නානු සඳහා නැතිවම බැරි ඉඹුල්

අප්‍රේල් 7, 2023

 

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශි ගතවන අවස්ථාවේ ආරම්භ වන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුබ මොහොතින් ඇරැඹීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. ඒ අතුරින් හිස තෙල් ගෑම හා ස්නානය ඉතා වැදගත් චාරිත්‍රයකි. එකම මොහොතක එකම දිශාවක් බලා එකම අරමුණක සැමගේ සිත ගත යොමුකිරීම මෙම චාරිත්‍රවල ඇති සුවිශේෂී තත්ත්වයකි. හිස යනු ශරීරයේ උත්තමාංගය වන අතර, මුළු මහත් ශරීරයම පාලනය වනුයේ හිස්කබල තුළ ඇති මොළය ප්‍රධානව ස්නායු පද්ධතියෙනි. එසේම පංච ඉන්ද්‍රියන් ද හිසට අයත්වන අතර, මෙවන් වැදගත් ඉන්ද්‍රියයන් සමූහයක් පවත්නා හිස ආරක්ෂා කර ගැනීම තුළින් සිරුරේ නිරෝගී බව සුරැකෙන බව පැහැදිලිය.

මෙනිසා නීරෝගී බව රැක ගැනීමට හිසතෙල් ගෑම වසරකට වරක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් නොවන අතර, එය වර්ෂය පුරාවටම සිදු කළ යුතු කාර්යයකි. මෙහිදී කරනු ලබන්නේ, අලුත් අවුරුද්ද සඳහා එම ක්‍රියාව සුබ මොහොතින් ආරම්භ කිරීමයි. මෙහිදී හිස ගැල්වීම සඳහා විශේෂ නානු මිශ්‍රණයක් සාදා ගනු ලබන අතර, ඒ සඳහා ඖෂධිය ගුණ යුතු ද්‍රව්‍ය රාශියක් යොදා ගනු ලබයි. මේවා ගැල්වීම තුළින් හිසේ මෙන්ම මුළු සිරුරේම නීරෝගි බව ආරක්ෂාකර ගැනීමට හැකිවනවා ඇත.

මෙසේ හිස තෙල් ගල්වන විට හිසට සහ දෙපතුල්වලට මෙවර යොදාගෙන ඇත්තේ ඉඹුල් පත්‍ර හා නුග පත්‍රයි. එලෙසම නානු සඳහා ඉඹුල් පත්‍ර යොදාගෙන ඇත. මේවා ඖෂධීය වශයෙන්ද ගුණදායක බවින්ද පොහොසත් ය. එමඟින් ලැබෙන සුවය අතිමහත්ය. ඉඹුල් ශාකයේ ඖෂධීය වටිනාකම ගැන සලකා බැලීමේදී ඉන්දියාව, මියැන්මාරය, සුමාත්‍රා ආදී රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද බහුල ලෙස දක්නට ලැබෙන ශාකයකි.

ශාකයේ ස්වරූපය

සාමාන්‍යයෙන් මීටර් 40ක් පමණ උසට වැවෙන ගසකි. කෙළින් වැඩෙන විශාල පතනශීලි ගසකි. ශාකය පරණ වනතුරු එහි පොත්තේ කටු තිබේ. පොත්තේ වා සිදුරු රාශියකි. පොත්තේ සුදු පැහැ මැලියම් වර්ගයක් පිට වේ. පත්‍රිකා ඉලිප්සාකාර,අණ්ඩාකාර හෝ උප අණ්ඩාකාරය. මල් තද රතු හෝ ලේ රතු පැහැති වන අතර ජනවාරි හා මාර්තුවලදී මල් හටගනියි. මෙහි හටගනු ලබන ගෙඩි ස්ඵෝටිකාකාර වන අතර, ඒවා තුළ බීජ සුදු පුළුන්වලින් වැසී පවතී.

ඉඹුල් සඳහා විවිධ භාෂාවලින් යෙදෙන නාම

පොදු සිංහල නාමය ඉඹුල් වන අතර,

සංස්කෘත බසින් දීර්ඝ, ද්‍රැම, ශාල්මලී, ස්ථුලවල කුක්කුටී රම්‍ය පුෂ්පප, බහුවීර්ය මෝචා පිච්ඡිජල, රක්ත පුෂ්ප ආදී නාම රාශියකි.

