නාසයේ ඇතිවන මස් දලු

නොවැම්බර් 20, 2020

සුවපත් දිවියක් පවත්වාගෙන යන්නට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. නිරෝගිකම අපගේ වටිනාම ධන සම්පත බවට පත්ව ඇත. ඒ නිසා අප සියලු දෙනා මේ සම්පත රැක ගැනීමට බොහෝ වෙහෙසෙමු.

මස් දලු යනු කුමක් ද?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නාසා රෝග 31 ක් ඇත. එයින් එකක් වන නාසා අර්ශස් මස් දළු වශයෙන් හඳුන්වනු ලබයි.

ඕනෑම වයසක කෙනෙකුට මෙය ඇතිවෙන්ට පුළුවන. කුඩා මස් දළු තියෙන කෙනෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර, විශාල මස් දළු තිබේ නම් නාස් කුහරය වැසී ස්වසන අපහසුතා ඇති වේ. ගඳ සුවඳ හරියට නොදැනේ. නිතර ඇදුම සෙම්ප්‍රතිශ්‍යාව තියෙන අයට, ප්‍රතිශක්තිකරණ දෝෂ ඇති අයට මස් දළු ඇති වීමට පුළුවන. මෙහි භයානක පැත්ත තමයි හුස්ම ගැනීමේ අපහසුතාවය. ද්විත්ව පෙනුම , ඇස් චලනය කිරීමේ අපහසුව, ඇස් වටේ ඉදිමීම, සමහර අවස්ථාවලදී උණ ඇති වීමට පුළුවන, හිසරදය සහ හිස පහත් කිරීමේදී ඇති වන වේදනාව, කුඩා දරුවන්ට සහ මැදිවියේ අයට බහුලව සෑදීමට හැකිය.

රෝග තත්ත්වයන්

කලක් පවතින පීනස නිසා මස් දළු ඇති වීමට බොහෝදුරට ඉඩ තිබේ. නිතර නිතර කිවිසුම් යාම හා උදේට සොටු දියර ගැලීම වැනි ලක්ෂණ මෙහිදී ඇති වේ. දූවිල්ලේ පවතින දිලීර ආසාදනය වීම නිසා ආශ්වාස වාතයේ පවතින අපිරිසුදුකම නිසා සොටු ගැලීම් කිවිසුම්යාම වැනි ලක්ෂණ ඇති විය හැකිය. විටමින් ඩී අඩුවීම හා ජානමය හේතු බොහෝදුරට බලපෑම් ඇති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීම නිසාත් මස් දළු ඇති විය හැකිය.

මේ නිසා ඇතිවන හානිය

නාසා මාර්ගය අවරෝධවීම නිසා එනම් නාස් කුහර මාර්ගය අවහිර වීම ස්වසනයට අපහසු වන අතර, යම් විටෙක නින්දේදී හුස්ම නැවතිය හැකිය. එය භයානක තත්ත්වයකි. නමුත් හුස්ම මොහොතකට නැවතුනත් යළි හුස්ම ගැනීම ආරම්භ වේ. නාසා මාර්ගය අවරෝධ වීම නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් හරියට නොලැබීමෙන් ඇතැම් විට මරණය පවා සිදු විය හැකිය.

වයස් සීමාවන්

ඕනෑම වයස් සීමාවකට බලපෑමක් ඇති කළ හැකියි. බොහෝ වේලාවට මස් දළු බහුල වන්නේ කුඩා ළමුන්ට සහ මැදිවියේ අයටය. මස් දළු නිසා නාසය ඉදිමුමට ලක්වන්නේ නාසය තුළ පවතින ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වී වැඩිපුර ස්‍රාවය පිටවීම හේතුවෙනි. ඒ අනුව නොකඩවා ශ්‍රාවය පිටවිය හැකිය. සෙම කෝපවීම නිසා ඇතිවන ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි රෝග තත්ත්වයන් බොහෝ විට කුඩා දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණයකි.

මේ අනුව මස් දළු ඇති වීමට ඉඩ ඇත. මස් දළු හිස්කබල ආශි‍්‍රතව ද නාසා මාර්ගයේ සෑම අවස්ථාවකම දැකිය හැකිය. කම්මුල් වේදනා ගෙන දෙන අතර, හිසරදයෙන් පීඩා ඇති වේ. උඩු දත්වල වේදනාව ඇතැම් විට ඇතිවිය හැකිය. මෙසේ පීඩාකාරි අවස්ථාවලදී නළල, කන සහ මුහුණ තැවීම සිදු කළ හැකිය. නින්දේදී ගොරවන ස්වභාවයක් ඇත. ඇතැම් විට නාසයෙන් රුධිරය පිටවී යා හැකිය. නාසය ඇතුළතින් ඉදිමුමක් දැකිය හැකිය. යම් විටෙක නාසයෙන් රුධිර වහනයක් විය හැකිය. එය රෝගියාට දැනීමකින් තොරව ද සිදු විය හැකිය.

