සීමා රහිත රාගික සිතුවිලි පෙන්වන සිකුරු චක්‍රය

මාර්තු 8, 2024

 

පුද්ගලයකුගේ අත්ලෙහි ගුරු, ශනි, ඇඟිලි අතරින් පටන් ගෙන රවි, බුධ ඇඟිලි අතරින් ගමන් කරන වෘත්තාකාර රේඛා ඛණ්ඩය සිකුරු චක්‍රය ලෙස හැඳින්වේ.

සමහර විට මෙම රේඛා කොටස් වශයෙන්ද පැවතිය හැකිය. එසේම පුද්ගලයකුගේ අත්ලෙහි සිකුරු චක්‍ර එකකට වැඩි ගණනක් ද තිබිය හැකිය. කුඩා දෙයකින් වුවත් පෑරෙන සිතක් ඇති බුද්ධිමත් පුද්ගලයන්ගේ අත්ලේ මේ සලකුණ පිහිටා ඇත. වරින් වර චිත්ත ස්වභාවය වෙනස්වීම, සතුටින් මෙන්ම දුකින් කාලය ගත කිරීම, අසහනකාරි සිතිවිලිවලින් යුක්ත වීම මෙවන් අත්ල හිමියන්ගේ ස්වභාවයයි. සමහර විට මානසික රෝගාබාධ තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මේ රේඛාව ඇතිවිට තමා කැමති විෂයක් සම්බන්ධ ව ඉතා උනන්දුවෙන් ක්‍රියාකිරීම දැකිය හැකිය. එහෙත් සිකුරු චක්‍රය අත්ලක පිහිටීම එතරම් සුබ ලකුණක් නොවේ. මේ රේඛාව පිහිටි පුද්ගලයෝ වැඩිවිය පැමිණීමත් සමඟම සීමා රහිත රාගික සිතුවිලිවලින් යුක්ත වේ. රාගයේ මානසික පැත්ත පිළිබඳ බොහෝ කරුණු සිකුරු චක්‍රයෙන් අනාවරණය කරගත හැකි අතර, රාගික කටයුතු පිළිබද කායික පාර්ශ්වය විස්තර දැක්වෙන්නේ සිකුරු මණ්ඩලයේය. තමා බලාපොරොත්තු වන ආකාරයේ රාගික සන්තුෂ්ඨිය සපුරා ගැනීමට නොහැකි වූ විට මානසික රෝගීන් බවට පත්විය හැකිය. සිකුරු චක්‍රයේ දුබලතා ඇතිවිට මෙම තත්ත්වය වඩාත් ප්‍රකට වේ. මෙමඟින් ප්‍රජනන පද්ධතියේ ආබාධ පෙන්නුම් කරයි. තද රතු පැහැති මෙවැනි රේඛාවක් දෛව රේඛාව සහ රවි රේඛාව කපා ගෙන ගොස් පිහිටි විට එමඟින් දෛව රේඛාව සහ රවි රේඛාවල ඇති ශුභ ලක්ෂණ අවම කරයි. රාගික සිතුවිලි නිසා බුද්ධිය හීන කරයි. අධික රාගික සිතුවිලි තමාගේ වෘත්තිය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන ලක්ෂණයකි. නමුත් රේඛාව ඉතා සිහින් පැහැදිලි රේඛාවක් නම් පුද්ගලයා පාඨකයන් ඇද බැද ගන්නා ආකාරයට ලේඛන කටයුතු කළ හැකි සාහිත්‍යධරයෙකි. එම ආකාරයේ රේඛාව රවි මණ්ඩලයේ දී කුඩා හරස් රේඛාවකින් කැපී ඇත්නම් අනවශ්‍ය ආදර සම්බන්ධතා මඟින් පුද්ගලයා දිවිගමන අඳුරු කර ගනී. සිකුරු චක්‍රය කොටස් වශයෙන් පිහිටා ඇත්නම් එය ඉතා සුබ ලක්ෂණයකි. එවිට බොහෝ සංවේදි පුද්ගලයෙක් බිහිකරයි. සිකුරු චක්‍රය හෙවත් ශුක්‍ර මේඛලාව රවි රේඛාවට වඩා ප්‍රබලව පිහිටා රවි රේඛාව කපයි නම් තම දක්ෂතා සහ ලැබෙන අවස්ථා ඉතාම වැරදි ආකාරයට ප්‍රයෝජනයට ගැනීම නිසා රැකියාවට හානි සිදු කර ගනී.

මේ රේඛාවේ අවසානයේ බන්ධන රේඛා හෙවත් විවාහ රේඛාව කපයි නම් සහකරු හෝ සහකාරියගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන පුද්ගලයකු බිහිවේ. ඔවුන්ගේ විවාහය අසාර්ථකය. රේඛාව බුධ මණ්ඩලයෙන් අවසන් වන්නේ නම් මුදල්වලට ලොල් බවක් පුද්ගලයා ඇති කර ගනී. ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නේ සහකරු හෝ සහකාරියකගේ බොහෝ දේ ලබා ගැනීමේ අරමුණ සහිතවය. සහකාරිය තෘප්තිමත් කරන්නේ මුදල් ලබා ගැනීමේ අරමුණ සහිතවය. එමෙන්ම මේ රේඛා එකකට වැඩි ගණනක් පිහිටා ඇත්නම් එම පුද්ගලයා සීමාන්තික සංවේදි භාවයක් සහිත පුද්ගලයෙකි. වැරදි කිරීම මෙවන් අත්ල හිමි පුද්ගලයාගේ ලක්ෂණයකි. එබැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. කිසිදා තෘප්තියට පත් නොවන ඉතා කෑදර පුද්ගලයෙකි. මේ සමඟම දුබල දෛව රේඛාවක් ඇත්නම් ඔහු ඉතා කුසීතය. එමෙන්ම කාමුක බව මුල් කරගෙන ජීවත් වෙති. එසේම පුද්ගලයකුගේ සිකුරු චක්‍රය ගුරු මණ්ඩලයට සහ බුධ මණ්ඩලයට සම්බන්ධවී පළලට පිහිටීම ඇතිනම් ඔහු හෝ ඇය ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව දැනුමක් ඇති අයෙකි.

එසේම සිකුරු චක්‍රයට ශරීරයේ ඉතා වැදගත් කොටසක් අයිතිය. වකුගඩු, පුරුෂ ලිංග අවයව, ස්ත්‍රි ලිංග අවයව, ශුකාණු, ඩිම්බ, මූත්‍රාශය හා ගර්භාෂය සිකුරු චක්‍රයට අයත් ප්‍රධාන ඉන්ද්‍රියන් වේ. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන කොටස් තුනක් අත්ලේ ඇත. ඒ සිකුරු මණ්ඩලය, හෘදය රේඛාව සහ සිකුරු චක්‍රයයි.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.