අපේ පැරැණි අය වැඩ ගත් කරණ

පෙබරවාරි 9, 2024

අපේ දේශීය පාරම්පරික වූ ඡ්‍යොතිෂයත් වාස්තුවත් එදා පැරැණි ගැමියන් ඉතාම ඉහළින් අගයකොට සලකන ලදී. ඔවුහු දෛනික සියලුම සුබ වැඩකටයුතුවලදී නැකත්, යෝග හා කරණ උපයෝගී කර ගත්හ. දිනක් එළිවීමට සිංහල පැයක් තිබියදී උදාවන්නේ බ්‍රහ්ම මූහුර්තියයි. ඉර උදාව 6.00 නම් බ්‍රහ්ම මුහුර්තිය උදේ 6.36 පසුව උදාවේ. මෙය ඉතාම සුවිශේෂී කාලයකි. නාරද හා වරහමිහිර මතයන් ඒකාබද්ධකොට ගත් විට ඉර බසින්නේ පස්වරු 6.10 ටත් එදින ගෝධූලි මුහුර්තිය 5.54 සිට 6.18 දක්වා උදාවන්නේය. දවසේ සියලු සුබ වැඩවලට එය යොදා ගන්නා ලදී. තවද සවස 6.24 සිට 6.48 දක්වා විජය යෝග මුහුර්තිය උදාවන්නේ ය. පැරැණි අය එය ඉතාම සුබ වැඩකටයුතුවලට සෑම දිනකම යොදා ගත්හ.

පංචාංගයේ අන්දමට දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යන පංචාංගයට මුල්තැන ලැබේ. පංචාංගයේ කරුණු තුනකට පමණක් මුල් තැන දී ඉතිරි කරුණු දෙකම අමතක කර ඇත. නැකත් සෑදීමේ දී යෝගය හා කරණයටද මුල් තැනක් හිමි විය යුතු වේ. එදා කෘෂිකර්මයේදී මෙම කරුණු අමතක නොකළහ. හෙළ වෙද මහතුන්ද ප්‍රයෝජනයට ගෙන තිබේ. කරණ මෙසේය.

බවකරණය

පුර පෑළවිය පුර අටවක පුරපසළොස්වක අවසතවක යන තිථිවල අපරාර්ධයේද පුර විසේනිය පුර 12වක අව ජලවක අව 11වක යන තිථිවල පූර්වාර්ධයේද බව කරණය යෙදේ. මේ කරණ උදාවත්ම ආගමික වැඩකටයුතුවලට ගනු ලැබේ. ඉරිදා දිනයේ බවකරණයෙන් ලාඩම් ගැසීම කරත්ත පට්ටම් බැඳීම කරනු ඇත. පට්ටි බැසීමට සුබයි.

බාලවකරණය

පුර දියවක පුර නවවක, අව අටවක, අවපෑළවිය යන තිථිවල පූර්වාර්ධයේද පුර විසේනිය පුර 12වක සහ අව ජලවක අව 11 වක යන තිථිවලද අපරාර්ධයේ බාලවකරණය යෙදෙන අතර පැවිදි කිරීමට හා උපසම්පදාවට ඉතාම සුබයි.

කෞලවකරණය

පුර සැටවක හා පුර තෙළෙස්වක අව විසේනිය අව දොළොස්වක යන තිථිවල පූර්වාර්ධයේද පුර දියවක පුර නවවක අව පෑලවිය අව අටවක යන තිථිවල අපරාර්ධයේද කෞලවකරණය යෙදේ. සුබ වැඩවලට යෝග්‍ය වේ.

තෛතිලකරණය

පුර තියවක පුර දසවක, අව දියවක, අව නවවක තිථිවල පෙර කොටසේ පුරසැටවක, පුර තෙළෙස්වක, අව විසේනිය, අව 12වක තිථිවලද මේ කරණය යෙදේ. විවාහ මංගල කටයුතුවලට ඉතාම සුබයි.

ගරජකරණය

පුර සතවක, පුර තුදුස්වක, අව සතවක, අව තෙළෙස්වක යන තිථිවල පූර්ව කොටසේ පුර තියවක, පුර දසවක, අවදියවක, අවනවක යන තිථිවල මෙම ගරජකරණය යෙදේ. ගොවිතැන (මඩ - ගොඩ) දෙකටම යහපත් ය.

වණිජකරණය

පුර ජලවක පුර 11 වක අව තියවක, අව දියවක, තිථිවල පූර්වාර්ධයේද, පුර සතවක, පුර තුදුස්වක, අව සැටවක, අව තෙළෙස්වක යන තිථිවලද අපරාර්ධයේද වණිජකරණය යෙදේ. ව්‍යාපාර ඉදිකිරීම් මුදල් පිළිබඳ වැඩවලට සුබයි.

විෂ්ටිකරණය

පුර අටවක, පුර පසළොස්වක, අව සතවක, අව තුදුස්වක යන තිථිවලද පූර්වාර්ධයේද පුර ජලවක පුර 11 වක, අව තියවක, අව දසවක යන තිථිවලද අපරාර්ධයේ විෂ්ටිකරණය යෙදේ. යන්ත්‍ර, මන්ත්‍ර යාග හෝම, ශාන්ති කර්ම වශී කර්මවලට ගැනේ.

ශකුණකරණය

අවතුදුස්වක අපරාර්ධයේ මේ කරණය යෙදේ. බෙහෙත් සෑදීම, ප්‍රතිකාර කිරීම, ග්‍රහ පූජා පැවැත්වීම, තෙල් සිඳීම, කැඩුම් බිඳුම් වෙදකමටත් අටුවලට වී පිරවීමටත් සුබයි.

චතුෂ්පාදකරණය

හංවඩු ගැසීම, ලාඩම් ගැසීම, ගව පට්ටි දැමීම, ගවයින්ගේ වැඩට සුබ වේ.

නාගකරණය

අමාවක අපර කොටස යුද්ධ කටයුතු කඩු, දුනු, ඊතල හැදීමට යුද්ධකටයුතු සඳහා වැඩවලට යහපත්ය.

ක්‍රිංස්තුංග කරණය

පුර පෑලවිය පූර්වාර්ධයේ ය. සියලු වැඩවලට සුබයි. පංචාංග ලිතේ කරණයෙදී තිබේ. තෝරා ගැනීම පහසුයි.

යෝගය හා කරණ ගැන වඩාත් උනන්දුවීම යහපත් වේ. මෙය අතිශයින්ම අත්හදා බැලීමද සුවිශේෂිතයි. පලාපල පැවසීමේ දී ද කරණා වැදගත් වනු ඇත. මෙය අත් හැරීම එතරම් යෝග්‍ය නොවේ. ඡ්‍යොතිෂය අධ්‍යයනය කරන ආධුනිකයින්ට මේ කරණ සටහන විශාල ලෙස ප්‍රයෝජනවත් වේයැයි සැලකිය හැක. වඩාත් ඵලදායි වන බැව් සනිටුහන් කරමු.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.