වයසට නොයන මා නැකත් හිමියෝ

මැයි 3, 2024

 

උපතේ දී මා නැකත හිමි නම් ලද දෙයින් වඩාත් සතුටුවන ඉතාම සැහැල්ලු දිවියක් ගෙවන අයෙක් වේ. තමාට කොපමණ දුක් කරදර, හිරිහැර, කායික මානසිකමය පීඩා පැමිණියත් ඒවා විඳ දරාගෙන යෑමේ ශක්තිමත් මානසික තත්ත්වයක් උපතින්ම පිහිටා තිබේ.

තමාට ජීවත්වීමට තරම් මානසිකමය හැසිරීම් රටාවකින් ද පෝෂණය වී ඇත. තරමක රෝගකාරක තත්ත්වයකට ළදරු වියේදී මුහුණපෑමට සිදුවේ. අන්‍යයන් සමඟ ඇසුරු කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන්නේ ඔවුන් හට තමන්ගෙන් කිසියම් වරදක් සිදුවේ ද යන්න ගැනයි. අන්‍යයන් සමඟ ඇසුරු කිරීමේ දී ඉතාමත්ම සුහදශීලීව වැඩ කටයුතුවලට පෙලඹේ. සිතාමතා වැරදි කරන්නේ ද නැත. තමා අතින් කිසියම් වරදක් සිදුවුව හොත් ඒ ගැන නැවත නැවත සිහිගැන්වේ.

සමහර විට තමාටම තමා තරහ වන අවස්ථා ද තිබේ. මොහුටම පාලනය කර ගැනීමට නොහැකි අන්දමට මනස පෙලඹේ. සමාජය ඉදිරියේ සැඟවුණ ගුප්ත චරිතයක් ද වේ. සමහරවිට මොහුව තේරුම් ගැනීමට අපහසු වන්නේ ය. ඉතාම දිගු කලක් ඇසුරු කළත් හරිහැටි හඳුනා ගැනීමට අපහසු වන්නේ ය.

විශේෂයෙන් කාන්තා ඇසුරක් වෙතොත් එය ද එතරම් රුචියක් නොදක්වන තැනට පත්වේ. ආලය, ආදරය, ළෙන්ගතුකම ඔහු දකින්නේ ගුප්ත අන්දමටයි. ඉතාම නිහඬව කාලය ගත කිරීමේ රුචියක් ද තිබේ. සොබා දහමට වඩාත් පි‍්‍රය කරන මොහු සමහර විට හුදෙකලාවම මහා වනාන්තර ඇළ දොළ, ගංගා මෙන්ම දිය ඇලි, සුන්දර කෙත්වතුවලට තදින්ම පි‍්‍රය කරයි.

සංචාරක කටයුතුවලට කැමැති වගේම එවැනි අංශයක රැකියාවන් ද දක්ෂ වේ. වන සංරක්ෂණ නිලතලවලට වඩාත් සුදුසුයි. සංචාරක අංශයේ ද උපදේශන මෙන්ම තෘණ විද්‍යාව ගැන වඩාත් උනන්දුවක් දක්වන අයෙක් වේ. කුඩා අවදියේ දී පාසල් ඉගෙනුම තරමක පහළ මට්ටමක පැවැතියත් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් තලයකට පත්වේ. සරසවි ඉගනුමකටද වාසනාව තිබේ. විදේශ සංචාරය මෙන්ම විදේශගත රැකියාවකට ද වාසනාව පෑදේ. මා නැකත හිමි අයට මා නැකතින්ම යම්කිසි අන්දමකට නිවෙසක් ඉදිකළහොත් මුලදී සැප සම්පත යස ඉසුරු ලැබීමට වාසනාව පෑදුණත් කල්ගතවත්ම ගෙහිමියන් හදිසි කරදර, චිත්ත, පීඩා ආර්ථිකමය අපහසුකම්, ලෙඩ රෝගවලට මුහුණපෑමට සිදුවේ. මා නැකත් හිමියන්ට බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, දෙට, අස්ලිස, රේවතී යන නැකැත් ඉතාම සුබ වේ.

මා නැකතට හිමි පක්ෂියා වන්නේ (පිංගල) මෙහි සඳහන් කරන ලද මේ නැකත් (15)ම විවාහයට ඉතාම යෝග්‍ය වන්නේ ය. කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප නැකතත් 9 විවාහයට අසුබයි. මා නැකතේ 1 වැනි පාදයෙන් උපත ලද්දේ නම් විවාහය පෙම් සබඳතාවක් මත සිදුවේ. විවාහයෙන් පසුව දියුණුව ලබයි. ගැහැනු දරුවන් වැඩිවිය හැකිය. කලාවට දක්ෂ අයෙකු ලැබේ. ජනපි‍්‍රය පුද්ගලයෙකු වන්නේය.

දෙවැනි පාදයේ නම් පළමු විවාහය තරමක පීඩාකාරී වුවත් පසුව යහපත් වන්නේ ය. තමාට වඩා වැඩිමහල් අයෙකු විවාහයට ලැබේවි.

තුන්වැනි පාදයේ විවාහය ඉතාම සුබදායක වේ. කලක් පෙම්කර යුගදිවියට පත්වේ. වාසනාවන්ත දරු පිරිසක් ඇතිවේ. දියුණුව ලබයි.

හතර පාදය නම් යස ඉසුරු සැප සම්පත් ළඟා වේ. රැකියාවේ වෙනස්කම් ද සිදුවිය හැකිය. සතුරු පීඩනයන් ද වරින්වර ඇතිවේ.

