ඔබටත් අනුන් වශී කළ හැකිද?

මැයි 3, 2024

 

අත්ලක මණ්ඩල අතුරින් ඉතාම වැදගත් මණ්ඩලයක් ලෙස රවි මණ්ඩලය හැඳින්විය හැකි අතර මුදු ඇඟිල්ල හෙවත් රවි ඇඟිල්ල අත්ලට සවි වන ස්ථානයේ රවි මණ්ඩලය පිහිටා ඇත. ඕනෑම පුද්ගලයකුගේ පැවත්ම මූලික වශයෙන් අත්ලේ රවි මණ්ඩලය පරික්ෂාවෙන් දැනගත හැකි අතර මණ්ඩල රේඛාවද සහිතව මනා ලෙසට තරමක් උසට රෝස පැහැයෙන් පිහිටා ඇත්නම් එය යහපත් රවි මණ්ඩලයක් ලෙස හැඳින්විය හැකිය. බුධ ගුරු මණ්ඩල තරම් රවි මණ්ඩලය උස්ව නොපිහිටන අතර එවිට දුබල රවි මණ්ඩලයක් යැයි කිව නොහැකිය.

රවි ඇඟිල්ල කෙලින් පිහිටා ඉහත කී ලක්ෂණ සහිතව බුධ ඇඟිල්ල සහ ශනි ඇඟිල්ල රවි ඇගිල්ල දෙසට නැවි ඇත්නම් මණ්ඩලයේ ප්‍රබල බව වැඩිවේ. මොවුන් ආකර්ෂණීය පෙනුමකින් යුක්තය. අව්‍යාජත්වය මුහුණින් දිස්වේ. දිප්තිමත් ඇස්වේ. ඇසිපිය දිගය ඇස් කන් නාසා නියම ප්‍රමාණයට පිහිටා ඇත. මිහිරි නමුත් නියෝගාත්මක කටහඬක් සහ සිත් ගන්නා සුළු ගමන් විලාශයක් ඇත්තෙකි.

එසේම රවි මණ්ඩලය යහපත් නම් පුද්ගලයා සෘජුව අදහස් ප්‍රකාශ කරන අතර කථාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් හා පැවැත්මෙන්ද අවංක පුද්ගලයන් වේ. ඔවුන් වැරදි හෝ අඩුපාඩු පෙන්නා දුන් විට පිළිගැනීමට මැළි නොවේ. පෙර සුදානමකින් තොරව ඕනෑම මාතෘකාවක් යටතේ කතාකිරීමේ හැකියාව ඔවුන් සතුවන අතර තමන්ගේ චරිතය ගැන වඩාත්ම සැලකිලිමත් වේ. කලා අංශයට නැඹුරු වන අතර මොවුන්ගේ කටහඬද ගීත ස්වභාවයෙන් යුතුය.

කවර සමාජයක වුව සාර්ථක පුද්ගලයකු වන තම දැනුම නියමාකාරයෙන් භාවිත කළ හැකි අයෙකු නිසා. කවර තැනකදි වුවද ඉදිරිපත් වීමේ ගතිය ඇත්තෙකු ද වේ. එහෙයින් සියල්ලන් අතර කැපී පෙනෙන ජනප්‍රිය විනෝදශීලි අයකු වේ. එම නිසා සතුරන්ද ජයගත හැකි වේ.

තවද මොවුන් හොඳ ආත්ම විශ්වාසයකින් වැඩ කටයුතු කරන අතර නිතරම විනෝදයෙන් කල් ගෙවීමට ආශා කරයි. අලංකාරව ජීවත් වීම සඳහා ඇත්තේ බලවත් කැමැත්තකි. රවි මණ්ඩලය බලවත් කාන්තාවක් නම් අනුන් වශීකර ගැනීමේ සහ ආකර්ෂණය කර ගැනීමේ විශේෂ හැකියාවක් ඇති අතර ගේ දොර පිළිවෙලට තබා ගන්නා සමාජශිලි තැනත්තියකි. ඇය ඉතාම රූමත්ය.ඇයට ගැළපෙන්නේ ගේ දොර නවීන ක්‍රමයට අලංකාරව තබා ගැනීමට මෙන්ම රූපලාවණ්‍ය කටයුතු සඳහා යහමින් මිල මුදල් වියදම් කළ හැකි සැමියෙකි.

විවාහ දිවියේදි පණ සේ තම බිරිඳට ආදරය කරන යහපත් රවි මණ්ඩලයක් ඇති පුද්ගලයෝ ප්‍රති ආදරය නොලැබුණොත් ඉතාම ඉක්මනින් ජීවිතය කලකිරේ. එම නිසා විවාහයට බුධ, ශනි, චන්ද්‍ර මණ්ඩල ප්‍රබල අත්ල ඇති අය ගැළපෙන්නේ නැත. කෙසේ වෙතත් තම බිරිද වැදගත් සමාජයේ කැපී පෙනෙන කෙනෙක් සේ තබාගැනීමට නිතරම උත්සහ කරයි. දේශපාලකයන්, රජයේ උසස් නිලධාරින්, නළු නිළියන්, කලාකරුවන්, ලේඛකයන් බොහෝමයක් රවි මණ්ඩලය ප්‍රබල වූවන්ය.

