසරයි අපේ හාමුදුරුවනේ”

අපි මේ කොළඹ ඉඳලමයි ආවේ”

“ඇත්තම කියන්නම් අපෙ හාමුදුරුවනේ, මම අපේ හාමුදුරුවන් කියපු කරපු විශ්වකර්ම වැඩ ගැන හොඳට අහල තියෙනවා”

“ඒත් මේ ඔබවහන්සේගේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් සාස්තර මොන වාගේ දෙයක්ද? කියලා මා දන්නේ නැහැ.’

“විශේෂයෙන් මේ මන්තර සාස්තරේ මොන වගේ දෙයක් ද කියලා ඔබ වහන්සේ ගෙන්ම නිකම් අහල බලල යන්න හිතුණා”

“බොහොම හොඳයි” අපෙ මහත්තයා කෙළින්ම කතා කරපු එක ගැන.

“කොණ්ඩදෙණිය හාමුදුරුවො කවුද? කියල දැන් මුළු ලංකාවම දන්නව“

“ඒත් ඉතින් මගේ මන්තර සාස්තරේ මොකක්ද කියල මෙච්චර කාලෙකට කිසිවකු මගෙන් අහල නෑ. ඒකත් වහෙන් ඔරෝ අහන්නෙ නැතිව‘ මුහුණටම මගෙන්ම අහපු එක කොච්චර දෙයක්ද? හැබැයි හෝරා කිහිපයක්ම මෙහෙ ගත කරන්න වේවි දැනගන්න. දැන් ඔය මහත්තය තකහනියෙම කොණ්ඩදෙණියෙ ආවේ මගේ හාස්කම් මොනවද කියල දැන බලාගන්නනේ”

“එහෙමයි අපේ හාමුදුරුවනේ

“බණ්ඩෝ – මේ මහත්තයලට උදේට සප්පායම් වෙන්න විගහට කෑම ටිකක් හදාගන්නවකෝ”

“ඉස්සෙල්ලම අපේ මහත්තයා අර වැවට ගිහින් නෙළුම් මල් ටිකක් කඩාගෙන ඇවිදින් බුද්ධ මන්දිරයටත් ගිහින් බුද්ධ ආශිර්වාදය ලබාගෙන එන්න කෝ”

ඒ ඉවර වෙනකොට බණ්ඩා මහත්වරුන්ට කෑම ලෑස්ති කරල තියයි.

“ආහ්..ගල්ගේ පැත්තටත් ගිහින් ගල්පර්වතයේ දෙබෑවුණ තැනත් පැරණි ගල් පිළිම ගෙයත් බලලම එන්න.”

ආගන්තුකයන් හිමිගේ අණට කීකරු විය. ආහාර පානාදියෙන් කුස පුරවාගත් ඔවුන් දැඩි හිරු රැසින් ගිනිගෙන දැවෙන මහ දවාලේ නැවත නායක හිමියන් බැහැදකින්නට විය.

“හරියටම හිරු මුදුන් වෙච්ච වෙලාවෙම ආපු එක කොයි තරම් හොඳද? දැන් අපේ මහත්තයා ඉර දිහා කෙළින් බලන්න”

හිමිගේ අණට ආගන්තුකයා කීකරු විය.

“අපොයි හාමුදුරුවනේ ඉර දිහා බලන්නත් අමාරුයි. ගිනිපුපුරු දාලා ඇස් පිලිස්සෙනවා වගෙයිනේ”

“හොඳයි – අපේ මහත්තයා ඔය දකුණු අත දික්කරන්නකෝ” නායක හිමියන්ගේ අණට මහත්මයා කීකරු විය. ඒ වන විට දැඩි හිරු රැසින් කොණ්ඩදෙණිය අවට මුළු පළාතම ගිනිගෙන දැවෙන්නා බඳුව පැවතුණි.

හිමියන් මහත්මයාගේ දකුණූු අතෙහි පිටිඅල්ලේ බලගතු මන්ත්‍රයක් ජප කරමින් බෙහෙත් තෙලක් ආලේප කළේය. එතුමා හදිසියේම මහත් විමතියකට පත් විය. කුමකින් කුමක් සිදු වන්නේ දැයි විපිලිසරයට පත් විය.

