සිවාලිත ගැන සරල සාහිත විමසුමක්

දෙසැම්බර් 22, 2023

 

‘සිවාලිඛිතය’ අපූර්ව ශාස්ත්‍ර රත්නයකි. මේ සම්බන්ධව ලියැවී ඇති ග්‍රන්ථ කිහිපයකි. ඒ අතර වයි.ඒ. හරමානිස් අප්පුහාමිගේ (1940) ග්‍රන්ථය, ගුණරත්න අප්පුහාමිගේ ශිවාලිඛිත ග්‍රන්ථය (1872) ඩේවිඩ්ද සිල්වා අප්පුහාමි විසින් කළ ග්‍රන්ථය (1910) සිසිර කුමාර ලියන ආරච්චි මහතාගේ ග්‍රන්ථය (1992) රවින්ද්‍ර ජයනන්ද මහතාගේ ග්‍රන්ථය (2015) මාගේ නෙත ගැටුණු මුද්‍රිත ග්‍රන්ථයෝ වෙති. සමස්තයක් වශයෙන් එකම තොරතුරු මේ ග්‍රන්ථයන්හි සටහන්වන අතර 1872 දී සිලිං 1 පැංස 6ට මිල නියම වූ ග්‍රන්ථයෙහි වඩාත් නිවැරැදි තොරතුරු ඇතැයි අපි සිතමු. එය අපගේ පෞද්ගලික මතය වේ.

මේ සිවාලිත ගැන 1872 වර්ෂයේ සඳහන් ආකාරය මෙසේ ය. “මෙම ශිවා ලිඛිත නම් ඊශ්වරයා විසින් ලියන ලද අර්ථයි. ඊශ්වරයා විසින් ලියන ලද්දා වූ මේ ශාස්ත්‍රය ලෝ වැඩ පිණිස ඊශ්වර ධ්‍යානය ගත්තා වූ සනත් කුමාරාභිධාන සෘෂීන් විසින් ග්‍රන්ථකර තිබෙන අතර ශ්‍රී ලෝප දේව ආචාර්යා විසින් ඊට ව්‍යාඛ්‍යානයක් කර තිබෙයි. මේ ග්‍රන්ථ ව්‍යාඛ්‍යාන දෙකම කළා වූ කාලය මේ කියන එහි නොපෙනේ.”

1910 ලියැවී ඇති ග්‍රන්ථයෙහි පෙරවදන එසමය. කිසියම් ගුරු පරපුරක දැනුම විය යුතුය. 1959 සහ 1990දී මුද්‍රණය වී ඇති ග්‍රන්ථයෙහි පෙර වදනෙහි කෙටි සටහනක් මෙසේ දක්වමු. “ශිවෙන ලිඛිතං යශ්ව තත්ශිවා ලිඛිතං” යනුවෙන් නිදසුන් හෙයින් ඊශ්වරයා විසින් ලියන ලදැයි යන අර්ථයෙන් එයට ශිවා ලිඛිතයයි නම් වේ. ත්‍රිපුරය නැසීම පිණිස යොදනු ලද හෙයින් ත්‍රිපුර හර මුහුර්ත යයිද කියනු ලැබේ. පූර්වයෙහි දී ඊශ්වරයා විසින් පාර්වතියට අති විස්තර වශයෙන් කියන ලද මේ ශාස්ත්‍රය සනකාදී මහර්ෂීන් විසින් පසුව සංක්ෂිප්ත කොට ග්‍රන්ථාරූඪ කරන ලද බව කියා තිබේ.

1992 ශිවාලිඛිත සාරය නමින් සිසිර කුමාර ලියනආරච්චි මහතා ලියූ ගතෙහි පෙර වදනෙහි වැඩි විස්තර හරමානිස් අප්පුහාමි මහතාගේ ග්‍රන්ථය අනුව විමසා බැලීමට උපදෙස් දී ඇත. 1990 දෙවැනි වර මුද්‍රණය අනුව එහිදී ඇති සටහන අපි ඉහත තබා ඇත්තෙමු. 2015 රවින්ද්‍ර මහතා විසින් කරන ලද සරල ශිවා ලිඛිතය ග්‍රන්ථය පෙර හරමානිස් අප්පුහාමි මහතාගේම ගතෙහි සරල විහිදුමකි. ඊට තව කොටස් කීපයක් එක්කර ඇති අතර ශිවාලිඛිතයට කෙසේවත් නොසැසඳෙන ක්‍රිෂ්ණ මූර්ති නැකත් කොටසක් ද එක්කර ඇති බැව් අපට පෙනෙන්නට තිබේ.

