කුජ ශනි දෝෂ ඇති අයට විවාහ වෙන්න බැරිද?

පෙබරවාරි 2, 2024

විවාහයක් යනු වෙනස්ම පරිසර දෙකක හැදී වැඩුණු දෙදෙනකු එක වහලක් යට එක්තැන්වීමකි. එහිදී එකිනෙකාගේ අදහස් උදහස් වෙනස් වූවත් දෙදෙනාගේ අන්‍යෝන්‍ය බැඳීම අනුව එම සබඳතාවය දෙදෙනාට අවශ්‍ය පරිදි ගළපා ගනු ඇත. එසේ ගළපා ගැනීමට ප්‍රථමයෙන් බොහෝ දෙනා තම පවුල් පසුබිම් සොයා බලන අතර, අසියාතිකයන් වැඩි දෙනෙක් ඡ්‍යොතිෂය කෙරෙහි විශ්වාසය තබා එම දෙදෙනාගේ කේන්දර පරීක්ෂාවක්ද කරනු ඇත.

එවිට එම අය බලාපොරොත්තු වන කාරණාව හැකි පමණ සාර්ථකව ඉටුකරදීම ඡ්‍යොතිෂවේදීන් වන අපගේ යුතුකමකි. ඒ අනුව දෙදෙනෙකුගේ එක්වීමේ බරපතළ වගකීමක් අප සතුව ඇත. එය හරියාකාරව ඉටු නොවුණොත් ඇතිවන පල විපාක ගැනද මා අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. අපගේ පැරැන්නන් මේ ගැන හොඳින් අවබෝධ කරගෙන ඉතා සාර්ථක ලෙස විවාහ පරික්ෂාවන් සිදු කළ අතර, එම විවාහ ජීවිත සාර්ථක වී ඇත. එබැවින් මෙකලට වඩා එකල විවාහ දෙදෙරා යෑමේ ප්‍රතිශතය අඩුුව පැවතුනි. එහෙත් අපගේ පැරැන්නන් ඔවුනගේ දක්ෂතාවයන් සමඟම මිය පරලොව ගිය බැවින් එම සාර්ථක ක්‍රම අද දින බොහෝ ඡ්‍යොතිෂවේදීන් නොදන්නාකම නිසා අද නොයෙක් ආකාරයේ විවාහ ගැටලු සහ විවාහ නොවන තරුණ තරුණියන්ද විශාල සංඛ්‍යාවක් ඇති බව මංගල යෝජනා දැන්වීම් පළ වන පුවත්පත්වලින් දැකගත හැකිය. අද බොහෝ ඡ්‍යොතිෂවේදීන් විසිපොරොන්දම, අට පොරොන්දම දස පොරොන්දම වැනි සරල ඡ්‍යොතිෂ ක්‍රම භාවිතයෙන් විවාහ ගැළපීම කිරීම නිසා විවාහ වී විවාහ කඩාකප්පල් වීම් ප්‍රතිශතය හා සමානවම විවාහ නොවන ප්‍රතිශතයද වැඩි වී ඇත. අප වෙත පැමිණි පසු දෙදෙනෙකුගේ කේන්ද්‍ර පරීක්ෂාවක් කර දුන් විට ඔවුන් අපෙන් අසන්නේ පොරොන්දම් කීයක් ගැළපෙනවාද කියායි. ඒ තරමටම ඔවුන් පොරොන්දම් කෙරෙහි විශ්වාසයක් තබා ඇත. මේ මතය වෙනස් කිරීම දුෂ්කරය.

විවාහ නොවන ප්‍රතිශතය වැඩිවී ඇත්තේ කුජ, ශනි (අඟහරු - සෙනසුරු) සංයෝගය හෙවත් ශනි මංගල දෝෂය එක් අයකුගේ කේන්ද්‍රයේ තිබී අනෙකාගේ කේන්ද්‍රයේ එයට ගැළපෙන පරිද්දෙන් එම කුජ,ශනි සංයෝගය නොතිබුණහොත් එම කේන්ද්‍ර දෙක ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. එලෙස කුජට සහ ශනිට ඇති අනියත බය නිසා ඉතා හොඳින් ගැළපෙන විවාහ යෝජනා මඟ හැරී එම දරුවන්ගේ කල වයස ගොස් එම මාපියන්ද තම දරුවන්ගේ විවාහ සම්බන්ධ බරපතළ මානසික පීඩා ඇති කර ගනී.

අප රටෙහි මෙන්ම ඉන්දියාවේද මේ තත්ත්වයෙහි බරපතළකම තේරුම්ගත් කි‍්‍රෂ්ණ මූර්ති පඬිතුමා ඉතා සාර්ථක ලෙස විවාහ ගැළපීමේ ක්‍රමවේදයක් පරිශීලනය කර අද වන විට ඉන්දියාවේ මෙන්ම අප රටෙහිද එම ක්‍රමයෙන් විවාහ පරීක්ෂාවක් කරනු ඇත. එම ක්‍රමයට අනුව පොරොන්දම් ගැළපීමේ ප්‍රතිශතය කොහෙත්ම සැලකීමට ගනු නොලැබේ. ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා දෙදෙනෙකුගේ කේන්ද්‍ර පරීක්ෂාවක් කරන විට ප්‍රථමයෙන් එම අයට විවාහයක් කර ගැනීමේ වාසනාව ඇත්ද සොයා බලනු ඇත.

