පුෂ නැකතින් උපන්නෝ

අප්‍රේල් 19, 2024

පුෂ නැකතින් උපන්නේ නම් කුඩා අවධියේ සිටම ඉගෙනීමට දක්ෂ අයෙක් වේ. උසස් ඉගෙනීමක් ලබා සමාජයේ ඉහළ තනතුරු දරයි. උපදේශකයන්, විද්‍යාඥයන්, තාරකා විද්‍යාව වැනි අංශයන්ට ද දක්ෂ වේ. ගුවන් නියමුවන් ද මේ නැකතින් සිටී. අන්‍යයන්ගේ සිත් කියැවීමේ අති දක්ෂතාව ඇති වේ. මෝහන විද්‍යාව මෙන්ම මනෝවිද්‍යා අංශයේ ද විශාල දියුණුවක් ලබයි. විවිධ භාෂා ප්‍රගුණ කරයි. තර්ක ඥානය ඇත. තර්ක ශාස්ත්‍රයට ඉතාම දක්ෂ වේ. විශ්වවිද්‍යාල මහාචාර්ය පදවි ලබයි. ඕනෑම දෙයක් විඳ දරාගැනීමේ ශක්තිය තිබේ. කුඩා කාලයේම ඉගෙනීමට දක්ෂ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ත්‍යාග, සම්මාන, සහතික පත්‍ර, තිළිණ ලැබේ. සමහර විට විදේශ ඒවා විය හැකිය. විදේශ ගතවීම්වලට වාසනාව පෑදේ. එයට මූලික හේතුව වන්නේ උගත්කමයි. සමහරවිට ඉතාම අඩු ආදායම් ලබන පවුලක උපත ලැබූවත් ක්‍රමයෙන් තමාගේ දක්ෂතාව නිසා සමාජයේ කැපී පෙනෙන උගත්, බුද්ධිමත්, ධනවත් අයකු වන්නේය. සමාජයෙන් සැලකිලි ලබනු ඇත. විනයගරුකයි. නීතියට වැඩ කරයි. නිකරුණේ කාලය ගත නොකරයි. ජනයා අතර ප්‍රසිද්ධ වේ. පාරම්පරිකව ලැබෙන ධනය, ඉඩකඩම් නැතත් ජීවිතයේ තරුණ වියේදී ඒවා තමාට නිතැතින්ම අත්පත් වේ. මිල මුදල් ගැටලු පැන නොනඟී.

ආගම ධර්මයට යොමු වේ. කාගේත් හොඳ හිත දිනා ගනී. මහා පෞරුෂයකින් යුක්ත පුෂ නැකත් හිමියා, කෙනෙකු තමා වෙත ආකර්ෂණය කර ගැනීමට සමත්ය. තරමක් කාමුකයි. රාගී චරිතයක් ද පිහිටා තිබේ. නමුත් රසවිඳීම සෞන්දර්යාත්මකව කරයි. විරුද්ධ පාර්ශ්විකයාගේ සිත දිනා ගැනීමට උපක්‍රමශීලි මාර්ග සොයා ගනී.

මොහුට වහා වසඟ වේ. ලෙහන්න තිබෙන මලු ඔබන සිරිතක් පුෂ නැකත් හිමියා තුළ නැත. වැදගත් අංශයකින් යුක්තව පේ‍්‍රමයට නැඹුරු වේ. ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම ආලය, ආදරය හා සෙනෙහසට තරමක් කෑදරයි. ඉතාම රහසේ පේ‍්‍රමයට නැඹුරු වේ. කිසිවෙකුට දැන ගැනීමට නොතබයි. රහස් ප්‍රේමය පසුව පේ‍්‍රමණීය ගීතයක් බවට පත්වේ.

