ඔබ උපන්නේ ජනවාරි 6, 7, 8 හෝ 9 දිනකද?

ජනවාරි 26, 2024

 

ජනවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වන බැවින් ජනවාරි මාසයේ බලයෙන් ඇති විය හැකි දුෂ්කරතා සමනය වෙමින් වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වේ. එහෙත් ආදරය කිරීම, ආදරය ලැබීම සහ විවාහය යන කාරණාවලදී ගැටලු සහගත තත්ත්වයන් ඇති විය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. කෙසේ වෙතත් විරුද්ධ ලිංගිකයන්ගෙන් සියලු ලැබීම් හිමි වීමේ වසනා ගුණයක් ඔවුන් සතුවේ.

සාහිත්‍ය, සංගීතය වැනි කලා නිර්මාණයන් සඳහා සහජ හැකියාවක් මේ දිනවල උත්පත්තීන් සතුවන අතර, එම නිර්මාණයන් සමාජය යහ මඟට හැරවීම සඳහා යොදාගන්නා නිර්මාණයන් වීම විශේෂිත වේ. එම නිසා එම නිර්මාණයන්ට සමාජයෙන් බොහෝ පැසසුම් හිමි වේ. එබැවින් ජනතාව වෙනුවෙන් කරන නිර්මාණ මඟින් සාර්ථකත්වයට පත්විය හැකිය.

එසේම මේ දිනවල උපන් අයගේ ජීවිතයේ මුල් කාලයේ එනම් වයස අවුරුදු 35 දක්වා දුෂ්කරතා බහුල වේ. බොහෝවිට ඥති සම්බන්ධතාවලදී ගැටුම් නිර්මාණය වේ. එම නිසා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ආර්ථික කටයුතුවලදී මුදල් ඒකරාශි කිරීම සඳහා අවධානය යොමු නොකිරීම මොවුන්ගේ දුර්වලතාවයක් වශයෙන් හඳුනා ගත හැකිය. නමුත් ධනවත් වීමේ සියලු ලකුණු පෙන්නුම් කෙරේ. එම නිසාම කුමන ක්‍ෂේත්‍රයක සිටියත් සියලු දුෂ්කරතා මැඬගෙන ජීවිතයේ දෙවැනි භාගය සාර්ථක කර ගැනීමට හැකියාව පවතී. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන මුත් ශරීරයේ අභ්‍යන්තර අවයවවල ආබාධ තත්ත්වයන් ඇතිවිය හැකිය. ගින්නෙන් මෙන්ම රිය අනතුරුවලින් හානි සිදු විය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6, 15, 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. එසේම අංක 4 සහ 8 සියලු කටයුතු සඳහා යොදා නොගත යුතුය. සියලුම නිල් පැහැයේ වර්ණ සුබ වර්ණ වන අතර, එම වර්ණයන් ද භාවිත කිරීමෙන් යහපත් ප්‍රතිපල ලබා ගත හැකිය.

ජනවාරි මාසයේ 7, 16, 25 දිනයන්හි උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, මොවුන් නැප්චූන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.

මේ දිනවල උපන් පුද්ගලයන් යම් ආගමික නැඹුරුතාවයක් සහිත අය වේ. නමුත් එම තත්ත්වය තුළ සම්ප්‍රදායට පටහැනි යම් අසාමාන්‍ය ස්වභාවයක්ද දැකිය හැකිය. එය උත්පත්ති පිහිටීමකින් උරුම වුවද මනස මෙහෙයවා නිසි මඟ ගමන් කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතුය. කෙසේ වුවද ඔබ වෙත පැවරෙන ඕනෑම ආකාරයක වගකීමක් නිසි පරිදි ඉටුකිරීමේ ස්වභාවය සහ ඒ සඳහා යොදවන කැපකිරීම සමාජය ඇගයීමට ලක්කරනු ඇත. නිහඬ භාවය ඔබ අගයන අතර, මනෝ ලෝකවල ජීවත් වීමේ ස්වභාවයද, යම් වරෙක ගැටලු ඇතිකිරීමට හේතු වේ. නමුත් ඔබගේ ඒ තුළින් ඇති වන්නාවු හෘදයාංගම භාවය අව්‍යාජකම සහ නිර්මාණශිලිභාවය ඉහළින් කැපී පෙනේ. මාසයේ බලයෙන් ශනි සම්බන්ධ බැවින් ජීවිතයේ මුල් කාලය තුළදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වේ.

