රක්ත ප්‍රදරය හෙවත් ලේ මාලය

නොවැම්බර් 13, 2020

ශරීරය දුර්වල වීම, සුළු ක්‍රියාවකින් පවා වෙහෙසවීම, භ්‍රමණය, මුර්ජාව, පිපාසය, දාහය, දෙඩවීම, ශරීරය පාණ්ඩු පැහැ වීම, රක්ත හීනතාවය, අලස බව, අවට අඳුර පැතිරුකාක් මෙන් පෙනීම, වන්ධ්‍යාභාවය.

ඔසප් කාලයේ හෝ එසේ නොවන කල අසාමාන්‍ය ලෙස යෝනිය මගින් අධිකව රුධිරය පිටවීම රක්ත ප්‍රදරය ලෙස හඳුන්වයි. දේශීය ව්‍යවහාරයේ ලේ මාලය, කිලි මාලය, අසෘග්දරය ලෙසින් හඳුන්වනු ලබන්නේ ද මෙම රක්ත ප්‍රදරයයි.

 

රක්තං ප්‍රදීර්යතේ යස්මින්

රෝගේ ස රක්ත ප්‍රදරඞ (සුශ්‍රැත සංහිතාව)

මාසික ආර්තවය ඇතිව හෝ නැතිව පමණ ඉක්මවා ඔසප් රුධිරය පැවතීම ද, කල් අල්ලා සිටීම ද අසෘග්දරය හෙවත් රක්ත ප්‍රදරය බව සුශ්‍රැත ආචාර්යතුමා පවසා ඇත.

රක්ත ප්‍රදර හේතු

විරුද්ධ ආහාර ගැනීම, කෑ පිට කෑම, අජීර්ණකර ආහාර පාන ගැනීම, ගබ්සාව, අති මෛථුනය, ඇත්, අස් ආදී සතුන් පිට ගමන් යාම, අධික ලෙස ශෝක වීම, ශරීරය කෘෂ වීම, අධික ලෙස බර ඉසිලීම, පහර වැදීම, දහවල නිදීම.

මීට අමතරව රක්ත ප්‍රදරය ඇති වීමට බලපාන අභ්‍යන්තර හේතු ද පවතී. එනම්, ගර්භාෂයේ මස් දළු ඇති වීම, අර්බුද හට ගැනීම, සිවි ප්‍රදාහ වීම හා ගර්භාෂය ප්‍රදාහ වීම, ගර්භාෂය විරුද්ධ දිශාවට හැරීම.

මෙකී තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා මුත්‍රා පරීක්ෂණ, යෝනි මාර්ග ස්‍රාව පරීක්ෂණ, පාරද්වනි පරිලෝකන පරීක්ෂණ ( ස්කෑන්) යොදා ගත හැකි ය.

රක්ත ප්‍රදර ප්‍රභේද 04 කි. ඒවා නම්,

1. වාතජ රක්ත ප්‍රදරය

2. පිත්තජ රක්ත ප්‍රදරය

3. කඵජ රක්ත ප්‍රදරය

4. සන්නිපාතජ රක්ත ප්‍රදරය

වාතජ රක්ත ප්‍රදරයේ දී රළු, මදක් රතු පාටට හුරු පෙණ සහිත වූද මද වශයෙන් වේදනා සහිතව රුධිරය පිටවේ.

පිත්තජ රක්ත ප්‍රදරයේ දී නිල්, කළු, රතු වර්ණ වලින් යුක්තව උණුසුමින් යුක්ත වේදනා සහිතව රුධිරය පිට වේ.

කළුජ රක්ත ප්‍රදරයේ දී පාණ්ඩු පැහැ සහිත, පිච්ජිල වී බොල් සේදූ වතුර මෙන් බොර පාටට රුධිරය පිට වේ.

සන්නිපාතජ රක්ත ප්‍රදරයේ දී මී පැණි හා සමාන වූද, ගිතෙල් පාටින් යුක්ත වූද, මල කුණු ගන්ධයෙන් යුක්ත වූ ද, උණුසුම් රක්තය වගුරුවයි.

රක්ත ප්‍රදර උපද්‍රව - ශරීරය දුර්වල වීම, සුළු ක්‍රියාවකින් පවා වෙහෙසවීම, භ්‍රමණය, මුර්ජාව, පිපාසය, දාහය, දෙඩවීම, ශරීරය පාණ්ඩු පැහැ වීම, රක්ත හීනතාවය, අලස බව, අවට අඳුර පැතිරුකාක් මෙන් පෙනීම, වන්ධ්‍යාභාවය.

පොදු ප්‍රතිකාර

අට්ටික්කා පොතු හෝ අශෝක පොතු කලං 12 කෂාය කර මී පැණි දමා උදේ හවස පානය කිරීම.

ළපටි තැඹිලි මල් කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්මට මී පැණි හා කයිප්පු, මී පැණි දමා පානය කිරීම.

අළු කෙසෙල් අල, දිවුල් පොතු, මාදං පොතු, ළපටි තැඹිලි මල් යන මේවා කෂාය කර බෙහෙත් ලාකඩ, කයිප්පු, මී පැණි දමා පානය කිරීම.

උක් පුරුක් 8 කෂාය

ශතාවරී ඉරමුසු ගෙන - සැවැන්දරා ලුණුවිල ගෙන

රසකිඳ බැබිලත් සමගින - මෝච මූල උක් පුරුකින

තුන් තුන් කලඳින් අරගෙන - නෙරළු පැණින් කකාල තැන

දුනහොත් මී පැණි සමගින - රත් පිත් ඈ වැදී නසන

කෂාය උක් පුරුක් අටේ - රත් පිත හා හොඳින් ගැටේ

ලේ යන ලෙඩ මකර කටේ - ප්‍රදර දෙකට දේවි බැටේ

ලා පොල් මල් තලා සිව්නැලි දියේ ලා

පැයක් තබා නැළියෙක හෙව බහා ලා

සීනැටි සාල් පිටි ගෙන තලප කර ලො ලා

වළඳවු තල තෙලින් මහ ලේ නැත එක ලා

 

නිෂ්පාදිත ඖෂධ

අශෝකාරිෂ්ටය, ශතාවරී ගෝප කන්‍යා ක්වාථය, චන්දනාසවය, උගීරාසවය, ශාරිබාද්‍යාසවය, ලෞහාසවය, පුණර්නවාස්වය, චන්දනාදී චූර්ණය, පුෂ්‍යානුග චූර්ණය, මහා සරස්වතී චූර්ණය

රසායන ඖෂධ - කදල්‍යාදී මෝදකය, ව්‍යවනප්‍රසාව ලේහය, කුෂ්මාණ්ඩ රසායනය, ප්‍රමේහ ගජකේශරී රසායනය, ජාගල්‍යාදී සෘතය.

පථ්‍ය ආහාර පාන

බාර්ලි, ඉදුණු අළුකෙසෙල්, එළකිරි, සාරණ, ඉරමුසු, ගිතෙල් මී පැණි, අලුත් එළවළු හා පලතුරු.

අපථ්‍ය ආහාර පාන

අඹ, අච්චාරු, තක්කාලි, අන්නාසි, ඉස්සො, දැල්ලො, බලමාළු, රටදෙල්, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පාන.

මෙලෙසින් බලන කල මෙම රෝගයට කල් නොයවා නිසි ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් රෝග ශාන්තිය උදාවෙන බව නොකිව මනාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.