යුගදිවිය සාර්ථකත්වයට පත්කර ගනී. යම් යම් අඩුපාඩු ඇතත් ඒවා සමනය කර ගනී. සියලුම පාඩු විඳ දරාගැනීමේ ශක්තියක් තමා තුළ පවතී. බලයෙන් කිසිවක් තමා සතු කර ගැනීමට උත්සාහ නොදරයි. තමාට ලැබෙන දෙය පමණක්ම භුක්ති විඳින චරිතයකි. ජීවිතයේ මැදි විය වන විට පිරිපුන් තත්ත්වයකට සෑම අංශයෙන්ම පත්වේ. තමාගේම නිවෙසක හිමිකරුවකු වීමේ භාග්‍යය ළඟා කරගන්නේ සිය දැඩි උත්සාහයෙනි.

පස්පව් දස අකුසල්වලට ඇබ්බැහි වීමක් සිදු නොවේ. තමාට ඇඟිල්ල දිගු කිරීමට කිසිවකුට නොහැකි වන්නෙ, තමා තමාම හරිහැටි අවබෝධාත්මකව ජීවිතය සකස් කර ගැනීමට දක්ෂ නිසාය. විරුද්ධ පාර්ශ්විකයන්ගේ ඇල්ම, රුචිය වැඩි වේ. යම් කාන්තාවක් පුෂ නැකතින් උපන්නේ නම් ඇය රූපයෙන් හරිම පියකරුයි. මනා අගපසඟින් යුක්ත වේ. දකින අය ඇයට වහා ආකර්ෂණය වේ. නමුත් ඇයගේ සිරුර කාමශක්ත බවින් තොරයි. ඇය අඳින ඇඳුම් පැලඳුම් ද චාම්ය. සරලය. වෛවර්ණ ඇඳුම්වලින් ද තොරයි. අඩනිරුවත් නොවේ. ආගම දහමට වඩාත් පි‍්‍රයයි. වැදගත් පෙනුම මෙන්ම වැදගත් ක්‍රියාවන් ද වේ. කෙනෙකුට දෙවැනි නොවන්නේ, ඇය ඉතාම අවංකව වැඩි කරන බැවින්ය. කුඩා කල සිටම සෑහෙන ධනයකට හිමිකම් ඇත. නිවාස දේපළ, ඉඩකඩම් හිමි වේ. අතමිට සරු කරයි. සාර්ථකම යුග දිවියක් ගෙවයි. තම සැමියාගෙන් තොරව එක් රැයක්වත් ගෙවන පුෂ නැකත හිමි බිරියක් ඇත්තේම නැත. ස්වාමි භක්තියෙන් ද අනූනයි. නිදියහනේ වෙසඟනක් වේ.

සැමියාට රස ගුලාවකි. දෙදෙනාට දෙදෙනාම රන් රස සේ පෑහේවි. යම් යුවතියක් පුෂ නැකතින් මල්වර වූයේ නම් ඇය ඉතාම වාසනාවන්තියකි. ඉතාම සුන්දර යුවතියක් වේ. යුගදිවිය සරු වේ. පින්වත් දරු සම්පත් ලබයි. ධාර්මික තැනැත්තියකි. පුෂ නැකත මල්වර වන නැකැත් අතරින් ශ්‍රේෂ්ඨ වේ. විවාහයෙන් පසු සැපසම්පත් විශාල ලෙස අත්පත් වේ. සැමියාගේ දියුණුව ලබන අතර දරුවන් සමාජයේ ඉහළම තැනට පත්වේ.

පුෂ නැකතේ 01 පාදයෙන් උපත ලැබීමෙන් යුගදිවිය අතිසාර්ථකත්වයට පත්වේ. වාසනාවන්ත දරු සම්පත් හිමි වේ. ධනවත් වේ.

2. පාදයේ නම් දිනෙන් දිනම දියුණු වන අයකු වේ. හදිසි ධනයකට හිමිකම් ඇත්තේ වේ. විදේශ ගතවීමේ වාසනාව පෑදේ.

