ජනවාරි 26 සිට පෙබරවාරි 01 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජනවාරි 26, 2024

මේෂ

හදිසි වාහන ගනුදෙනුවක්

අමතර වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු තරමක චංචල බවකින් සිදු කරන බවක් පෙන්නුම් කරයි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන කාලයකි. පවුලේ අය අතර සුහදතාවට හේතු ඇති කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙන්නුම් කරයි. හදිසි වාහන ගනුදෙනුවකට කටයුතු සිදු වීමට ඉඩ ඇති සතියකි.

රැකියාව

විදෙස්ගත රැකියා බලාපොරොත්තුවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු වෙනුවෙන් උනන්දුව වැඩි කරයි. අමතර ආදායම් බහුල කරන සතියකි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකරන අතර, තාවකාලික රැකියා කටයුතුවල නියුතු වූවන්ට රැකියා ස්ථිර වීමක් සිදු කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා පසුබිමක් සැලසේ. ඉගෙනීමේ කටයුතුවලට දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බලාපොරොත්තු ඇති කරගත හැකියි. විවිධ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි සතියකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන ශාරීරික අපහසුතා හේතුවෙන් පීඩා ඇති කරන බවක් පෙනේ. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුවිය හැකිය. රුධිරගත කොලෙස්ටරෝල් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකි.

වෘෂභ

විශේෂ වරප්‍රසාද

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ ඉක්මන් තීරණවලට එළඹෙන සතියකි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්න බවක් පෙනේ. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදු වීමට ඉඩ ඇති කාලයකි. රාත්‍රී ගමන් බහුල වන සතියකි.

රැකියාව

රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති බවක් පෙනේ. රැකියා ස්ථිරවීම, මෙන්ම තනතුරු ලාභ බලාපොරොත්තුවෙන් සිටින අයට මේ කාලය බලාපොරොත්තු ඉටු වන බවක් පෙන්නුම් කරයි. පැවැති අසහනකාරි බව මඟහැරී යමින් රැකියාවේ කටයුතු කරගෙන යෑමට හැකි වෙයි.

අධ්‍යාපනය

නව සැලසුම් මත අධ්‍යාපන කටයුතු සිදු කරන සතියකි. එමෙන්ම පාසල් වැඩ කටයුතුවලට දැඩි උනන්දුවක් දක්වන බවක් පෙනේ. උපකාරක පන්තිවලටද සහභාගිවීමට සිදු වෙයි. වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික සෞඛ්‍ය අතින් යහපත් සතියකි. පැවැති ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යන බවක් පෙනේ. යටපත් වූ කොන්ද ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවිය හැකි බැවින් එදිනෙදා කටයුතු සම්බන්ධව කල්පනාකාරී වන්න. ලේ විෂවීමක් හේතුවෙන් හට ගන්නා චර්මගත ආබාධයකින් පීඩා අත්කරන සතියකි.

 

මිථුන

මවුපිය උරුමයක් හිමි කරයි

සැනසිලිදායක බවක් ඇති කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ පැවති අවිවේකී බව මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස සැලසෙන කාලයකි. මවුපිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අවිවාහකයන්ට සුබදායක කාලයක් වන අතර මංගල යෝජනාවක් ස්ථිර වන ලකුණු ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩි කරයි. අවිවේකී ලෙස රැකියාවේ කටයුතු කරගෙන යෑමටද අවස්ථාව සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති සතියක් බව පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

විවිධ අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. නිතර සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. නීති අධ්‍යාපනයට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. හදිසි පුහුණුවීම්වලට සම්බන්ධ වීමට සිදු වන සතියකි.

සෞඛ්‍යය

පපුව ආශි‍්‍රත ඇති වන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. සෞඛ්‍ය පරීක්ෂණ කීපයකටද ලක් වීමට සිදු වන කාලයකි.

කටක

ගිවිසුමක් සාර්ථකයි

මානසික පීඩා මඟ හැරී යමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් සතියකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට අවස්ථාව සැලසෙන සතියකි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වීමෙන් සිතේ සතුට වැඩි කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එහෙත් වෙහෙස ගෙන දෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. තනතුරු අපේක්ෂාවන් මුදුන් පත් වන කාලයකි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණවලට ලක් වන සතියකි. නිතර පොත්පත් වැඩ කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. දහම් අධ්‍යාපනයට නැඹුරු වන කාලයකි. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන බවක්ද පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. නිතර හටගන්නා පපුව, පෙණහැල්ල ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදු වන සතියකි.