“ඔන්න මම මන්ත්‍රයේ බලය පෙන්නන්නයි යන්නේ. දැන් ඉතින් ඉර මුදුන් වෙලා තියෙන පැත්තට ඔය ඇඟිලි පහළ කරල පොඩ්ඩක් නැවත හිරු දිහා බලන්නකෝ”

“අපොයි හාමුදුරුවනේ ඉර නොවෙයිනේ පේන්නෙ... ඉර හරියට පසළොස්වක පොහොය දවසේ පායන හඳ වගේනේ”

“දැන් නම් ඕනෑ තරම් වේලාවක් බලන් ඉන්නත් පුළුවන් හරිම ලස්සනයි සෞම්‍යයිනේ?”

හාමුදුරුවන්ගේ මන්ත්‍රවල බලය විස්කම් හොඳින් අවබෝධ කරගත් අමුත්තා හිමි දෙපාමුල වැඳ වැටිණි.

මෙම මන්ත්‍රවල විස්කම කොණ්ඩදෙණිය පොඩිහාමුදුරුවන් නමින් විරුදාවලිය ලත් වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන්ට ද කළ හැකි බව බොහෝදෙනා නොදැන සිටින්නට ඇත.

උන්වහන්සේ පවසන්නේ මා කළ ගුරුකමක් ලෙහෙසියෙන් වරදින්නේ නැති බවයි. කොණ්ඩදෙණිය ගුරු හාමුදුරුවන් වන සීලරතන හිමියන් පවසන්නේ ද මෙයමය. උන්වහන්සේලාගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ප්‍රභාස්වරය අත්දැකීමට මම භාග්‍යවන්ත වීමි.

“අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිළිගන්වන්නට ගෙනාපු බුලත් අත දෙන්නට අමතක වුණා නොවැ” තමන් වහන්සේට මේ ආගන්තකුකයා පිළිගැන්වූ බුලත් අත ගෙන එහි පලමු බුලත් කොළය කණපිට පෙරළා එහි නාරටි කෙසේ පෙළ ගැස්වී තිබේ දැයි හොඳින් පරීක්ෂා කර ගණන් කර බැලූ උන්වහන්සේ එතුමාගේ දෑත ද පරීක්ෂා කළේය. හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ කෙලපැමිණියකු වූ උන්වහන්සේ මවිත විය.

මේ හමුවන්නට පැමිණි ආගන්තුකයා එසේ මෙසේ කෙනකු නොවන බවද මුළු මහත් දේශයම පුබුදුවාලිය හැකි බලවත් පුද්ගලයකු බව තේරුම් ගැනීමට උන්වහන්සේට හැකි විය. මෙවැනි පුද්ගලගලයකු අනුන් වෙනුවෙන්ම කැපවී සේවය කරන තමන් වහන්සේ හමුවට පැමිණීම ගැන සිත්හි පුංචි ආත්මාභිමානයක් ද ඇති විය.

තවත් හෝරා දෙකක් පමණ ගත වූයේ නොදැනුවත්මය. හිමියන්ගේ විස්කම් පිළිබඳ පී‍්‍රතිප්‍රමෝදයට පත් අමුත්තාව දේව මන්දිරය අභ්‍යන්තරයටම කැඳවාගෙන විත් දේවාභරණ සහිතව මුළුමහත් දේව මණ්ඩලය ජීවමානව වැඩ වෙසෙන ඇතුළු කාමරයට ද පිවිසෙන්නට අවකාශ සැලසීය.

“මහත්මයා මෙහි වැඩ වෙසෙන දේවතා, දේවතාවියන් ජීවමානයි... කෙළින් ඉඳල එම ප්‍රතිමාවල ඇස් දිහාම බලාගෙන වැඳගන්නකෝ... විනාඩි දෙක තුනකින් මේ සියලු ප්‍රතිමාවලට පණ ඇවිත් ජීවමානව පෙනේවි”

“ඔබතුමා මට කලින් නොකීවාට කාරි නැහැ. මහත්තයා ආපු සැබෑ කාරණාව ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියල වැඳ නමස්කාර ගන්නකෝ” එකෙනෙහිම හාමුදුරුවන් වහන්සේ අති ප්‍රබල මන්ත්‍රයක් ජීවම් කරන්නට විය.