එසේම රවි මණ්ඩලය දුර්වලව පිහිටා ඇත්නම් එම පුද්ගලයා කලාවෙන් බැහැර වු හිස් මිනිසෙක් වේ. විනෝදය ප්‍රිය කරන්නේ නැත. අනවශ්‍ය දේව විශ්වාසවලට පෙලඹේ. සමාජය තුළ ක්‍රියා කරන්නේ බුද්ධි හීනයෙක් ලෙසය. සැඟවුණු චරිතයකි. ඉදිරිපත් වීමේ හැකියාව නොමැති අතර නිතරම විවේචනශීලී වේ. තමන්ගේ ආත්ම වර්ණනාව හා පුරාජේරුව නිසා සමාජයෙන් අපහාස ලබයි. මොවුන් හිතුවක්කාර මෙන්ම තමා ගැන ඉමහත් ඉහළින් සිතා සිටි නිසා තමාගෙත් අන්‍යයන්ගේත් විනාශයට කරුණු යෙදේ.

රවි මණ්ඩලය මත තරු සලකුණ පමණක් පිහිටා ඇති නම් ජීවිතයේ නොයකුත් බාධකවලට මුහුණ දීමට සිදුවුවත් අවසානයේ තමන්ට ජයග්‍රහණය හිමිවේ. නමුත් සෘජු රේඛා හෝ රවි රේඛාව සමඟ තරු සලකුණ පිහිටියේ නම් ඉහළ ප්‍රසිද්ධියක් උසස් තත්ත්වයත් සමග ධන සම්පත් ද හිමිවන බවට ඉඟියකි. කතිර සලකුණ ද සෘජු රේඛාවක් හෝ රවි රේඛාවක් සමඟ පිහිටා ඇතිනම් ජීවිතයේ දියුණුව ඇතිවේ. එසේ නොමැතිව කතිරය තනිව පිහිටීම තමාගේ වැරදි නිසා මුදල් පරිහාණියට පත් වී දියුණුව නැතිවන බව පෙන්වන සලකුණකි. එමෙන්ම අචාර ධර්ම පිළිනොගැනීම නිසා දක්ෂතා යටපත් වන පිහිටීමකි. කාන්තාවකගේ අතෙහි පිහිටා ඇත්නම් තෘෂ්ණාධික කාන්තාවක් වේ.

ත්‍රිකෝණය පිහිටිම පුද්ගලයා තම කලාත්මක දක්ෂතා එක් දිශාවකට වර්ධනය කර ගැනීමෙන් දියුණුවන බව පෙන්වන සලකුණකි. චිත්‍ර ශිල්පයේ යෙදෙන්නන්ට සහ සමුහ ව්‍යාපාරවල යෙදෙන්නන්ට ඉතාමත් යහපත් පිහිටීමකි. සිරස් රේඛාවක් රවි මණ්ඩලයේ පිහිටීම ගෘහ ජීවිතයේ ප්‍රීතීය භුක්ති විඳින යහපත් ශරිර සෞඛ්‍යයකින් යුතු ප්‍රසිද්ධ පුද්ගලයන් බිහිකරන පිහිටීමකි.

සිරස් රේඛා දෙකක් නම් දක්ෂතා දෙකක් හෝ ආදායම් මාර්ග දෙකකින් දියුණුවට පත් වේ. ලප හෝ තිත රවි මණ්ඩලයට අයහපත් ලක්ෂණයක් වේ. කිසියම් ආකාරයක කරදරයකට පත්කෙරේ. සතූරු බලපෑම් ඇතිවන අතර යහළුවන් ආශ්‍රයේදීත් කතාබහේදීත් පරිස්සම් වීම අවශ්‍ය වේ.

දුපත ද ප්‍රධාන අශුභ ලක්ෂණයක් වන අතර ශරිර සෞඛ්‍යයට හානි කරන බව පෙන්වන සලකුණක් හෙයින් සෞඛ්‍යය ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. දැල් සලකුණ ද මේ මණ්ඩලයට ඉතාමත් අශුභ ලක්ෂණයකි.අහංකාර පුද්ගලයෙකුගේ ලක්ෂණයකි. රවි මණ්ඩලයෙන් ඍජු රේඛාවක් පැමිණ හෘදය රේඛාව ස්පර්ශ කරයි නම් මැණික් ලැබීමේ වාසනාව ඇති බවට ඉඟියකි. එහෙත් එහිදී අනෙක් රේඛාවල බලපෑමද සොයා බැලිය යුතුය.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.