මෘගයාටත් සිකුරුටත් එකසේ බැඳුණු

මාර්තු 29, 2024

සල්මන් ඛාන් ලෝකයේ ප්‍රසිද්ධ නළුවකු බවට පත් වන්නේ ඔහුගේ නමේත්, දෛව අංකයේත්, පෞද්ගලික අංකයේත් ඇති ගැළපීම නිසාය. ඔහුගේ නමේ අකුරුවල එකතුව 3කි. දෛව අංකය 6යි. පෞද්ගලික අංකය 9වේ. මේ 3-6-9 සුසංයෝගය ඔහුට විනෝදාස්වාදයේ කිරුළ හිමි කර දුන්නේය. එහි ප්‍රධාන සාධකය වන්නේ සිකුරුට හිමි අංක 6 ඔහුගේ දෛව අංකය වීමයි. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, සුඛෝපභෝගී යාන වාහන හා නිවාස මෙන්ම කම්සැප ආදි සියලු සම්පත් ඔහුට ලැබුණේ සිකුරුගේ අංකයෙන් බව අංක විද්‍යානුකූලව විමසද්දී පෙනී යයි.

සල්මන් ඛාන් පමණක් නොව ලෝකප්‍රකට චරිත බවට පත් වූ දලයිලාමා, රබීන්ද්‍රනාත් තාගෝර්, මයිකල් ජැක්සන්, හැරී පොටර් ලියූ ජේ. කේ. රෝලින්, ලියනාඩො ඩිකැප්රියෝ, එමා වොට්සන්, බොබ් මාලේ, ඩේවිඩ් බෙකම් වැනි අය ද තමන්ගේ දෛව අංකය 6 බව පිළිගන්නා පිරිස අතර වෙති.

ඔබ උපන්නේ 6,15, 24 දිනක නම් හෝ ඔබේ සම්පූර්ණ උපන්දිනය තනි අංකයක් දක්වා එකතු කළ විට අංක 6 ලැබෙන්නේ නම් ඔබ සිකුරුගේ මෙන්ම මෘගයාගේ ලෙස සලකන අංකයට අයත් වෙයි.

අංක 6 මෘගයාගේ අංකයක් ලෙස අර්ථකථනය වන්නේ ඇතැම් ආගම්වලට අනුවය. එහෙත් අංක විද්‍යානුකූලව සිකුරුට අයත් අංක 6 අධ්‍යාත්මික සාරය නියෝජනය කරන අතර ස්වයං අධ්‍යයනය අර්ථවත් කරයි. එනිසා ඔබ වාහනයක අංක තහඩුවක් හෝ නාම පුවරුවක හෝ බිල් පතක මුල් වරට දකින අංක 6 ඉලක්කම් පෙළ ඔබට ඔබේ ඉෂ්ට දේවතාවා විසින් පෙන්වන ලද විශ්වයේ පණිවිඩයක සංකේතය ලෙස අවබෝධ කරගත යුතු වෙයි.

අංක 6 විවිධ ධනාත්මක ගති ලක්ෂණ නියෝජනය කරන දයානුකම්පාව පිරි වඩාත් සුසංයෝගී සංඛ්‍යාවක් ලෙස අංක විද්‍යාවට අනුව සලකයි. සමබරතාව, සමගිය සහ වගකීම්සහගතබව දක්වන ගුණාංග සතු එය ධනාත්මක සිතිවිලිවලින් පිරිපුන්ය.

එබැවින් දිගින් දිගටම 6, 66 හෝ 666 වැනි අංක වෙත ඔබේ ඇස ඇදී යනවා නම් ඔබේ ජීවිතයේ හැඟීම්, සිතිවිලි, ක්‍රියාකාරකම් ඇතුළු සෑම අංශයක් කෙරෙහිම සමබරතාව සහ සුසංයෝගය පවත්වා ගැනීම අවශ්‍ය බව ඔබ නිතර සිහිපත් කළ යුතු වේ.

ඔබේ පවුලේ ස්ථාවරත්වය සහ සතුට පිළිබඳවත් එකිනෙකා අතර සම්බන්ධතාව මනාව පවත්වා ගැනීම සම්බන්ධයෙනුත් ඉෂ්ට දේවතාවා ඔබට සිහි කැඳවීම් කරන්නට එයින් උත්සාහ කරනු ඇත.

ඔබේ භෞතික සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සමබරතාවක් ඇති කරගත යුතු බව ද ඉන් පැහැදිලි කරයි. විශේෂයෙන් මූල්‍ය ස්ථාවරයත්වය සහ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් එලැඹ ඇති බව දැන සිටීම වැදගත් වනු ඇත.