යම් කාන්තාවක් මා නැකතින් උපන්නේ නම් රූමත්, කාරුණික, ත්‍යාගවන්ත, සමාජයට පි‍්‍රය එමෙන්ම සමාජයෙන් ගෞරවය ලබන උතුම් කෙනෙක් වන්නේ ය. රූසපුව ද අන්‍යයන්ගේ සිත් දිනාගනී. ඕනෑම කෙනෙකු සමඟ සුහදව කතාබස් කිරීමත් සුහදත්වය රැකගැනීමට ඉතාම දක්ෂ වේ. වයසට වඩා අඩු පෙනුමකින් යුක්තවන්නීය. නාඹර වියේ නැත්නම් දෙගොඩහරි වියේදී තරුණ වියට වඩා අන්‍යයන්ගේ සිත් තමා වෙත නම්මා ගැනීමේ වාසනාව පෑදේ. වයසට යන්න යන්නම තරුණ පෙනුමක් ඇඟපතේ තිබේ. සමහරවිට මා නැකත හිමි කාන්තාවකට මැදිවියේ නැත්නම් දෙගොඩහරි වයසේ පිරිමින් සමඟ වඩාත් ඕනෑවට වඩා ඇගෑලුම්කම් පවත්වන්නට යාමෙන් තමාගේ පවුල් දිවියට අහිතකර වේ. සැමියා ඇය ගැන වැරැදි තීරණයන්ට බසිනු ඇති නිසා බුද්ධිමත්ව හැසිරිය යුතුවේ.

දේශපාලනය වැනි ක්ෂේත්‍රයන්ට නැඹුරු වුවහොත් අන්‍යයන්ගේ සිත් ගැනීමට සහජ වාසනාව හිමි නිසා ජය ගැනීමට වාසනාව පෑදේ. සමාජයේ ඉහළින්ම කැපී පෙනේ. වයස 50න් පසු මිල මුදල් අතට ලැබේ. භූමි සම්පත් හිමිවිය හැකිය. හවුල් ව්‍යාපාරික කටයුතුවලින් නම් ගැටලු පැනනගී. හොඳ හිත වැඩි නිසා දරුවන්ගෙන් ආදරය, සෙනෙහස උපරිම අන්දමට ලැබෙනු ඇත. යුගදිවිය ඉතාම රසවත්ව ගෙවීමට ජන්ම වාසනාව තිබේ. එහෙත් ඔබේ තරුණ පෙනුම වයස්ගතවත්ම වැඩිවන නිසා ගැටලු ද පැනනගී. ඔබේ බැල්ම ඔබට වදයක් වේවි. විදේශ ගත රැකියාවන්ට භාග්‍යය ද ඇත්තේ ය. රැකියා අවස්ථාවලදී රහස් සතුරු බලවේගයන් ද ගොඩනැඟීමට ඉඩකඩ වරින්වර පෑදේ. මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී වීම අතිශයින්ම වැදගත් වන්නේ ය. සීට්ටු දැමීම්, ඔට්ටු හා විවිධ මුදල් උපයන යම් යම් මාර්ගවලට ගියහොත් ඔබට ඔබ නොදැනුවත්වම ප්‍රශ්න ඇතිවේ. කල්පනාවෙන් එවැනි මූල්‍ය අංශයේ වැඩ කරන්න. ඔබට කිසිම දිනක මුදල් හරහා කරන ගනුදෙනු සාර්ථක නොවේ. විශාල මූල්‍ය ප්‍රශ්න ඇතිවේ. ඒ ඔබේ හිත හොඳකම වැඩි නිසාය. දැරියක් මා නැකතින් නිසිකලට මල්වර වී නම් ඇය ඉතාම හොඳ ගුණ යහපත් කල්ක්‍රියාව සුබ’ කලාවට කැමැති සෞන්දර්යවාදී කෙනෙක් වේ. මවුපියන්ට, සහෝදරයින්ට ඉතාම සුබදායක වන්නීය. සැප සම්පත් බහුලව ලැබේ. ප්‍රේම සම්බන්ධයකින් යුගදිවියට පත්වේ. මා නැකතින් මල්වර වීමෙන් වයසට නොයන පෙනුමක් ද නැකතේ ශක්තියෙන් ලැබේ. ඇයට රජ සැප විඳීමට පවා භාග්‍යය ලැබෙන බැව් දක්වා තිබේ. මා නැකතින් උපන් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම උපතින්ම බුද්ධිගෝචර බැවින් ද සෞන්දර්යවාදීන් ලෙස සිය දෛනික දිවියේ වැඩකටයුතුවලට පෙළඹේ. විවාහයට මෙය තදින්ම බලපෑම් කරනු ලබන නිසා දෙදෙනාම එකම පැතිකඩකට නැඹුරුවන්නේ නම් ජීවන ගමන අතිශයින්ම සාර්ථකත්වයට පත්වේ. උපන් ලග්නය තුළ පවතින ගතිලක්ෂණ මෙන්ම නැකත තුළ ද අන්තර්ගත වූ සුවිශේෂි කරුණු වඩාත් ඵලදායී වේ. ජල සම්පත පිළිබඳව මා නැකත මුල් වේ. කූප ශාස්ත්‍රයේදී ළිඳ කැපීමට ඉතාම සුබ නැකතක් ලෙස යොදා ගන්නේ ද මා නැකතය. විශ්ව ජීවියාගේ පැවැත්මට, මූලාධාර වන ජලයට අධිපති දේවත්වයෙන් සැලකිය හැකි නැකතකි මා නැකත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.