හින්දි බසින්

සේමර, සේමල් හා ගෙම්බල් වන අතර

වංග බසින් – පිමුල් නම් වේ.

දෙමළ බසින් – ඉලෙවම් යයි කියයි.

ඉංගී‍්‍රසි බසින් Red silk Cotton Tree  නම් වේ.

ඉඹුල් වල උද්භිද විද්‍යාත්මක නාමය Born hax ceiba L Bombax malabaricum D.C Salamalia malabrica L C D C Dchott and Endi වන අතර, කුලය BOMBACACEAE හෙවත් ශාල්මලී කුලය වේ.

ඉඹුල්වල ඖෂධාංග

මුල්,පොතු, මැලියම්, කටුමල්, ඇට ගෙඩි හා පුළුං යොදා ගනියි.

ඉඹුල්වල අඩංගු රසායනික උපාදාන

ඇටවල තෛල පදාර්ථයක් පවතින අතර, මැලියම්වල Tannic Acid Gallic Aud  පවතියි.

ඉඹුල්වල ඖෂධීය ගුණ කර්ම

රසයෙන් මධුර (මැලියම්) කෂාය වන අතර ගුණයෙන් ලඝු, ස්නිග්ධ හා පිච්ඡිල වේ. වීර්යයෙන් ශීත වන අතර, විපාකයෙන් මධුර (මැලියම්) කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී

වාත නාශක හා පිත් සමන ගුණ ඇත. ඉඹුල් මැලියම් සෙම්, පිත්, සමන ගුණ යුතුය.

ප්‍රධාන කර්ම

ඉඹුල් පොතු දාහ හා ඉදිමුම් නසන ගුණ යුතුය. ඉඹුල් මල් රක්ත ස්තම්භය ගුණ යුතු අතර, ඉඹුල් මැලියම් ස්ථම්භන හා ව්‍රණ රෝපණ ගුණ යුතුය.

අමුගෙඩි කාස නැති කරන අතර, මුත්‍රකාරකය ඉඹුල් මැලියම්, අතීසාර, ප්‍රවානිකා ග්‍රහණි අර්ශස් ආදී රෝග සඳහා යොදන අතර, වකුගඩු වේදනා හා මුත්‍ර වේදනා සහිතව පිටකිරීමේ දී යෙදිය හැක. එසේම මුත්‍ර වැගිරීමේදී ද යෙදිය හැක. ඉඹුල්වල ඖෂධාංග අඩංගු යෝගයන් රසායන හා වාජීකරණයට ඉඹුල් මුලක් කපා ඉන් වැගිරෙන ද්‍රව්‍ය එකතු කර වියළා තල සමඟ කෑම.

ග්‍රන්ථි ඉදිමුමට

ඉඹුල් කොට අඹරා ආලේප කිරීම

මුහුණේ කාන්තියට

ඉඹුල් කටු අඹරා ආලේපය

ශුක්‍ර වෘද්ධියට

ඉඹුල්, කිරිබදු හා මධුර ද්‍රව්‍ය ගණය යෝගයන්

රත්පිතට – ඉඹුල් මල් චූර්ණය මී පැණියෙන් ලේප කිරීම

පාද දාහයට

ගිතෙලින් අඹරා ආලේපය

ඉඹුල් පොතු

ගෙඩි, ව්‍රණ සැරව ආදිය ශෝධනය වීමට ඉඹුල් පොතු, බැබිල මුල්, අඹරා ආලේපය, මේ ආදී ඖෂධ යෝග රාශියක් ඉඹුල් අඩංගුව යෙදේ. මේ අතර ඉඹුල් අඩංගු සංස්කාරික ඖෂධ ද කිහිපයක්ම වන අතර, ශාල්මලී පැණිය හා ශාල්මලී ඍතය ඉන් ප්‍රධාන වේ. මේ ආදී වශයෙන් ඖෂධීය වශයෙන් ඉඹුල් වැදගත් වන අතර, ඊට අමතරව ඉඹුල් මල් හා දලු ආහාරය සඳහා පිසගනු ලබයි. ඉඹුල් කොළ හදි හූනියම් සඳහා යොදා ගනියි. එසේම ඇටවලින් ගන්නා තෙල්, සබන් නිෂ්පාදනයට ද මෘදුලී, ගිනිකූරු හා තේ පෙට්ටි සෑදීමටත් සැටලිම් සඳහාත් යොදාගනියි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය, වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.