එසේම මේ දිනවල උපන් බොහෝ අය සංචාරය සඳහා විශේෂ කැමැත්තක් දක්වයි. ඒ සඳහා බොහෝ විට මුහුදු සංචාරයන් යොදා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දැකිය හැකිය. තවද මෙම දිනවල උපන් අය අධිකාරිමය බලයක් ඇති තනතුරු සඳහා නිතැතින්ම තල්ලු වේ. එසේම මේ දිනවල උපන් පුද්ගලයන් ගේ ආර්ථිකය එතරම් යහපත් නොවේ. මුදල් ඉතිරි කිරීම සිදු නොවේ. මන්ද ඉතිරි කිරීමට තරම් මුදලක් අත ඉතිරි වන්නේ නැත. විවාහය සාර්ථක වුවද විවාහය දිවියට ඇතුළුවීම සඳහා දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවේ. උගුර පෙණහලු ආශ්‍රිත රෝගාබාධයන් සඳහා වැඩි ඉඩකඩක් ඇති බැවින් විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්ද මොවුන්ගේ රෝග හඳුනා ගැනීම පහසු වන්නේ නැත. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 2, 7, 11, 16, 20, 25 යන දිනයන් හෙවත් අංක 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ. කහ පැහැය, කොබෙයියාගේ අළු පැහැය, කොළ, ක්‍රීම්, සුදු පැහැය ආදි වර්ණ සුබ වර්ණ වන අතර, එම වර්ණයන් සියලු කටයුතුවලට යොදා ගැනීමෙන් යහපත් ප්‍රතිපල ලබා ගත හැකිවේ.

ජනවාරි මාසයේ 8, 17, 26 දිනයන්හි උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, ඔබගේ පෞද්ගලික අංකයට අදාළව සහ මාසයේ බලයෙන් ශනි ග්‍රහයාගේ කම්පනයට යටත් වේ. මාසයේ බලයෙන් සහ උපන් දිනයෙන් ශනි ද්විත්ව ආකාරයෙන් ක්‍රියාත්මක වන හෙයින් මේ දිනවල උපන් පුද්ගලයන්ට බරපතළ වගකීම් දරා ගැනීමට සිදු වේ.

විශේෂයෙන් වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26 ආදි වු අංක 4 හා අංක 8 යෙදෙන වසරවලදි අතිශය පීඩාකාරි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. එම නිසා ජීවිතයේ සෑම අවස්ථාවකදීම පවා ප්‍රබල මානසික කඩා වැටීම්වලට ලක්වන ආකාරයේ කටයුතු සිදුවන බැවින් ඒ තත්ත්වයන් ට මුහුණ දිය හැකි මානසිකත්වයක් ඇති කර ගත යුතුය. ඔබ වෙනත් පාර්ශ්වයන්ගෙන් යැපීම් බලාපොරොත්තු වන්නේ නැත. සෑම විටම තමා මත රැදෙමින් කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. එහෙත් තමාට වඩා පහළ යයි සිතන පුද්ගලයන්ට උදව් කිරීම සිදු කරනු ලැබේ. නමුත් මෙහිදී ඔබ ප්‍රවේශම් විය යුතුය. මන්ද සමාජයෙන් ප්‍රබල විරෝධතා ඔබට එල්ල විය හැකිය. සමාජයේ වැරැදි පිළිබදව ඉතා හොඳ අවබෝධයක් ඔබ සතුවන නමුත් ඒවාට විරුද්ධව නැගී සිටීම ඔබගේ ක්‍රමය නොවේ.