සිංහ

අන් අය අතරේ කැපී පෙනේ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. නිතර ස්ථිර අදහස් ඇතිව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකි කාලයකි. අන් අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. එමෙන්ම වචන පාවිච්චියේදී සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති වගකීමකින් නිදහස් වීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. නිතර සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ගත හැකි කාලයකි. ව්‍යාපාර ලාභද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුත්තකින් ජය හිමි කරයි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගැනීමට හැකිවන පසුබිමක් ඇති කරයි. නිතර ගුරුදෙගුරුන්ගේ ප්‍රසාදයට ලක් වන බවක් පෙනේ. නායකත්ව වැඩසටහන්වලට සම්බන්ධ වීමට සිදු වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධාගෙන දෙන අන්දමේ කටයුතු යෙදෙන සතියකි. නිතර හටගන්නා දතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

කන්‍යා

ව්‍යාපාරයකට මූලාරම්භයක්

සැනසිලිදායක ලෙස සතිය උදාවන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,13 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු වීමට ඉඩ ඇත. යෝජනා ස්ථිර වීමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකි වෙයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට මූලාරම්භයක් සිදු කරයි. තනතුරු ලාභ මෙන්ම වැටුප් වර්ධකද ඇතිවීමට ඉඩ ඇත. නිතර සිත, කය වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු පිළිබඳ දුර පළාතකට යාමට සිදු වන බවක් පෙනේ.

අධ්‍යාපනය

විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තරගකාරි කටයුතු කීපයකටද සම්බන්ධ වීමට සිදු වන බවක් පෙනේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතුවලින් ජය හිමි කරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු සතියකි.

සෞඛ්‍යය

ගතට සිතට පීඩා ඇති කරන කාලයකි. වරින්වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. එක්තැන් වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන කාලයකි. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

තුලා

සහෝදර බැඳීම්

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12, යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන සතියකි. වංචා, රැවටිලි වැනි කටයුතුවලට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. නොසිතූ පාඩුවක් සිදු වීමට ඉඩ ඇති කාලයකි. සහෝදර බැඳීම්වලට කරුණු සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සිතේ චංචල බවකින් සිදු කරගෙන යන සතියකි. සුරතල් සතුන් ඇති කිරීමේ රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක බවක් පෙනේ. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උදාසීන බවකින් අධ්‍යාපන කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරයි. තරග විභාගයකින් සිතූ තරම් ජයග්‍රහණ අත් නොවන බවක් පෙනේ. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති සතියකි. දරුවකුගේ හිතුවක්කාර ගතිපැවතුම් හේතුවෙන් පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු කර ගන්නා බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන ශාරීරික අප්‍රාණික ගති හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. රුධිරගත සීනි මට්ටම, කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භජනය වීමට සිදු වන සතියකි.

වෘශ්චික

දරුවකුගේ ජයග්‍රහණයක්

විශේෂ ගමනකට සැලසුමක් ඇති කර ගන්නා කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. උසස් අය මෙන්ම ප්‍රභූ අයද ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ අය සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කරන සතියකි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් දැකිය හැකි කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි කීපයක් සැලසීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ ප්‍රශංසාද හිමිකරන කාලයකි. තනතුරු ලාභ හිමිකරන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. නොසිතූ ලෙස ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අලුත් පොත්පත් මිල දී ගැනීමකට කටයුතු උදා කරන සතියකි. අමතකවීම් බහුල කාලයක් වන අතර, අතපසුවූ පාඩම් වැඩ කීපයක් හිතවතකුගේ උපකාරයෙන් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණ කීපයකට සම්බන්ධ වීමට සිදු වන කාලයකි.