3. පාදයේ නම්, තරමක ගැටලු පැන නඟී. පෙම් සබඳතා ගැටලු සහගත වන අතර, විවාහය කල්ගත වේ.

4. පාදයේ නම් යෝජනා මඟින් විවාහය සිදු වේ. විවාහයේදී නෑයන්ගේ විරුද්ධතා පැන නඟී. තරමක ගැටලුවලට මුහුණපෑමට සිදු වේ.

පුෂ නැකතට ගැළපෙන සීහුම් ඇති නැකැත් ලෙස දැක්වෙන්නේ අස්ලිස, බෙරණ, රෙහෙණ, අද, පුනාවස නැකත්ය.

අස්විද, කැති, මුවසිරස ගැළපීම් නැත. විපත් සහ වඳ තත්ත්වයට පත්වේ. ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත් පුෂ නැකැත උත්සාහයෙන් තමාගේ ජීවිතය හරිහැටි තේරුම් ගෙන යාමට හැකිවන බැව් ඡ්‍යොතිෂයේ දක්වා තිබේ. සෙනසුරු ග්‍රහයා දුක්දෙන ග්‍රහයකු ලෙස ප්‍රචලිතයි. දුකේ කෙළවර සැපයි. එබැවින් එක්වරම සෙනසුරුට රතුලේබලය ඇලවිය හැකි නොවේ. වාස්තු විද්‍යාවේ දැක්වෙන පරිදි පුෂ නැකතින් නිවෙසක් ගොඩනැඟුවේ නම් ධනධාන්‍ය, සැප සම්පත්, පිරිවර ලැබේ.

නිවසට ශ්‍රී ලක්ෂ්මී දේව ආකර්ෂණය ඇති වේ. බොහෝකල් පවතී. අනපේක්ෂිත අන්දමට ගෙය ගොඩනැඟීමට අතමිට සරුසාර වේ. මුදල් ප්‍රශ්නයක් නැත. පුෂ නැකතින් ගෙයක් ගොඩ නැඟූ විටදී වසර 117ක වඩා පවතී යැයි වාස්තු විද්‍යාවේ දක්වා තිබේ. තරුවැල් සමූහයකින් කේතු රූපාකාරව පුෂ නැකත නිර්මාණ වී ඇති අතර, මේ නැකැතින් උපන් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම ඉතාම වාසනාවන්ත දිවියක් ගෙවීමට විශ්ව ශක්තිය ආරෝපණය වන බැව් දක්වා තිබේ.

ජන්ම ලග්නය මෙන්ම සඳුගේ බලශක්තිය ඔස්සේ කාන්දු වී ඇති ආලෝකය පුෂ නැකැත වටා එක්රොක් වී තිබේ. විශේෂයෙන්ම ජන්ම නැකැතින් පුද්ගල ජීවිතයේ සිදුවන සියල්ලම ධනාත්මක පැතිකඩක් නියෝජනය කරන අතරම ඍණ පැත්තකට හැරීමක් සිදුවන්නේ ඔහු හෝ ඇය ගතකරන ජීවන රටාවේ අසුබ පැත්තේ ක්‍රියාත්මක වීම නිසා බැව් පෙනේ.

පූර්ව භවයන්හිදී කරන ලද යම් යම් කුසල් මෙලොවදී පල නොදෙන්නේ මෙලොව කරන මහා අකුසල් නිසාය. මේ ගැන ගැඹුරු තොරතුරු නැකැත හරහා සොයා ගැනීමට හැකිවන්නේ තෙවැනි ඇසින් විග්‍රහ කර බැලීම මතය. කෙසේ වෙතත් ඔබ පුෂ නැකතින් උපන්නේ නම් නැකැතට උචිත අන්දමට ජීවිතය ගෙන යෑමට යත්න දැරීමෙන් දිවිය ජය ගත හැකි වන්නේය. නැකැත හොඳ නිසා වැඩ කටයුතු ද හොඳ වීම අනිවාර්ය වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.