විවාහය සාර්ථක නොවේ. එම නිසා විවාහය ප්‍රමාද වන්නේනම් එය යහපත් වේ. ආර්ථිකමය දියුණුවක් බලාපොරොත්තු විය නොහැකිය. කිසිවිටෙක සූදුව හෝ ඔට්ටු තැබීම, ලොතරැයි ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකිය. බොහෝ විට ලැබෙන ධනයක් වේ නම් අනිත් අයට බෙදා දීම හෝ පුණ්‍ය ආයතනවලට දීම සිදු විය හැකිය. බලාපොරොත්තු රහිත ලෙස අසනීපවලට මඟ පෑදෙන අතර, ආහාර මාර්ගයේ අවහිරතා අභ්‍යන්තර අවයවවල දෝෂ ඇති විය හැකිය. තවද කොදු ඇට පෙළට ඇතිවන හානි දෙපා වළලුකරට සිදුවන උපද්‍රව හදිසි අනතුරු නිසා හෝ ඇතිවිය හැකිය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 1, 2, 7, 10, 11, 16 යන දිනයන් හෙවත් අංක 1, 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ. කාක නිල්, නිල්, අළු පැහැයේ වර්ණ ආදි වර්ණයන් සුබ වර්ණ වේ.

ජනවාරි මාසයේ 9, 18, 27 දිනයන්හි උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර, ඔබ කුජ සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. දැඩි අධිෂ්ඨානයත් ජීවිතයේ ඉහළ නැගීම අරමුණ කරගත් ජීවන ගමනේදි තමා හමුවට පැමිණෙන ඕනෑම බාධකයක් ජය ගත හැකි පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබති. එහෙත් ජීවිතයේ මුල් භාගය ඉතා දුෂ්කර වේ. විශේෂයෙන් දිවිගමනේදි වරින් වර සාර්ථක අසාර්ථක භාවය දෝලනය වෙමින් පැමිණිම සිදු වේ. නමුත් දැඩි අධිෂ්ඨානයත් ජීවිතයේ ඉහළට පැමිණීමේ අශාවන් එක්ව කටයුතු කිරීමෙන් සාර්ථකත්වයක් ලබා ගත හැකිය. මිනිසුන් සංවිධානය කර කටයුතු කිරීම මොවුන්ගේ ක්‍රමය වන අතර, ඒ සඳහා අවස්ථාව ඔවුන්ට හිමිවේ. හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදු වේ. මේ පුද්ගලයන්ට සතුරන් ඇතිවීම ස්වභාවයෙන්ම සිදුවේ. සමාජීය වශයෙන් හොඳ විවාහයකට උරුමකම් කියන අතර, යම් කිසි කණගාටුදායක සිදුවීම් පසු කාලිනව ඇතිවිය හැකිය.

ජනවාරි මස මේ දිනවල උපන් පුද්ගලයන් වයස 35 න් පසු හොඳ ආර්ථිකමය පසුබිමක් ඇති කර ගන්නා නමුත් වයස 60න් පසුව ධනය රැක බලා නොගතහොත් ආර්ථිකමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. සෞඛ්‍යය තත්ත්වය ඉතාමත් යහපත් වන අතර, අවිවේකී බව හේතුවෙන් හෘද්‍යාබාධවලට පැහැදිලි ඉඩකඩක් ඇත. කණගාටුව කිසිම දැණුම් දීමකින් තොරව හදිසියේ සිදුවන මරණයකට මුහුණ දීමයි. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 3, 6, 9, 12, 15, 18 ආදි දිනයන් හෙවත් අංක 3, 6, 9 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ. නමුත් අංක 4 සහ 8 යන අංකයන් කිසිසේත්ම සියලු කටයුතුවලින් බැහැර කර ගත යුතුය. රෝස රතු පැහැයේ වර්ණයන් සුබ වර්ණ වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.