ධනු

විවාහයට වැඩිහිටි ආශීර්වාදය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම් වැඩි වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වන බවක් පෙනේ. ප්‍රමාද වූ විවාහ කටයුත්තකට වැඩිහිටි ආශීර්වාදය හිමි කරයි. වාහන ගනුදෙනුවක් සිදු කරන කාලයක් වන අතර, නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක්ද යෙදීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. එමෙන්ම දුර පළාතක රැකියාවේ කටයුතු සඳහා යාමට සිදු වන සතියකි. ශාරීරික වෙහෙසීම් ගෙන දෙන රැකියා මාර්ග යෙදෙන කාලයකි. පාලන කටයුතුවලදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. අලුත් පාඨමාලා හදාරන අය ඒ පිළිබඳ හොඳින් සොයා බලා තීරණ ගන්න. අලුත් පොත්පත් මිල දී ගැනීමකටද කටයුතු සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් දුරට යහපත් නොවන බවක් පෙනේ. බඩ, පපුව ආශි‍්‍රත දැවිලි ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම යහපත් කරයි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න. වෙනදාට වඩා ජලය පානය වැදගත් වන කාලයකි.

මකර

ස්වයං රැකියා වාසි

අමතර ලැබීම්වලට බාධා ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇති කරගන්නා බවක් පෙන්නුම් කරයි. නිතර සමාජසේවා කටයුතුවල නිරතවන කාලයකි. සහෝදර සිත් අමනාපයක් ඇති වීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු ඉතා සැහැල්ලුවෙන් කරගෙන යන සතියකි. එමෙන්ම සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතු අත්කම් භාණ්ඩ නිර්මාණය, විසිතුරු මල් වගාව වැනි කර්මාන්තවල නියැළී සිටින අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධව පැවති බාධාකාරි බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. නිතර කණ්ඩායම් වැඩසටහන්වල මූලිකත්වයක් ගෙන කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. ගුරු භවතුන්ගේ ප්‍රශංසා හිමිකරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. එමෙන්ම පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

අධ්‍යාපනික ජයග්‍රහණ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට හැකිවෙයි. එමෙන්ම නිවෙසට අලුත් බඩුබාහිරාදිය මිල දී ගැනීමටද කටයුතු උදා කරයි. එහෙත් අමතර ලැබීම් හිමිවුවත් වැයපස අධික වන බවක්ද පෙන්නුම් කරයි. වෙනදාට වඩා දනට පිනට ළැදිව කටයුතු කරන සතියකි. පරම්පරාගත දේපළක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

අමතර ලැබීම් හිමි කරන රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. අණදෙන ක්ෂේත්‍රයේ මෙන්ම පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා රැකියා කටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ විවිධ පාඨමාලාවලටද සහභාගි වීමට සිදු වෙයි.

අධ්‍යාපනය

පොත්පත් වැඩකටයුතුවල අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. එමෙන්ම නායකත්ව වැඩසටහන්වලටද සහභාගි වීමට හැකිවන කාලයකි. තරග විභාගවලින් සම්මාන සහතික හිමිකරන බවක් පෙනේ.

සෞඛ්‍යය

නිතර ශරීර සෞඛ්‍ය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. හදිසි කැපීම් කෙටීම් වැනි සුළු සුළු අනතුරුදායක තත්ත්වයන් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනේ. එමෙන්ම සෙම් පීඩාකාරි තත්ත්වයක් ඇතිවීමෙන් ජලය මෙන්ම සීතල ආහාරපාන අනුභවය පිළිබඳ සැලකිලිමත් වන්න.

මීන

විදෙස් ඥාති උපකාරයක්

නිතර ඇවිදිලි ඇති කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු සතියකි. නොසිතූ ආරවුලකට මුල පිරෙන බවක් පෙනේ. වරින් වර යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමි වුවත් ඒවාට බාධා සැලසෙන බවක් පෙනේ. සතියේ වැඩි කාලයක් ආගමික වැඩ කටයුතුවල නිරතවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි බලාපොරොත්තුවක් වෙනස් කරයි. එමෙන්ම රැකියාවේ ස්ථාන වෙනස්කමකට ද හේතු ඇති කරයි. සමූහයක් සමඟ එකතුව කරන රැකියා කටයුතුවලට හේතු ඇති කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන්ද සිදු කරන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සිතේ චංචල බවකින් සිදු කරන සතියකි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටු කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර කලාකාමී කටයුතුවලට යොමු වන සතියකි.

සෞඛ්‍යය

වෙහෙසකාරි ලෙස සතිය ආරම්භ වන බවක් පෙනේ.නිතර හටගන්නා අතේ,පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වකුගඩු ආශි‍්‍රත ආබාධයකට හෝ මුත්‍රාගත ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන කාලයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.