විවාහයක් තිබීනම්, විවාහය සමත්ව ඇති 7 වැනි භාවයේ ස්ඵුටය අනුව එම භාව ස්ඵුටයේ උපස්ථාන අධිපති ග්‍රහයා 2, 7, 11 යන භාවවලට සම්බන්ධය තිබිය යුතු වේ. ඒ අතරම කාරක ග්‍රහයින් ගැනද සැලකිලිමත් වී ඇත. එනම් 7 වැනි භාවයේ උපස්ථානාධිපති ශනි වුවහොත් නියමිත වයසට වඩා කල් යන බවත් සිකුරු නම් එසේ නොවන බවත් පෙන්වාදී ඇත. ඒ අනුව විවාහයට වඩාත් තුඩුදෙන ග්‍රහයා සිකුරුවන අතර බාධක ග්‍රහයා ශනි වන බැව් පෙන්වා දී ඇත.

එහෙත් මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂා කරනු ලැබූ කුලර් තුමා කාරක ග්‍රහයින් ගැන සැලකිලිමත් වී නැත. එනම් එතුමාගේ පරීක්ෂණවලදී ශනි හෝ සිකුරු ප්‍රබල ලෙස තමාගේ නැකතෙන් උපස්ථානයක් සහ උප උපස්ථානයෙන් 7 වැන්න 5 වැන්න 11 වැන්න සම්බන්ධ වේ නම් සහ එයට අදාළ දශාවක් යෙදේනම් සහ ගෝචරයද එකඟ වේ නම් නිසි කල වයසේ වුවද විවාහයක් සිදු විය හැකි බැව් පෙන්වා දී ඇත. කි‍්‍රෂ්ණ මූර්ති තුමා 7වැනි භාව ස්ඵුටයට අදාළ උපස්ථානය තම නැකතේ සහ උපස්ථානයෙන් විවාහයට අදාළ 2,5,7,11 භාව සම්බන්ධ කළ අතර කුලර්තුමා විවාහයක් හෝ ඕනෑම කරුණක් තම කර්මයෙන් ගෙන ආ යුතු බව සැලකු නිසා එතුමා ලග්න භාවයේ ස්ඵුටය උප උපස්ථානය දක්වා දීර්ඝ කළ අතර විවාහය ගැන බැලීමේදී 7 වැනි භාවයේ උප උපස්ථානාධිපති ශනි හෝ කුජ හෝ ඕනෑම ග්‍රහයෙක් කේන්ද්‍රයේ කුමන ආකාරයෙන් හෝ පිහිටා තිබුණේ නම් ශනි, කුජ ළඟම අංශක ගණනින් සංයෝගය තිබුණත් එම ග්‍රහයින් හෝ ඕනෑම ග්‍රහයෙක් ලග්නභාවයේ සහ 7 වැනි භාවයේ උප උපස්ථානාධිපති වී භාව 12න් 7 වැන්නට 5 වැන්නට 11 වැන්නට සම්බන්ධ වේ නම් එම තැනැත්තාට ස්ථිර වශයෙන්ම විවාහයක් ඇත. කුලර් පද්ධතියට එම ග්‍රහයින්ගේ කාරකත්වය අදාළ නැත. මා හටද ඒ බැව් සනාථ කිරීමට ඕනෑ තරම් උදාහරණ ඇත. එලෙස ශනි සහ කුජ වැනි පාපි ග්‍රහයින් විවාහයට අදාළ භාවයන් සම්බන්ධ කරමින් නිසි කලට විවාහ වූ අය අද සාර්ථක විවාහ ජීවිත ගත කරමින් ඇත. ඒ අයගේ කේන්ද්‍ර පරීක්ෂාවන් ශනි මංගල දෝෂය සලකන ඡ්‍යොතිෂවේදීන් වෙත ගෙන ගියා නම් අදටත් ඒ අය විවාහ නොෙවී එම දෙමාපියන්ටද පීඩාවක් ගෙන දෙනු ඇත.

විවාහයට හිතකර කාරක ග්‍රහයා වූ සිකුරු 7 වන භාවයේ උප උපස්ථානාධිපති වී තමාගේ නැකැතෙන් උපස්ථානයෙන් සහ උප උපස්ථානයෙන් විවාහයට විරුද්ධ භාව වන 2,4,6,8,10,12 වැනි භාව හා සම්බන්ධ වුවහොත් එම තැනැත්තාට විවාහයක් උරුම නැත. ඒ අනුව කර්ම මූලයෙන් තමාට විවාහයක් නොමැති බව නොදැන නොයෙක් ආකාරයේ වත් පිළිවෙත් කර නිකරුනේ මුදල් නාස්ති කිරීම වළක්වා ගැනීමේ හැකියාව කුලර් පද්ධතිය භාවිත කිරීමෙන් ඡ්‍යොතිෂ පලාපල කියන ඡ්‍යොතිර්වේදීන්ට හැකියාව ඇත. අද අප රටට ආධුනික වූ මේ කුලර් පද්ධතිය ඉදිරියට ගෙන යාමට උත්සහ කිරීමේ අරමුණෙන් මෙම ලිපිය මෙසේ ලියා පළ කරමි. ශනි මංගල දෝෂයට බිය නොවී තමාට ගැළපෙන සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට ඔබට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

 

ඡ්‍යොතිර් ශිරෝමණී ඡ්‍යොතිර් පඥා

සුනීතා සමරසේකර 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.