එසේම අංක 6 වැඩි වාර ගණනක් පෙනේ නම් ඔබ පසුගාමී කළ ඍණාත්මක සිතිවිලිවලින් මිදී නිර්භයව තම සිතට දැනෙන නිවැරැදි ඉලක්ක කරා ගමන් කිරීමට ඔබේ ඉටු දෙවියන් ඔබට උපකාර කරන බව සිහි තබා ගන්න. එනිසා අභියෝග කෙරෙහි ඇති භීතිය ඉවත් කොට ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඔබේ ජීවිතයේ යථාර්ථය නිර්මාණය කිරීමේ ශක්තිය ඇත්තේ ඔබ සතුවයි. ඔබේ ආකල්ප සහ සිතිවිලි ඔබේ ජීවිතයට බොහෝ දේ එක් කරනු ඇත. එනිසා අංක 666 දැකීමෙන් බියක් ඇති කර ගැනීමට වඩා ධනාත්මක ලෙස එහි ගුණාංග හඳුනා ගැනීම ජීවිතය දිනීමට ඔබට හමුවන හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

සිකුරුගේ අංකය වන 6 සම්බන්ධ වන්නේ රාශි චක්‍රයේ වෘෂභ සහ තුලා ලග්නවලටය. එයින් අර්ථවත් කරන්නේ ආදරය සහ ලාලසාවයි. ඔබ ඔබ ගැන මෙන්ම ඔබේ ආදරණීයයන් ගැන වඩාත් සිතිය යුතු කාලය එළැඹ ඇති බවට ඉඟි කරන්නේ මේ අංක 6 ඉලක්කම්වල දර්ශනයයි. ආදරය මෝදු වන්නේ කාලයත් සමඟ බව මතක තබා ගන්න. එය බැඳීමක් පමණක් නොව අනෙකා පිළිබඳ දක්වන පිළිගැනීම, ගෞරවය සහ කැපවීම මෙන්ම විශ්වාසය මත රඳාපවතින්නකි. එබැවින් ඔබෙන් ගිලිහී යන ඒ ගුණයන් යළි ගොඩනඟාගෙන ඔබ කොතරම් කාර්යබහුල වුවත් ආදරණීයයන් වෙනුවෙන් කාලයෙන් බිඳක් වෙන් කරන්න පුරුදු වන්න.

ඇතැම් සුළු ගැටලු පිළිබඳ වැඩියෙන් සිතීමෙන් සැබැවින්ම ජීවිතයට වැදගත් දේ අපේ අවධානයෙන් ගිලිහී යෑමට පුළුවන.

දිගින් දිගටම ඔබ 666 දකින්නේ නම් ඔබේ අවධානය වෙනස් කර ඔබේ ආතතිකය අඩු කර ගැනීමට කටයුතු කළ යුතුව ඇත. ඔබ යළිත් මුලට පැමිණිය යුතු කාලයකි. මානසිකව, හැඟීම්බරව මෙන්ම කායික සෞඛ්‍යය අතින් ඔබ ශක්තිමත් විය යුතුය.

වෘත්තීය වශයෙන් ගත් කල ද ඔබ මූලික දේ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. යම් දෙයක් ඔබ කරන්නේ ඇයිද? එයින් ඔබට ඇති විය හැකි යහපත් සහ අයහපත් ප්‍රතිපල මොනවාද? ඔබේ සේවය කා සඳහාද? ඔබේ ඉලක්ක මොනවාද? ඒ ඉලක්ක කරා ළඟා වීමට ඔබ ගන්නා පියවර කුමක්ද? කියා ඔබ සිතිය යුතු කාලය බව ඔබට විශ්වය අවධාරණය කරයි. අන්‍යයන්ගේ ගමන් මඟ හෝ ඔවුන් ලබන මූල්‍ය සම්පත් පිළිබඳ මායිම් නොකොට තමාගේ කුසලතා හා හැකියාවන් කෙරෙහි විශ්වාසය තබමින් ඔබේ උපරිම සේවය ලබා දීමට කැප වන්න. ඔබේ ඉලක්ක ඉබේ සැපිරෙනු ඇත.

කිසිවකුට තමන් අවට ලෝකය වෙනස් කළ නොහැකිය. එනිසා සැහැල්ලුවෙන් සිදු වන සියල්ල බාරගන්න. දරාගන්න. ඔබ අංක හයේ ඉලක්කම් පෙළක් දිගින් දිගටම දකිනවා යනු මේ සියල්ල දන්නා ඉෂ්ට දේවතාවා ඔබට සවන් දී විශ්වයේ ශක්තිය ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට සූදානම්ව සිටින බවේ සංකේතයයි. එබැවින් ආත්ම ශක්තිය වඩවා ගෙන නොසැලී ඉදිරියටම යන්නට සිතට ගැනීම ජීවිතය දිනීමේ මාර්ගය වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.