නිවාස පාළු කරන වයඹේ බලය

මාර්තු 8, 2024

කඩවත රාගම පාරේ පිහිටි දෙමහල් නිවෙසකි. එහි උඩ මහල නිමා නොකරන ලද බිත්ති තිබුණත් පහළ මහල මැනවින් සකස් කර ඇති බව මිදුලට පවා පෙනේ. එයට හේතුව ඈත සිට නිවෙස දිස්වන තරම් විශාල ඉඩමක මේ නිවෙස පිහිටා තිබීමයි.

පිවිසුම් මාර්ගය ඉහළින් පිහිටා තිබීම නිසා නිවෙසට වාහනයක් ගැනීම මඳක් අපහසුය. මාර්ගයට වඩා ඉඩම හා නිවෙස පහතින් පිහිටා තිබීම ආර්ථිකය පහත වැටීමට හේතුවක් බව “ගමේ ගොඩේ වාස්තු” අපට කියා දුන්න ද වසර ගණනාවක් තිස්සේ වාස්තු පරීක්ෂාවේ යෙදෙන අපට එය කිසිසේත් පිළිගත නොහැකියි. එසේම කිසිදු වාස්තු සිද්ධාන්තයක් කිසිදු මූල ග්‍රන්ථයක අපට හමු වී නැති බැවින් මේ පාරට පහළින් ඉඩම හා නිවෙස පිහිටීම දෝෂයක් නොවන බව අපගේ සේවාලාභියාට පෙන්වා දුනිමු. එසේම නිවෙස සම්පූර්ණ ලෙස තනා අවසන් නොකළද ඔවුනට විශේෂ ආර්ථික ප්‍රශ්නයකට වඩා ඇත්තේ අන් දෙයක් බවද මෙහිදී පැවසිණි.

අපගේ සේවාලාභියා මුහුණ දෙන ගැටලු මොනවාද යන්න ඔවුන්ගෙන්ම විමසීම සාමාන්‍යයෙන් අප විසින් සිදු නොකළත් නිවෙසට ඇතුළුවත්ම එය යම් පමණකට අපට අවබෝධ විය. සාලයේ තබා ඇති ඡායාරූප අනුව විශාල පිරිසක් ජීවත් වූ නිවෙස නැතහොත් විශාල පවුලක් සිටි බවක් අපට පැහැදිලි විය. අප එහි යනු ලැබුවේ නිවාඩු දිනයක නිසා නිවෙසේ දෙදෙනකු පමණක් සිටීම අපට යම් ඉඟියක් දනවන්නක් විය.

මෙහිදී අපට සිහිපත් වන්නේ අපේ රටේ කලක් තිස්සේ ප්‍රකටව සිටින ඡ්‍යොතිර්වේදියකු වන ඉන්දික තොටවත්ත මහතා අප වෙත යම් සේවාලාභියකු යොමු කිරීමේදී ජන්මපත්‍ර පරීක්ෂාව අනුව නිවෙසේ මේ මේ ස්ථාන වැඩි වැඩියෙන් පරික්ෂා කරන්නැයි දක්වන ඉඟි මාලාවයි. ඔහුගේ එකී ඉඟි සැපයුම් එතරම් අවධානයට ලක් නොවන එහෙත් බරපතළ වාස්තු දෝෂ වටහා ගැනීමට අපට ඉවහල් වූ බව තුති පෙරටුව සිහිපත් කිරීම වටී. ඒ අනුව යමින් වාස්තු ශාස්ත්‍රයේ පමණක් නියුතු වූවත් ඡ්‍යොතිර්විද්‍යාව මැනැවින් හැදෑරීමට අපගේ අවධානය යොමු වූ බවත් එයින් අතුරු ප්‍රයෝජන රැසක්ද හිමි වූ බව දක්වනු කැමැත්තෙමු.

කෙසේ වෙතත් නිවෙසේ සාලය පිහිටා තිබුණේ වයඹ දිශාවෙනි. එයට හේතුව වන්නට ඇත්තේ ඉඩමට ප්‍රවේශය යෙදී තිබුණේද වයඹෙන් වීමයි. වයඹ දිශාව උසින් පිහිටා තිබීමද වාස්තු ශාස්ත්‍රයේ එන මූලික දෝෂයක් වන අතර, මෙය අදාළ පරිශ්‍රයේ බලවත් ලෙස පිහිටා තිබිණි.

එසේම නිවාස ඉදිකිරීමේදී යම් පමණකට වාස්තු පරීක්ෂාවේ යෙදී ඇති බව පෙන්වන ලෙස ගිනිකොණ දිශාවට වන්නට මුළුතැන් ගෙය පිහිටුවා තිබේ. එසේම සමහර ගිනිකොණ පිහිටි මුළුතැන්ගෙවල නිවරැදිව මැන බැලීමේදී ළිප පිහිටා ඇත්තේ නැඟෙනහිර කෝණයට වැටෙන පරිදි මෙන්ම බලවත් දෝෂ ඇති නොවන පරිදි මේ නිවෙසේ ද සියලු රත් කෙරෙන ළිප් ආදි මෙවලම් ගිනිකොන දිශාවට වන්නට පිහිටුවා තිබේ. ඒ අනුව මේ නිවෙස ඉතා ශුභවාදී ගිනිකොන බලයක් සහිත නිවෙසක් බව හොඳින්ම පැහැදිලි විය.