මස් දලු වැළැක්වීමට

ඇදුම ඇති නම් හැකි පමණ ඉක්මනින් ආයුර්වේද ප්‍රතිකාර ලබාගත යුතුයි. නැතිනම් මස් දළු ඇතිවීමට ඉඩ කඩ වැඩිය.

දූවිලි, සිගරට්, වාහන දුම්, රසායනික ද්‍රව්‍ය ඇති පරිසරයක් තුළ ඔබ වෙසෙයි නම් ඉන් ඇති වන්නේ හානිකර අවස්ථායි. නිතර කවිසුම්යාම, සොටු දියර ගැලීම සහ පෙණහලු ආශි‍්‍රත ආබාධයන්ය. සත්ව කොටස්වලින් (බළලුන්, බල්ලන්) වැනි සතුන්ගෙන් ඈත්ව සිටීම යහපත්ය. පුද්ගල සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යෑම, කෑමට පෙර අත් සේදීම, බස්වල ගමන් ගොස් පැමිණි විට මුහුණ අත නොගෑම, නිතර ප්‍රතිශක්තිය අඩුවෙන් තිබීමෙන් ප්‍රතිශ්‍යාව, පීනස ඇතිවීමට ඉඩ ඇත. එසේ වීමෙන් මස් දළු ඉබේ ඇති වේ.

දියරයක්

සමහර අවස්ථාවලදී රෝගියාට ආහාරවල රසය පවා නොදැනේ. මස් දළු ඇති විට රෝගියාගේ නාසයෙන් අවර්ණ වූ දියරයක් ගලා එයි. ඒ සමඟම නාසයේ සෑම විටකම යම් උත්තේජනයක් වේ. නාසය සිරවන සේ දැනේ.

කෙසේ වෙතත් මස් දළු දැඩි පීඩාකාරි සහ ශාරිරික අපහසුතා රැසක් සහිත අතර, හිරවන නිසා දඩි කම්පනයකට වුවද පත් කළ හැකියි. බොහෝ අවස්ථාවලදී කප ප්‍රමුඛව එනම් සෙම් දෝෂයේ පවතින අසමතුලිත බව මූලිකව බලපෑම් ඇති වීම නිසා මස් දළු වැඩීමට හේතු වේ.ඇතැම් විටෙක ත්‍රිදෝෂයන්ගේම පවතින අසමතුලිත බව නිසාත් මේ සඳහා මූලික වන අවස්ථා ඇත. නමුත් දරුණු ගණයේ රෝගයක් නොවන බැවින් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් නිරෝගිතාව ආරක්ෂාව කරගත හැකියි.

මේ සඳහා ප්‍රතිකාර

කොත්තමල්ලි දුම් ඇල්ලීම

දිනපතා උදේට උණුවතුර දුම් ඇල්ලීම

කොත්තමල්ලි, හීන් අරත්ත, දෙහි කොළ දමා තම්බා දුම් ඇල්ලීම

දෙහි පොතු සහ කොත්තමල්ලි සමඟ තම්බා දුම් ඇල්ලීම

යකිනාරං කොළ තම්බා දුම් ඇල්ලීම, පාවට්ටා ගසේ පස් පංගුව තම්බා බොන්න.

මස් දලු රෝගීන්ට හිතකර ආහාර

පාවට්ටා කොළ, නිකකොළ, දෙහි කොළ තම්බා ඒවායින් පිටවන වාෂ්පය නාසයට දුම් ඇල්ලීම (වේදු ඇල්ලීම) විදුලි පංකා භාවිතය නුසුදුසුය. වායු සමීකරණ කාමරවල වැඩිපුර ගැවසීම සුදුසු නැත.

මස් දලු රෝගීන්ට අහිතකර ආහාර

මුදවපු කිරි, සීතකළ ආහාර, අන්නාසි , තක්කාලි, දෙල්, දිවුල්, මස්, ඌරු මස්, බලමාළු, බල කරවල, කෙලවල්ලො, ජාඩි, ගෝනමස්, සැමන්, ලුහු දෙහි, අච්චාරු , රසකාරක කෑම, කොත්තු, ක්ෂණික කෑම, මුං ඇට, සව්, බාර්ලි අහිතකර ආහාර වේ.

උපදෙස්

විශේෂඥ, වෛද්‍ය

මංගලා මහලේකම්

පින්සෙත ආයුර්වේදය ගල්කිස්ස

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.