මෙයට අමතරව නුවර කලාවියෙන් හමුවුණු පුස්කොළ පිටපත් කිහිපයකම සිවාලිත පිළිබඳ තොරතුරු අපට හමුවී තිබේ. මුද්‍රිත ග්‍රන්ථ සියල්ලෙහිම පාහේ රෞද්‍ර ශෙවත ආදී මුහුර්ත දහසයත්, රජස් තමස් සත්වාදී ගුණත්‍රයත්, අමෘතාදි ඝටිකාදියත් පිළිබඳව සටහන් වන අතර ඒ ඒ මුහුර්ත සමඟ උදාවන රාශි ලග්න පිළිබඳව ඉඟියක් හෝ නොලැබේ. නමුත් පැරණි පුස්කොළ ග්‍රන්ථයන්හි ශිවාලිංඛිත මුහුර්ත සමඟ උදාවන විශේෂ ලග්න උදාවක් ගැන සනිටුහන් වේ.

එසේම පෙර කියන ලද 1872, 1910දී මුද්‍රණය වූ ග්‍රන්ථයට අනුව මේ ශිවා ලිඛිත මුහුර්ත ‘ත්‍රිපුර වර” මුහුර්ත යනුවෙන් දක්වා ඇති අතර ඉන් පසු මුද්‍රණය වූ ග්‍රන්ථවල එය ත්‍රිපුර හර මුහුර්ත යනුවෙන් සටහන් වී තිබේ.

දැන් ඔබේ අවධානය යොමුකිරීමට උත්සහ කරන්නේ පළමුවන විජයබාහු රජු විසින් සම්පාදිත සිවාලිඛිත ග්‍රන්ථයෙහි අන්තර්ගතය කෙරෙහිය. එහි සඳහන් වන පරිදි රාම රාවන හටන පූර්වයෙහි දිවැසින් දුටු පුලස්ති මහාර්ෂීහු විසින් ලියා නිධන් කොට තබන ලද ශාස්ත්‍රයෙහි එක් අංගයක් බවය.

එහිද එය ‘ත්‍රිපුර වර මුහුර්ත’ නාමය ලබයි. ශාස්ත්‍ර නිර්මාණය ඊශ්වරයාමය. ග්‍රන්ථය පුලස්ති මහර්ෂීහු විසිනි. ‘රාම රාවන ඇම සතර කොටා තරාලූ හෙයින් පුලතිසි නදන කළ සිවලිත’’ යැයි එහි ආරම්භයේම කියැවේ. මෙහි ශිවාලිත සමඟ උදාවන රාශි ලග්න පමණක් නොව ඒ සමඟ උදාවන සිවලිත් හෝරා ක්‍රමයක්ද ඉගැන්වේ. සිවාලිතෙහි අසූ අතක් දැක්වේ. ඉදින් ඒ ඒ ගුරුකුල සතුවූ දැනුම ලංකාවේ විවිධ පළාත්වල විවිධ අය ළඟ රැඳී තිබිය හැකි වුවත්, මේ ශාස්ත්‍රය පිළිබඳ දුර්මතද පවතී. මේ ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගැනීමට වෙනත් ශාස්ත්‍ර ක්‍රම උපකාර කරගත යුතුය යන්න එකකි. එසේම ත්‍රිපුර වර මුහුර්ත ත්‍රිපුර හර මුහුර්ත බවට පත්කිරීමය. මුල් නමෙහි, ශ්ලෝකයන්හි අර්ථය වෙනස් කළ සැණින් ශාස්ත්‍ර සිද්ධාන්ත අපැහැදිලි වන බව ශාස්ත්‍රධරයෝ දනිති. එසේම මෙයට ත්‍රිපුර ගර මුහුර්ත යැයි කීමේ වරදක් නොවුණත් එය ශාස්ත්‍ර හරයට බාධාවකි.

වඩාත්ම වැදගත් වන්නේ ගජබා රජු ද, විජයබාහු රජු ද මේ ශාස්ත්‍රයෙහි කෙළ පැමිණියේ වීමයි. ඔවුන්ගේ රාජ්‍ය කාල සීමා විමසන විට ඔවුන්ට යම් අද්භූත හැකියාවක් තිබුණු බව සිතන්නට ඉඩ තිබේ. අද නමට පමණක් සීමාවන තත්ත්වයකට මේ ශිවාලිඛිතය පත්වෙමින් තිබෙන බව පෙනේ. ශිවාලිඛිතය ප්‍රධාන ශාස්ත්‍ර සතෙකින් සමන්විත වන අතර එහි විකසනය සහ සබඳතාවය ගුරුකුල දැනුම ඇසුරෙහි රැඳෙනු ඇත. ඉදින් එවන් අසිරිමත් නැකත් කලාවක් වන ශිවා ලිඛිතය පුරාණ උමා ඡ්‍යොතිෂයෙහි එන සප්ත යෝගයෙහි එක් අංගයක් වශයෙන් ප්‍රකටය.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.