“අනේ නායක හාමුදුරුවනේ මගේ අත්දෙක රත්වෙලා පිච්චෙනවා වගේ දැනෙනවානේ”

“ඕක ඔහොම තමයි” බියවෙන්නට කාරියක් නැහැ මහත්තයෝ මුළු මහත් දේව මණ්ඩලයම දැන් ඔබතුමා වටකරගෙන සිටිනවා”

“ඔබතුමා හිතපු දේ නිච්චියටම ඉටුවෙනවයි කියලා හිතා ගන්නකෝ”

වත්මන් කොණ්ඩදෙණිය රජමහ විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ගේ කාරුණික ඇරයුමින් එම දේවමන්දිරයට පිවිස මුළු මහත් දේව මණ්ඩලයේ ප්‍රභාස්වරය ද දේව මණ්ඩලයේ ආශිර්වාදය ලබා ගැනීමට ඒ අවස්ථාවේ මම ද භාග්‍යවන්ත වීමි.

“ඔන්න එහෙනම් මෙච්චර කාලෙකට තිබුණු සියලු දෝෂ භංග කොට නිවාරණය කරගන්න තැඹිලි ගෙඩියක් තමන්ගේ අතින්ම කඩාගෙන එහි වතුර පානය කරන්න වෙනවාමයි. අපි පන්සල් වත්තේ තැඹිලි ගහ ළඟට යමුකෝ මහත්තයෝ... මේක එසේ මෙසේ තැඹිලි ගහක් නොවේ. මේ රන්තැඹිලි ගහ බලගතුව නැකතක් බලල මගේ අතින්ම හිටවපු එකක්”

“අපොයි හාමුදුරුවනේ මට ගස් නඟින්න නම් බැහැ නොවැ”

“හොඳයි ඔබතුමාට බිම ඉඳගෙන රන්තැඹිලි ගෙඩියක් කඩා ගන්න පුළුවන්ද?

“තැඹිලිගහේ කරටිය පහත් කරලා?”

“ඔව් මහත්තයෝ, තව ටිකක් බලන් ඉන්නකෝ මගේ මන්ත්‍ර බලයෙන් සිදු වන දේ”

ඒ සමඟ එක විටම මහා සුළඟක් අනපේක්ෂිතව මතුවී කැරකෙන්නට විය. එය එක්වනම සුළි සුළඟක් බඳු විය. තැඹිලි ගහේ මුදුන දැඩි සුළඟත් සමඟ පහත් වී යාබද තිබූ ගස් දෙබොක්කාවක හිර විය.

අතින් කැඩිය හැකි තරමට පහත්ව හිරවූ ගහේ කරටියේ රැඳුණු ලොකු තැඹිලි වල්ලෙන් අමුත්තා වහා ගෙඩියක් පහසුවෙන් කඩාගන්නට විය. එසේ ගෙඩිය කඩා අහවරවීමත් සමඟම වාසුළිය අනික් පැත්තට ස්වාභාවිකව කරකැවී මෙතෙක් ගස් දෙබොක්කාවේ හිරව තිබුණු තැඹිලි ගස දැඩි සුළඟත් සමඟ පෙර පරිද්දෙන්ම සකස් විය. ආගන්තුකයා පුදුමයට සහ බලවත් විස්මයට පත් විය.

හිමි පාමුල එතෙක් දැවටී, දැවටී සිටි තඩි කළු බළලාගේ ඇස් රතු විය. කඳුළු දහරා ද වැගිරිණි. “ඕන් එහෙනම් හරිනෙ මහත්තයෝ”

“එහෙමයි හාමුදුරුවනේ, මගේ මුළු ජීවිත කාලයම ඔබ වහන්සේට ණය ගැතියි. මගේ බලාපොරොත්තු ඉටුවෙනවා නියතයි”

ජීවම් කළ පිරිත් නූල කොණ්ඩදෙණිය පොඩි හාමුදුරුවන් අතින් අමුත්තාගේ දකුණතෙහි බැඳිණි. හිමියන්ට ගෞරවපූර්වකව වන්දනාමාන කළ අමුත්තා සතුටු සිතින් කොළඹ බලා පිටත්ව ගියේය.

ගතවූයේ සති කිහිපයකි. මේ සුවිශේෂ අමුත්තා හිමියන් බැහැදැකීමට පැමිණියේ උන්වහන්සේගේ ගමන් බිමන් යෑම සඳහා පිරිකරක් ලෙස ජීප් රථයක් ද රැගෙනය. හිමියන් මුලින් එය ප්‍රතික්ෂේප කළත්, පසුව බොහෝ පෙරැත්ත කොට එය උන්වහන්සේට පූජාකොට ඔහු පෙරළා කොළඹ පැමිණියේ මහත් සතුටකිනි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර් / ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.