පසුබිමේ නිසැක ප්‍රතිඵලය වශයෙන් ඉතා සක්‍රිය පවුලක් මේ නිවෙසේ ජීවත්වන්නට ඇති බවත් ඒ අනුව නොසිතූ විරූ සාර්ථකත්වයන් ලබා ගන්න ඇතැයි අපට තහවුරු කර ගත හැකි විය. ඒ පිළිබඳ පැවසීමේදී පවුලේ සියලු දූ දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධ ක්ෂේත්‍රවලින් ලබා පශ්චාත් උපාධි පවා විදේශ විශ්වවිද්‍යාලවලින් ලබා ගත් අය බව දැන ගැනීමෙන් අපගේ අනුමානය අපට තහවුරු විය.

පාසල් අධ්‍යාපනයේදී පවා දරුවන් අගනුවර ප්‍රසිද්ධ ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත් කර ගැනීමට ඔවුනට හැකිව තිබිණි. නිවෙසේ ඉදිකිරීම් කටයුතුවලට වඩා අධ්‍යාපන කටයුතුවලට තමන් උනන්දුවෙන් කටයුතු කළ බව සේවාලාභීන් පැවසුවේ අභිමානයක් පතළ කරමිනි.

මේ තත්ත්වයන් අවසානයේ වාස්තු විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීමේදී මෙයට තීරණාත්මක හේතුව වන්නේ ඉඩමට හා නිවෙසට ප්‍රවේශය වයඹ දිශාවෙන් පිහිටා තිබීම බව පැහැදිලිව නිගමනය කළ හැකි විය. එහෙත් වයඹ උසින් පිහිටීම එතරම් යහපත් යෙදීමක් නොවන බැවින් පවුලෙන් බැහැර වූ විදේශගත වූ දූ දරුවන් නිවෙස හෝ දෙමාපියන් සමඟ යහපත් සම්බන්ධතාවක් පවත්වා නොගැනීමද විය හැකි බව නිගමනය කෙරිණි.

ගිනිකොනෙහි පවත්නා බලවත් බව නිවෙසේ සක්‍රියභාවය වඩවනු ලැබුවද එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස ඊශානයෙන් ගලා එන අන්තරීක්ෂ (ජධඵථඪජ) ශක්ති ධාරාව ගිනිකොන රත්වීම හේතු කොට එහි ප්‍රතිවිරුද්ධ දිශාව වන වයඹ දිශාව වෙත බලවත් ශක්ති ධාරාවක් ගොඩනැඟීම සිදු වී තිබිණි. මේ තත්ත්වයන් අනුව නිවැසියන් නිවැසින් බැහැරවීමට දක්වන උනන්දුව බලවත් බව පැවසීමු.

සේවාලාභිනියගේ ප්‍රතිචාරය වූයේ දූ දරුවන් පමණක් නොව තමන් ද නිවෙසේ රැඳී සිටීම ඉතා අඩු බවත් එසේ වුවත් සමාජ අවශ්‍යතාවන් අනුව ඉතා ආයාසයෙන් නිවෙස අත්නොහැර කටයුතු කරන බවත් ය. මේ තත්ත්වය සියලු දෙනා පාළුව, තනිකම ආදියෙන් බලවත් සේ විඩාවට පත් වන්නක් බව දුක්මුසු ලීලාවෙන් පැවසූ ගෘහමූලිකයන්ගේ අභිලාශය ඉටු කර දීම සඳහා කිසියම් පිළියම් මාලාවක් යෝජනා කළ යුතු බව අපට වැටහිණි.

ඒ අනුව ගිනිකොන දුර්වල කළ යුතු යැයි පැවසීම නොකළ යුතු බැවින් නිවෙසේ අභ්‍යන්තර බලය වැඩිදියුණු වන පරිදි නිරිත දිශාව බලවත් කිරීම අපගේ නිර්දේශය විය. ඒ සඳහා එතරම් භාවිතය නොගෙන බඩුමුට්ටු පටවා ඇති නිරිතේ පිහිටි නිදන කාමර අස්පස් කර පිරිසුදු කර ගෘහ මූලිකයන්ගේ නිදන ඇඳ පිහිටුවීම හැකි ඉක්මනින් කළ යුතු බව නිර්දේශ කළෙමු.

අන්තරීක්ෂ ශක්තිය වයඹෙන් මෙතරම් වේගයෙන් ගලා නොඑන ලෙස නිවසේ රඳවා ගැනීම අවශ්‍යතාවක් වන බැවින් නිරිත දිශාවේ වාස්තු පිරමීඩ 9ක් භූමියේ තැන්පත් කිරීමත් යෝජනා කළෙමු. ඒ කාර්යය වඩාත් බලවත් වන පරිදි හා සුළු සුළු දෝෂ යටපත් කළ හැකි පරිදි නිවෙසේ මධ්‍යය ගුණන පිරමිඩ 9කින් බලගැන්වීම සිදු කළ යුතු යැයි පහදා දුන්නෙමු.

මේ සියලු ප්‍රතිකර්ම සඳහා එදිනම ආරම්භයක් ගැනීමට සේවාලාභීන් තීරණය ගනු ලැබුවේද බලවත් වූ ගිනිකොනේ ඇති ශුභවාදී බලපෑම නිසා බව අවසානයේ අපටම ප්‍රත්‍යක්ෂ විය.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.